මේක පරිවර්තන යුගයකට අතවනන අයවැයක්

237

පළමු වසරෙදි 50%ක් වත් කාබනික කෘෂිකර්මයට යා යුතුයි

කොරෝනා ව්‍යසනයෙන් උගත් පාඩම් තියෙනවා

සංචාරක කර්මාන්තයෙන් ඉක්මනින්ම ඩොලර් උපයාගත හැකියි

නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන 2022 අයවැයේ පුළුල් දැක්ම, ජනතාව මුහුණ දී සිටින බඩු මිල ප‍්‍රශ්නය සහ ඩොලර් ප‍්‍රශ්නය සහ සංචාරක කර්මාන්තය පණගැන්වීම ඇතුළු කාලීන ආර්ථික කරුණු කාරණා රැසක් ගැන අපි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමග සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට ආචාර්ය ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන් අයුරුයි.

ප‍්‍රශ්නය – 2022 අයවැය රටේ පරිවර්තනයක් සිදුකරන අයවැයක් ලෙස ඔබතුමා පසුගියදා හඳුන්වා දීල තිබුණ. මේ අයවැය ගැන ඔබ එහෙම හැඳින්වීමක් කළේ ඇයි?

පිළිතුර – අයවැය කතාව කියල මුදල් ඇමැතිවරයා සාම්ප‍්‍රදායිකව කරන්නේ එදා සිටම ඉතාම ආකර්ෂණීය ලෙස විසර්ජන පනතේ දෙවන විවාදය ආරම්භ කිරීමයි. ඒ කතාව කරලා ඒකට විවාදයක් පවත්වලා ඡන්ද විමසීමක් කරනවා. ඊළඟට කාරක සභා අවස්ථාවේදී විසර්ජන පනත සම්මත කරලා වාර්ෂිකව මුදල් වියදම් කිරීමේ බලය විධායකයට ගැනීමේ ක‍්‍රියාවලියනේ කරන්නේ. හැබැයි ලෝකය අද තියෙන කොරෝනා අර්බුදයත් සමග විවෘත කරන්න රටවල්වලට අභියෝග කරන ආර්ථිකවලට මේ ඉදිරිපත් වෙන්නේ පළවෙනි අයවැයනේ. අපේ රට ප‍්‍රථම වරට කොරෝනා ව්‍යසනයෙන් රැලි තුනකට මුහුණ දීල ඒ පාඩම් උඩ කටයුතු කරනවා. දැන් මේ සංචරණ සීමා කියන එක තිරසාර විසඳුමක් නෙවෙයි කියන එකත් ලෝකය පිළි අරගෙන තියෙනවා. අලූත් සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කිරීම හැරුණම එකම විසඳුම එන්නත්කරණය කියල පිළිගෙන ලෝකයේ රටවල් ජනගහනයෙන් වැඩි පිරිසක් එන්නත් කළ විට අපට දැන් තියෙන දේ තමයි කොහොමද අපි මේ රට විවෘත කිරීම කරන්නේ කියල. ඒක කරන්න ප‍්‍රථම ප‍්‍රවේශය එන්නේ මේ අයවැයෙන්. ඒ නිසා මීට කලින් වසර 72 ක තිබුණු අයවැය කතාව වෙන්න බෑ මේක. ඒ එකක්. එතකොට අපි කවදාවත් හිතපු නැති විදියට ගෝලීයකරණය වෙන ලෝකය තනිකර නැවත හුදෙකලා වුණානේ කොරෝනා වසංගතය නිසා. පුද්ගල දුරස්ථභාවය පමණක් නෙවෙයි අපි මෙතරම් කල් බද්ධ වූ ලෝකය ඈත් වුණා. ගුවන් තොටුපොළවල් වැහුව, භාණ්ඩ සැපයුම් ක‍්‍රියාවලිය වහල ලෝකයේ සංචාරක කර්මාන්තය නැවතිලා තිබුණ. මේක නැවත පණ ගැන්වීමේ ක‍්‍රියාවලිය එකක්.

මීළඟ කරුණ මේ ව්‍යසනය විසින් මේ රටේ පාලකයෝ ඇස් ඇරලා බලපු නැති ප‍්‍රශ්නයක්… අර මහින්ද හාමුදුරුවෝ ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද සිංහලයෝ කියන්නා වගේ පෙන්වල දෙනවා. බලන්න ඔබලාගේ ගෙවුම් ශේෂය ඔබලාට නඩත්තු කරන්න බෑ. අපනයනය ඩොලර් 10,000 යි ආනයනය ඩොලර් 20,000 යි. මේ වෙළෙඳ හිඟයෙන් කියන්නේ උඹලට නිෂ්පාදන ආර්ථිකයක් නෑ. මේ ආර්ථිකය බද්ධ වෙලා තියෙන්නේ පිටරටින් ආනයනය කිරීමට මිසක් වෙන දෙයක් නෑ. එතකොට මේක උඹලට කරන්න පුළුවන් ලෝකය සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම්. විදේශ රැකියාවලින් සංචාරකයන්ගෙන් වෙළෙඳ හිඟය පියවා ගන්නවා. තව ටිකක් සල්ලි ඕන නම් අර ගෙවුම් ශේෂයේ ණය සේවාකරණයට හරි යන්න ණය ටික ගත්තම අපි කියනවා ගෙවුම් ශේෂය තුලනය වුණා කියල. නැත්නම් අපි කියනව අතිරික්තයකුත් තියෙනවා කියල. ඒ නිසා සංචිතත් තියෙනවා කියනව. ඒත් සංචිත ඇවිත් තියෙන්නේ ණයෙන්. වර්තන ගිණුම සකස් වෙලා තියෙන්නේ විදේශ රැකියා සහ සංචාරක ඉපයුම් වගේ දේවලින්.

එතකොට මේ කොරෝනා එකෙන් දුන්න පණිවිඩය තමයි මේවා නැති වෙන්න පුළුවන්. දැන් පාස්කු ප‍්‍රහාර, ඊට පෙර එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරවලින් ටික කාලෙකට පසු සංචාරකයෝ ආපසු එනවනේ. මේකේ ඒක බින්දුවට ගෙනාව. යන්නත් බෑ එන්නත් බෑ. දේශීය සංචාරත් නැවතුණා. මිනිසුන්ට කතරගම පවා යන්න බැරි වුණා. එතකොට මේකෙන් කඩා වැටුණු ආර්ථිකය අති භයානකයි. විදේශ විනිමය පමණක් නෙවෙයි රැකී රක්ෂාත් නැති වුණා. සමහර අය ගමට ගිහින් ආපහු හෝටල්වලට එන්නෙත් නෑ විකල්ප රස්සාත් හදාගෙන. කොහොම හරි අපි නොදන්නා ආර්ථික ගැලපීම් රාශියක් මේ තුළ වෙනවා.

කොරෝනාව වෙනුවට වෙන දෙයක් එන්න පුළුවන්. අපි දන්නේ නෑ ඒක. මේ ගහල තියෙන වැක්සින් එක නෙවෙයි එතකොට අවශ්‍ය වෙන්නේ. මේ අලූතින් ඇතිවෙන ගෝලීය සෞඛ්‍ය අවදානම තුළ මෙතෙක් ආනයන ආදේශන ගැන කතා කළ විදියට නෙවෙයි රටක් කිසියම් ප‍්‍රමාණයකට නිෂ්පාදනයක් තමන්ගේ පැවැත්මට ඇති කරගන්න ඕන. විශේෂයෙන් දූපත් රටකට ස්වභාවිකව ලැබෙන ආරක්ෂණය තුළ කොපමණ දුරට ආහාර භෝගවලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද? කොච්චර දුරට බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද? ඒක තමයි මේ සෝලාවල කතාව. මෙන්න මේක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මෙන් මතුවෙන දර්ශනය. එතකොට මේ දර්ශනය යථාර්ථයක් කරගන්න සාමාන්‍යයෙන් ගෙනාපු විසර්ජන පනත හරි යන්නේ නැහැ. ඒක අලූත් මාවතකට ගේන්න ඕන. ඒ කියන්නේ මම දකින්නේ ඒ තත්ත්වයන් තුළ එදා 70 දී හෝ 77 දී මුහුණ දුන්න අභියෝගයට වැඩිය දැවැන්ත අභියෝග රැසක් ඇති පසුබිම සමග තමයි 2022 අයවැය සකස් වෙන්නේ. එතකොට මට හිතාගන්න බැහැ. මේ අයවැය සාම්ප‍්‍රදායික අයවැයක් ලෙස හදන්නේ කොහොමද කියල.

රට එන්නත්කරණය සමග විවෘත කළත් ජනතාවගේ ආදායම් එකපාර එන්නේ නෑනේ. ආදායම් එන්න කාලයක් යනවා. සමහර අය තමන්ගේ ආර්ථික කටයුත්ත පටන් ගන්න පොඩි ආරම්භ මුදලක් ඉල්ලනවා. ආරම්භ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා මතුව තිබෙනවා. ගොඩක් ප‍්‍රශ්න. ඒ නිසා මිනිස්සු නැගිට්ටුවාගෙන ආර්ථිකය පණ ගන්වා ගන්න ගමනකට තමයි අපිට ප‍්‍රවේශ වෙන්න වෙන්නේ. දැන් මිනිස්සුන්ට හුස්ම ගැනීමට අවස්ථාවක් දෙන්න ඕන. ඒ හුස්ම ගැනීමේ අවස්ථාවෙදි ජනතාවට තවක් බරක් එන්න බෑ. ඒ බර ජාති දෙකක්. එකක් මිල ගණන් වැඩි වීමේ බර. දෙවෙනි එක නොගෙවා ඇති එකතු වූ බිල් සහ ණය වාරික ගෙවීමේ බර කොයි විදියට ද ප‍්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක. කොපමණ කාලයක් ඒ සඳහා දෙනවා ද, ඒවා පොලී රහිතව ගන්නව ද කියන එක අපි හිතන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අද පිළිගන්න තත්ත්වයක් තමයි සැපයුම් පැත්තට ඇති වූ බර, එතෙක් අපි කළමනාකරණය කරපු ඉල්ලූම් කළමනාකරණයට වඩා දරුණුයි. තියන ඉල්ලූමවත් සපයන්න සැපයුම් ධාරිතාවක් නෑ. එය යළි පණ ගන්වන්න ඕන.

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතය හමුවේ ඩොලර් ප‍්‍රශ්නයක් ද අපට තිබෙන නිසා සංචාරක කර්මාන්තය අපට ඩොලර් උපාය ගැනීමට තියෙන හොඳ අවස්ථාවක්. ඒ සඳහා රජයේ තියෙන අවධානය කොහොමද?

පිළිතුර – සංචාරක කර්මාන්තය කියන්නේ පෞද්ගලික කර්මාන්තයක්. විදේශ රැකියාත් එහෙමයි. රජය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කරලා පෞද්ගලික අංශය මේකේ ඉස්සරහට එන්න ඕන.

ප‍්‍රශ්නය – අද අපේ රටට එන්න විදෙස් සංචාරකයෙක් තීරණය කළොත් ගුවන් ටිකට්පතක් අරන් හෙට අපේ රටට එන්න පුළුවන්? එහෙත් අපනයන වැඩි කරගන්න යම් කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා?

පිළිතුර – ඔව්. කාලයක් ඒකට යනවනේ. ඒ නිසා ඉස්සෙල්ලම විදේශ විනිමය ගේන්න පුළුවන් කර්මාන්තය සංචාරක කර්මාන්තය. ඊට පසු විදේශ මුදල් එවීමට ඇති පහසුකම් වැඩි කිරීම කරන්න ඕන. අපිත් එන්නත්කරණය කරලා, අපි දූපත් රටක් වශයෙන් හරියට සැලසුම් කරගත්තොත් මේක පහසුයි.

ප‍්‍රශ්නය – මිනිස්සු වෙනසට අකමැති ස්වභාවයක් තිබෙනවා. ඉක්මනින් රජය කාබනික පොහොර ප‍්‍රතිපත්තියට ගමන් කිරීමේදීත් මේ ප‍්‍රශ්නය ඇතිව තිබෙනවා. ගොවියාට මේ ගැන තවම හුරුවක් නැහැ?

පිළිතුර – ඒ හුරු වීම එකක්. අනිත් එක අපේ සාම්ප‍්‍රදායික ගොවියෝ වුණත් පසුගිය වසර 50 තුළ මම දැක්කේ නවීන ගොවිතැනක්නේ කරන්නේ. එක්කෝ බීජ පැළෑටි අලූතින් ගෙනත් හයිබි‍්‍රඞ් කිරීම් යනාදිය මගින් ඵලදාව වැඩි කර ගැනීම, රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක යනාදියට හුරුවෙලා තියෙනවා.

ප‍්‍රශ්නය – සෞභාග්‍යයේ දැක්මේ තියෙන්නේ වසර දහයකින් කාබනික කෘෂිකර්මයට යන්න ඕන කියලා නේද?

පිළිතුර – ඒ දහයෙන් කියන්නේ සමස්ත කෘෂිකර්මයනේ. ඕකේ ජනාධිපතිතුමා කියන්නේ වසර දහයකින් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම කාබනික අංශයටම ගෙනි යනවා කියලයි. ඒ කියන්නේ රබර් අයිති වෙන්නෙත් කෘෂිකර්මයටනේ. නමුත් රබර් ආහාරයක් නෙවෙයි.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ මේ කාබනික කෘෂිකර්මයට යන ගමනේ ආරම්භය සිදු කළ බව ද?

පිළිතුර – මේ ආරම්භය. එහිදී අපේ ප‍්‍රධාන ආහාරය සහල්. ඊට පසුව එළවළු, පලතුරු තියෙනවා. දැන් අපේ තියෙන ස්වභාවික නිෂ්පාදන තියෙනවා. පොල් තියෙනවා. පොල් අපේ ප‍්‍රධාන ආහාරයක්නේ. වෙනද පොල්වලට පොහොර දැම්මෙත් නෑනේ. දැන් තමයි මේ පොහොර උනන්දුවක් මතු වෙලා තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා කියන වසර දහයක පරිවර්තනයක මේ ආරම්භක වසරේ සියයට 50 කට වැඩි වෙන්න ඕනනේ. එයට හේතුව මම කියන්නම්. මේ වෙනකොටම සියයට 20 ක් විතර කාබනිකවලින් කරනවා සද්දයක් නැතුව. මොක ද මේක පටන් ගත්තේ අවුරුදු 20 කට විතර කලින්. දි.මු ජයරත්න ඇමැතිතුමාගේ කාලේ ඉඳන්ම මේක ටික ටික කරගෙන ආව. ඇතැම් සමාගම් මේක කලාප වශයෙන්ම කරනවා. ඒ නිසා මේ අපි පටන් ගන්නේ බින්දුවෙන් නෙවෙයි. අපි පටන් ගන්නේ මම හිතන්නේ සියයට 15 ක 20 ක විතර මට්ටමකින්. ඒවායින් සමහර ඒවා කොහොමටත් කාබනිකයි. තල්, කිතුල්, පොල් සහ සමහර එළවළු පලතුරු එහෙම. කොස්, දෙල්, දිවුල්, සියඹලා. එහෙම කොටසක් තියෙනවා කොහොමත් කාබනිකයි.

අපේ පසුගිය අවුරුදුවලත් සුළු සුළු ප‍්‍රමාණයෙන් කාබනික පැත්තට ගමන් කරා.

ගෙදරවලත් දැනට තමන්ට අවශ්‍ය දේ හදා ගන්නවා. වකුගඩු රෝගවලට, පිළිකා රෝගවලට තියෙන බය නිසා. ගෙදර කතුරුමුරුංග ගහක් හිටව ගන්නවා. මම කියන්නේ සියයට හැට හැත්තෑවකට අපි පළවෙනි වර්ෂයේම යන්න ඕන. එක කන්නෙක මෙහෙම ප‍්‍රවේශ වුණහම ඊළඟ කන්නේ ඉඳන් මේක ගමන් කළ හැකියි. ඊට පසුව තමයි රබර් වතුවලට, කුරුඳු වගාවලට, තේ වතුවලට මොකද කරන්නේ බලන්න වෙන්නේ. ඔය කාලේ තුළ කාබනික පොහොරත් කෘමිනාශක, වල්නාශක ඒවත් ස්වභාවිකව දේශීය නිෂ්පාදකයොත් හදා ගැනීමේ ක‍්‍රමවලට එන්න ඕන. ඒ නිසා අවුරුදු දහයකින් කාබනික කෘෂිකර්මයට යනවා කියන්නේ අවුරුද්දකට සියයට දහය දහය යනවා කියන එක නෙවෙයි.

ප‍්‍රශ්නය – ජනතාව කොරෝනා වසංගතයත් සමග බොහෝ පීඩාවට පත්ව සිටිනවා. ඒ සමගම බඩු මිලත් විශාල වශයෙන් ඉහළ යනවා. අමාරුවෙන් ඉන්න ජනයාට ඒ මිල පීඩනයටත් මුහුණ දෙන්න වෙලා. මෙවර අයවැයෙන් ඒ ගැන අවධානයක් යොමු වෙයි ද?

පිළිතුර – හැම ගෘහයකම ආර්ථිකය ගතහොත් එතන වියදම් වර්ග දෙකක් තියෙනවා. අද තියෙන ආර්ථික මට්ටමත් එක්ක. එකක් තමයි ආහාර ද්‍රව්‍ය. අනික තමන් භාවිතා කරන සේවා ටික. ඊළඟට තමයි නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් වුණත් ඒ වගේ අඩුපාඩු පිරිමහගන්න කරන වියදම් කියන වියදම් වර්ග තුන තමයි හුඟක් අයට තියෙන්නේ. ඒවගේම හැම ගෙදරකම යැපෙන වියදම් වර්ග කිහිපයක් තියෙනවා. දුරකථන, විදුලිය, ගෑස් ඉන්ධන හෝ ජලය යන බිල් පහ එක පිරිවැයක්. ඒවායේ මිල වැඩි කිරීම විසඳුමක් ද කියලත් හිතන්න වෙනවා. මිල වැඩි කිරීම් තුළ ආර්ථිකයත් වැටිලා මිනිස්සුත් වැටිලා ඉන්න පිරිසට මේක දරා ගන්න බෑ. ඒක ජීවන වියදමේ එක පැත්තක්. අපි ඒවා සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියන එක. අනිත් එක තමයි ආහාර. ඒ කියන්නේ හාල්, සීනි, පිටි, කිරි ඔය ද්‍රව්‍යවල එළවළු, පලතුරු මේ සියල්ලමත් මාළු, මස්, බිත්තර මේ ඔක්කොම ගත්තත් මේවායේ සැපයුම පෙරට වැඩිය මාර්ග දෙකතුනකින් මේ වන විට ඇනහිටල. කොවිඞ් වසංගතය නිසා අන්තර් පළාත් සංචරණයේ මිනිස්සු නොදැකපු භයානක බලපෑම් තමයි ඕක. දැන් ග‍්‍රාමීය නිෂ්පාදන විකුණා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. හේතුව ඒවා අරන් කොළඹ එන්න කෙනෙක් නෑ. දැන් ගමේ පොල් එකතු කරන කෙනෙක් ඉන්නවා, එයා ගමේ පොල් එකතු කරන්නේ නෑ. මොක ද එයාට පොල් අරගෙන කොළඹ එන්න බෑ. එළවළු පළතුරු නිෂ්පාදන හරියට. ඒත් පළාත් සංචරණ සීමා නිසා ගෙනියන්න බෑ. ඒ ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදන විකුණගන්න බෑ. ඔය වගේ සැපයුම් චක‍්‍රය අඩාල වීම එකක්.

දෙවන කාරණය තමයි වර්ෂාව දැන් ඇවිල්ල. වර්ෂාව නිසා කිසියම් ප‍්‍රමාණයක එළවළු, පලතුරු නාස්තියක් වෙනවා. ඒවා කෙටි කාලීනයි. හැබැයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කිසියම් ප‍්‍රමාණයකට භාණ්ඩ ප‍්‍රවාහනයේ සාමාන්‍යකරණයක් වෙනවා. ආර්ථික මධ්‍යස්ථානත් ඇරුණොත් එහෙම කිසියම් දුරකට සැපයුම සිදු වෙනවා.

මීළඟට අත්‍යවශ්‍ය ආහාර සුලභ කිරීමට සහ බෙදා හැරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම. බෙදා හැරීම කිසියම් දුරකට වර්ධනය වෙනව මේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග. වෙළෙන්දන්ගෙත් ආර්ථික ක‍්‍රියාවලිය පටන් ගැනෙනවා. දැන් වෙළෙඳපොළේත් තියෙනවා කිසියම් ඒකාධිකාරී ස්වභාවයක්. හාල් ගත්තොත් සැපයුම්කරුවෝ කිහිප දෙනෙක් වෙළෙඳපොළේ සැලකිය යුතු ප‍්‍රතිශතයක් කළමනාකරණය කරද්දී ඒ අය මිල තීරණය කරන සාධකය වෙලා. බොහෝ භාණ්ඩ සම්බන්ධයෙන් සැපයුම්කරුවෝ සීමිත ප‍්‍රමාණයක් නිසා කිසියම් ඒකාධිකාරී ස්වභාවයක් තියෙනවා. එතකොට වෙළෙඳපොළේ තරගකාරිත්වය ඇති කරන්න අභියෝගයක් තියෙනවා. සමුපකාර ක‍්‍රමය කඩා වැටිලා. සතොස තියෙන්නේ සීමිත සංඛ්‍යාවක්. එතකොට මේවා සක‍්‍රීය කරන ගමන් ඒ ඒකාධිකාරිය කැඩෙන්න සුළු හා මාධ්‍ය පරිමාණ බෙදා හැරීමේ ක‍්‍රමයකට අවධානය යොමු කරන්න ඕන. දැන් ජනාධිපතිතුමා දිසාපතිවරුන්ට කීවේ භාණ්ඩ සපයන සහ නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්කවලින් කෙලින්ම කොළඹට සහ නාගරික ප‍්‍රදේශවලට ගෙන්වල, නාගරිකව බෙදාහරින ක‍්‍රමවේදයක් ඉක්මනින් හදන්න කියල.

හැබැයි මිල පාලන ක‍්‍රම, සලාක ක‍්‍රම අද මිනිස්සු එතරම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මිනිසුන්ට වෙළෙඳපොළේ භාණ්ඩ සුලභව තියෙන්න ඕන. ඒක පහසු මිලකට තියෙන්න ඕන. ඒවා අවිනිශ්චිතතාවෙන් තොරව සිදු වෙන්න ඕන. මේ සංකීර්ණ කරුණු තුන හතර තමයි මුදල් ඇමැතිතුමාගේ අවධානයට යොමු වෙලා තියෙන්නේ. ඒ අතර මම හිතන හැටියට ඉස්සර දිවිනැගුම වගේ වැඩපිළිවෙළක් මගින් ක්ෂණික ගෘහ ආර්ථිකවල කිරි, බිත්තර, මස්, එළවළු සහ පලතුරු වගේ ආහාර සපයා ගැනීමේ ක‍්‍රියාවලියකටත් ප‍්‍රවේශයක් ගන්න වෙනවා.

ප‍්‍රශ්නය – තවමත් ඩොලර් ප‍්‍රශ්නය තිබෙනවා. බැංකුවලින් ඩොලර් සපයා ගන්න ප‍්‍රමාදයක් තියෙන නිසා ආනයන ගෙන්නපුව වරායෙන් කලට වෙලාවට නිදහස් කර ගැනීමේ අපහසුවකුත් තියෙනවා. මේ නිසා ඒවා නිදහස් කරගන්න වෙලා තියෙන්නේ ප‍්‍රමාද ගාස්තුවකුත් ගෙවලා. එතකොට ආනයන පිරිවැය තවත් වැඩි වෙනවා. ණයවර ලිපි විවෘත කර ගැනීමේ ගැටලූව එහෙමම තියෙනවා?

පිළිතුර – දැන් ඔය ප‍්‍රශ්නයට ඩොලර් ප‍්‍රශ්නයක් නෑ කියන එක විසඳුමක් නෙවෙයි. මොකද කවුරුත් දන්නවා සංචාරක කර්මාන්තයේ ආදායම නැත්නම් ඒ අහිමි වූ ආදායමට සරිලන ප‍්‍රමාණයක් වෙනත් විකල්ප විදේශ ආදායම් මාර්ගයකින් ලැබුණේ නැත්නම් විදේශ විනිමයේ හිඟයක් තියෙනවා. එතකොට මේ විදේශ විනිමය හිඟය අර භාණ්ඩ හා සේවා සැපයුම වගේම විදේශ විනිමය උපයන්නන්ගෙන් ලබා ගන්න ඕන. එහෙම දිරිගන්වන සුළු කාරණයක් දකින්න තියෙන්නේ ඇත්තටම අපනයනයේ විතරයි. අපනයන ආදායම ඔක්තෝබර් මාසෙත් ඩොලර් මිලියන 1140 කට ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් අපට එන්නේ අපනයනයෙන් ඩොලර් මිලියන දාහයි.

ප‍්‍රශ්නය – පසුගිය මාස කිහිපයේම අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ගියා?

පිළිතුර – ඔව්. ඔක්තෝබර් මාසේ ඩොලර් මිලියන 1140 කටම වැඩි වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසේ සංචරණ සීමාත් තිබුණ. නැව් ගාස්තු වගේ ඒවා අපනයනකරුවන්ටත් බලපානවනේ. එහෙම තියෙද්දිත් අපනයන වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා නොවැම්බර් සහ දෙසැම්බර්වලත් ඒ විදියට ගියාම මේ වසරේ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 12ල000 ඉක්මවනවා කියල. මීළඟට සංචාරක අංශයේ දැන් ඔක්තෝබර් මාසයේ වන විට සංචාරක පැමිණීම් 38ල000 ඉක්මවා ගිහින් තියෙනවා. මේ වන විට 50ල000 පැනලා. එතකොට ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංචාරකයන් පැමිණීමට තියෙන ඉල්ලූම අනුව හා ඒවාට තියෙන තවත් බාධා එහෙම රාශියක් ඉවත් කරගන්න පුළුවන් නම් සහ රටම අපි නිවාරණ තත්ත්වයට පත් කරලා තියෙන නිසා අපි අවදානම් රටක් නෙවෙයි කියල ලෝකය පිළිගත් නිසා සංචාරක පැමිණීම් වැඩි වෙයි. ගුවන් යානාත් දැන් බොහොමයක් එනවා. විශේෂයෙන්ම ජර්මනිය, එංගලන්තය, රුසියාව සහ ඉන්දියාව වගේ රටවල්වලින් සංචාරකයන් පුළුල් වශයෙන් ඒම අපි දකිනවා තියෙන බුකින්ග්ස් අනුව. ඉදිරියේ දී එන්නේ ඔක්තෝබර් සිට මාර්තු වෙනකම් සංචාරක සීසන් එක. එතකොට මේ වසරේ දෙසැම්බර් වෙනකොට සංචාරක පැමිණීම් එකතුව මේ අවුරුද්දට ලක්ෂය පනියි. අපේ පරණ ගණන්වලට එන්න තාම කල් මදි. හැබැයි ලබන (2022) වසර වෙනකොට ලක්ෂ දහයකට වගේ කිට්ටු වෙයි. අපේ ඇස්තමේන්තුවල දාගෙන තිබුණේ මේ වසරට සංචාරක ආදායම ඩොලර් මිලියන 50 යි. ඒ කීයක් හරි දාගන්න ඕන නිසා. ඒ අගය මේ වසරේ ඉක්මවනව. අපි දකින ගෙවුම් ශේෂයේ සංචාරක ආදායම් මාර්ගය වැඩි වෙනවා. එතකොට සංචාරකයො ලක්ෂ 25 නේ වැඩිම ආවේ අන්තිමට. හැබැයි අද සංචාරකයෝ ලක්ෂ 25 ක් එන්න ඕන නැහැ ඒ ආදායම හොයන්න. හේතුව සංචාරකයන් නවතින කාලය සහ ඒ අනුව ඔවුන් වියදම් කරන ප‍්‍රමාණය වැඩියි. එතකොට සංචාරක පැමිණීම් ලක්ෂ 15 ටවත් අපට එන්න පුළුවන් නම් අපි අර කියන ආදායම් මට්ටමට එනවා. ඒ අතර ඉහළ සංචාරක වියදම් කරන රටවල් තමයි ඔය අද ලංකාව දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒ සඳහා තවදුරටත් තිබෙන බාධාවන් ඉවත් වීම සහ සංචාරකයන් ගෙන්වා ගන්නා ආයතන සහ ගුවන් සමාගම්වලට තියෙන දිරි ගැන්වීම් වැදගත් වෙනවා. ඊළඟට සංචාරක අංශයේ පෞද්ගලික ආයතන සහ ඊට පහසුකම් සපයන රජයේ ආයතනයි එකට වැඩ කරලා ඉක්මන් ප‍්‍රතිලාභ ලබා ගැනීමේ ක‍්‍රියාවලියක් කරලා මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් ලෙස දියුණු කරන්න අවශ්‍ය පරිසරය හදනව මිසක් රාජ්‍ය අංශය ඕනවට වඩා සංචාරක කර්මාන්තයට, අපනයන කර්මාන්තයට හෝ ඇඟලූම් අංශයට හෝ නීති රීති දැමීමෙන් තොරව ඒවා ස්වයං වර්ධනයකට සකස් වෙන්න ඕන. මම එතනදී කියන්නේ පෞද්ගලික අංශයත් රජය මත යැපෙන්නේ නැතුව රජය ඒ අය මත යැපෙන ආර්ථිකයක් හදා ගන්න ඕන මේ අංශවල. එහෙම නැතුව අපට ලොකු ගමනක් යන්න බෑ. ඉතිං ඒක තමයි පරිවර්තනය.

ප‍්‍රශ්නය – ඉන්දියානු පොහොර ගෙන්වීමට අදාළ මුදල් පෞද්ගලික අංශයේ ගිණුමකට බැරවීමේ ක‍්‍රියාවලියකට ඔබ බලපෑම් කළ බවක් පසුගියදා මාධ්‍ය වාර්තා කරලා තිබුණ. ඒ සම්බන්ධයෙන් ඔබ කියන්නේ මොනවා ද?

පිළිතුර – මට අපහාස විඳින එක පුරුදුයි. හැබැයි මට ඔය අපහාස කවුරුවත් කරලා නැහැ. ප‍්‍රතිපත්තිමය වශයෙන් මාත් එක්ක ගැටුම් තියෙනවා. මම ආඩම්බරයි කියනවා. මම සැරයි කියනව. මාත් එක්ක වැඩ කරන්න බෑ කියනව. ඒවා මට ප‍්‍රශ්නයක් නැහැ. ගිය වසර පහේවත් මට මුල්‍ය වංචාවකට චෝදනා කරලා නැහැ. ඒ මාධ්‍ය වාර්තාව අසත්‍යයි. එය ද්වේශසහගතයි. ඒක මගේ රාජ්‍ය සේවා කීර්තිනාමයට පමණක් නොව මම දරන තනතුරටත් ඒ තනතුර මාර්ගයෙන් සමස්ත රාජ්‍ය සේවයටත් අපහාසයක් හැටියට තමයි මම සලකන්නේ. ඒ සඳහා මම පමණක් නෙවෙයි ජනාධිපතිතුමත් අවශ්‍ය ආයතනවලට උපදෙස් දීල තියෙනවා කරුණාකරලා හොයන්න කියල. ජනාධිපතිතුමා වුණත් මම එහෙම දෙයක් කරලා තියෙනව නම් මම මේ තනතුරේ තියාගෙන ඉන්න එක වැරදියි. මම වුණත් එහෙම දෙයක් කරලා තියෙනව නම් ඒ තනතුරේ ඉන්න එක වැරදියි. එතකොට මම කවදාවත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සම්බන්ධීකරණය සහ උපදෙස් දීම කරනවා මිසක් මම මේ බැංකු ගිණුම් අරින ඒවට හරි ටෙන්ඩර් ක‍්‍රියාවලට හරි නැහැ. මම රටේ තියෙන මුල්‍ය නීති අනුව ආයතන සංග‍්‍රහය හා පරිපාලන ක‍්‍රම අනුව සහ අනිත් නීතිරීති ගැන මට තියෙන අවබෝධය තුළ තමයි මම මගේ පරිපාලන කටයුතු කරන්නේ. එහිදී මම අවශ්‍ය තීරණ ගන්නවා. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මම රාජ්‍ය සේවයේ වැඩි කාලයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්. තවත් අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් ලෙස මම කටයුතු කරලා තියෙනවා. ඊට පසු මම ජනාධිපති ලේකම් වෙලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම් කියන්නේ අමාත්‍යාංශය භාර ප‍්‍රධාන ගිණුම් නිලධාරියා. ඒ ගැන මට පුළුල් අවබෝධයක් තියෙනවා. මම රාජ්‍ය සේවයේ අවසන් අදියරේ ඉන්න කෙනෙක්. හැබැයි රාජ්‍ය සේවයට පණිවිඩයක් තියෙන්න එපැයි. රාජ්‍ය සේවයේ ඉන්නේ වංචාකාරයෝ කියල කියන්න ගත්තොත් රාජ්‍ය සේවයේ අපේක්ෂිත අරමුණු ඉටු වෙන්නේ නෑනේ. ඒ නිසා මේ ගැන මම නීතිමය වශයෙන් ප‍්‍රමුඛත්වය දීල පරීක්ෂා කරලා කටයුතු කරන්න මම පොලිස්පතිතුමාට පැමිණිල්ලක් දාල තියෙනවා නිල වශයෙන්ම. මම හිතනවා එතුමා ඒ පරීක්ෂණය කඩිනමින් රාජ්‍ය සේවය වෙනුවෙන් කරයි කියල සහ මං වෙනුවෙන් නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියල.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment