මේක වැලන්ටයින් ඩේ නෙවෙයි ‘රූම් ඩේ’ (Room day)

741

වෙනදට බියෙන් සැකෙන් කාමරවලට එන ගැහැනු ළමයි වැලන්ටයින් දවසට එන්නෙ අමුතු ජවයකින්…
ත්‍රීවීල් එක ඇතුළේදී නිල ඇඳුමට උඩින් ටීෂර්ටයක්,
දිග සායක් ඇදගෙන වැලන්ටයින් සමරන්න යන සිසුවියන් ඉන්නවා…
ආර්ථික අහේනිය තිබුණට ‘දිනයට’ අවුලක් නෑ

‘වැලන්ටයින් ඩේ’ පෙම්වතුන්ට විශේෂ දිනයකි. වාර්ෂිකව පෙබරවාරි 14 වැනිදා ලොව පුරා සමරනු ලබන ‘වැලන්ටයින් ඩේ’ නිර්මාණය වී ඇත්තේ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රියාස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයින් කෙනෙක් හෝ දෙදෙනෙක්ට ගෞරව කරන ක්‍රිස්තියානි මංගල්‍යය දිනයක් වශයෙනි. එමෙන්ම වැලන්ටයින් දිනය සම්බන්ධයෙන් තවත් දේව කතා බොහෝය. පසුකාලීනව එම මංගල්‍යය ලෝකයේ බොහෝ රටවල ‘ප්‍රේම සහ ප්‍රේමය සැලකිය යුතු සංස්කෘතික, ආගමික සහ වාණිජ උත්සවයක් බවට පරිවර්තනය කරගෙන තිබේ.

අපේ රටේ ද පෙබරවාරි මස 14 වැනිදා ඇතැම් ආදරවන්තයන් විසින් ‘වැලන්ටයින් ඩේ’ මහ ඉහළින් සමරන බව සැබෑය. එහෙත් කොවිඩ් වසංගයතයෙන්, ඉන්ධන අර්බුදයෙන් පසුගිය වර්ෂවලදී ‘වැලන්ටයින් ඩේ’ මිනිසුන්ට අමතක වී තිබිණි. මෙවර වැලන්ටයින් ඩේ නැවත කරළියට පැමිණ තිබේ. මල් වෙළෙන්දාගේ සිට තරු බැබළෙන මහ හෝටල්වල මෙන්ම රත්තරං බඩු වෙළෙඳසල් වැලන්ටයින් ඩේ ඉහළින් සැමරීමට ලක ලෑස්ති වෙති. මහ පාර අද්දර පෙට්ටි කඩෙත් ‘වැලන්ටයින් කාඩ්පත්’ එල්ලා තිබෙන අයුරු පෙනේ. ඇතැම් රත්තරං බඩු වෙළෙඳසල්වල ‘වැලන්ටයින් ඩේ’ ඉලක්ක කොටගෙන රත්තරං මුදු, මාල, පෙන්ඩන් නිෂ්පාදනය කර තිබෙන බව මේ දිනවල රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරණය කරන අයුරු පෙනේ. කොළඹ ඇස්වාට්ටුව ඉදිරිපිට මල් වෙළෙඳසල්වල ද 14 වැනිදා ඉල්ලක කොටගෙන විශේෂ මල් පොකුරු නිෂ්පාදනය කර ඇති බව අපට වාර්තා විය.

“මේ වගේ විශේෂ දින අවුරුද්දෙ 365 දිනයේම තියෙනවා නම් හොඳයි. වැඩිපුර මල් ටිකක් විකුණගන්න පුළුවන්. කොරෝනා වසංගතයට පෙර පෙබරවාරි මාසෙටම හරියන්න 14 වැනිදාට මල් විකිණෙනවා. ඒත් මෙවර නම් එච්චර වෙළෙඳාමක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ…” ඇස්වාට්ටුව ඉදිරිපිට ඩීන්ස් පාරෙ මල් වෙළෙඳසල් ව්‍යාපාරිකයාගේ අනුමානය සාධාරණය. එහෙත් වැලන්ටයින් ඩේ පමණක් නොව යුරෝපයේ සමරන හෝල්මන් දිනයටත් පාටි දාන ‘ඇති වෙන්න මුදල් තියෙන නැති වෙන්න වියදම් කරන’ කොළඹ විනෝදකාමීන්ට රටේ ආර්ථික ආහේනිය දැනෙනවාද යන්න අපට නම් ගැටලුවකි. එළැඹෙන 14 වැනිදා වැලන්ටයින් දිනය සැමරීමට කොළඹ මෙන්ම දකුණු පළාතේ, මීගමුවේ සුපිරි සංචාරක හෝටල්වල ආදරවන්තයන් වෙනුවෙන් විශේෂ පැකේජ හඳුන්වාදී ඇත්තේ ඇති වෙන්න මුදල් තියෙන නැති වෙන්න වියදම් කරන තරුණ, තරුණියන්ට දවස පුරා සතුටුවීමට බව සැබෑය. ඇති හැකි අය තරු හෝටල්වල සතුටුවන විට නැත බැරි මවුපියන්ගේ පාසල් යන වයසේ ගැහැනු, පිරිමි ළමයි 14 වැනිදා නටන ජෝගි ගැන ගම්පහ නගරයට ආසන්නයේ ලැගුම්හලක සේවකයෙක් අපට කීවේය.

“කොරෝනා වසංගතයට පෙර සතිඅන්තයට වැලන්ටයින් ඩේ එක සෙට් වෙච්ච සෑම දිනකම ගම්පහට ටියුෂන් එන කෙල්ලො, කොල්ලො බාගෙට, බාගයක් ලැගුම්හල්වල ආදරය සැමරුවා. වෙනදට බියෙන්, සැකෙන් ඇඹරෙමින් එන ගැහැනු ළමයි එදාට අමුතු ජවයකින් කාමරවලට ඇතුළු වුණා. ඒත් කාමරවලින් පිටව යන්නෙ සුදු මුහුණු කළු කරගෙන. එහෙම සිද්ධි දකිනකොට දුකයි. ඒත් අපි මෙතැන කරන්නෙ රස්සාවක්…” ගම්පහ පමණක් නොව නුගේගොඩ, මහරගම, හොරණ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, අනුරාධපුරය ආදී ටියුෂන් පන්තිවලට ප්‍රසිද්ධ මෙරට සෑම නගරයකින්ම පෙබරවාරි 14 වැනිදා සම්බන්ධයෙන් අසන්න ලැබුණේ එවැනි ඛේදජනක කතාය.

“පෙබරවාරි 14 වැනිදට පැවැත්වෙන අමතර පන්තිවලට සහභාගිවන ළමයි සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වුණා. හොයලා බලනකොට ළමයි වැලන්ටයින් සමරන්න ගිහින්. දැන් පෙබරවාරි 14 වැනිදා පන්ති පවත්වනකොට අම්මා හෝ තාත්තට ඇවිත් ගැහැනු ළමයින්ව පන්තියට භාර දීලා, ඇරෙන වෙලාවටත් ඇවිත් එක්කරගෙන යන්න කියලා දෙමවුපියන්ව දැනුවත් කරලා තියෙන්නෙ. සමහර පාසල්වල පෙබරවාරි 14 වැනිදට විශේෂයෙන්ම ගැහැනු ළමයින්ගේ බෑග් පරීක්‍ෂා කරනවා. සමාජයට නොතේරුණාට පෙබරවාරි 14 වැනිදා රටට මහා ව්‍යසනයක් වෙන දවසක්. ළමයි එක්ක ඉන්න නිසා ඒක අපිට දැනෙනවා…” නුගේගොඩ, මහරගම ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක් වූ සඳුන් ප්‍රියංකර ද පෙළගැසෙන කතාවට එසේ අදහසක් ඉදිරිපත් කළේය.

මේක වැලන්ටයින් ඩේ නෙවෙයි 'රූම් ඩේ' (Room day)

“සමහර පාසල් සිසුවියන් ත්‍රීවීල් එක ඇතුළේදී නිල ඇඳුමට උඩින් ටීෂර්ටයක්, දිග සායක් ඇදගෙන වැලන්ටයින් සමරන්න කොල්ලො එක්ක කාමරවලට යනවා. මම කතා කරන්නෙ අද්දැකීමෙන්…” කළුතර ප්‍රදේශයේ තරුණ ත්‍රිරෝද රථ රියැදුරෙක් කියූ කතාවලට නම් ඇඟ හිරිවැටිණි. එමෙන්ම පෙබරවාරි 14 වැනිදා අඳුරු කාමර තුළදී වයස පහළොවේ, දහසයේ ගැහැනු දරුවො විශාල සංඛ්‍යාවක් සිය කැමැත්තෙන් හෝ නොදැනුවත්ව පිරිසිදුකම නැති කරගන්නා බව රටම දන්න කතාවකි. එදිනට තරුණ ජෝඩු එක තැනකට රැස්වී සතුටු සාද පවත්වන බව ද සැබෑය. එම පාටිවලට සහභාගිවන තරුණ, තරුණියන් මත්පැන්, මත්ද්‍රව්‍යලින් පමණක් නොව අවසානයේ පෙම්වතුන්, පෙම්වතියන් හුවමාරු කරගෙන සතුටු වන බව අප්‍රසිද්ධ කතාවක් නොවේ. පෙබරවාරි 14 වැනිදා සිදුවන විගඩම් එමටය. එමෙන්ම එදින රමණීය ප්‍රේමය මරණීය විපතක් කරගත් පෙම්වතුන් ගැන ද මෙරටින් වාර්තා වී ඇති බව සැබෑය. මොහොතකට අපේ කතාව යටපත් කොට විගඩමක් වූ වැලන්ටයින් දිනය ගැන මෙන්ම ප්‍රේමය උමතුවක් වන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාගෙන් අපි විමසා බැලුවෙමු.

“ආදරය යනු තරුණයෙක්, තරුණියක් අතර පවතින ආකර්ෂණීය බැඳීම. තරුණ, තරුණියන්ට එකිනෙකා දැකීම ආකර්ෂණයක්. මනෝ විද්‍යාත්මකව එම බැදීම ඇති වෙන්නෙ මොළය තුළ සිදුවන රසායනික පරිවර්තනයක ප්‍රතිඵලයකින්. මොළය තුළ සිදු වන එම පරිවර්තනයත් සමඟ තරුණ වියේදී විවිධ හැඟීම් මතු වෙනවා. ඒ තුළ ආදරය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා. ඒ වගේම මොළය තුළ උපදින ආදරය, ජීවිතය තුළ අහිමි වුණාම නැවත මොළය තුළ එම ආදරය සම්බන්ධයෙන් වෛරයක් මතු වෙනවා. මෑත කාලයේ බොහෝ දුරට ව්‍යාප්ත වෙමින් පවතින්නෙ ඒ වෛරයයි.

පසුගිය දිනවල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය වුණෙත් ආදරයේ නාමයෙන් ඇති වූ වෛරයක ප්‍රතිඵලයකින්. ඒකට අපි කියන්නෙ රෝගී ප්‍රේමය. අන්ධ ආදරය. ආබාධයක් සහිත ආදරයක්. උමතු ප්‍රේමයක්. උන්මාද වූ ප්‍රේමයක් සාහිත්‍ය තුළ කතා කළාට යථාර්ථවත් ප්‍රේමයක් වෙන්න නෑ. ප්‍රේමය විචාරශීලි වෙන්න ඕනෑ. ඒත් දැන් බොහෝ තරුණ, තරුණියන් ආදරය හුවමාරු කරනවා. මේ වෙනකොට ආදරය හුවමාරු මාධ්‍යයක් බවට පත් වී තිබෙනවා. තරුණ, තරුණියො එකිනෙකාට ආදරය කරන්නෙ එම කෙනාගෙන් ආදරයක් බලාපොරොත්තුවෙන්. ඒ ආදරය තුළ තියෙන්නෙ ආත්මාර්ථකාමී බව. එවැනි හැඟීම් මුදුන්පත්වීම තුළ ආදරය නාමයෙන් මිනිසුන් ඝාතනය කිරීමද නිවැරැදියි කියා ඔවුන් සිතනවා. ඒකට තමයි අන්ධ වූ අවිචාරවත් වූ ආදරය කියන්නෙ. එවැනි අවිචාර වූ ආදරය දින වෙන් කරගෙන සැමරීමත් අවිචාරවත් වූ වැඩක්…”

“ඒ වගේම ජෛව විද්‍යාත්මක වූ, සමාජ විද්‍යාත්මක වූ මානව විද්‍යාත්මක වූ ක්‍රියාකලාපයක් පදනම් කරගෙන සංස්කෘතියක් හෝ උප සංස්කෘතියක් තුළ විවිධ මිනිස් අවශ්‍යතා සමරනවා. ආදරවන්තයින්ගේ දිනයත් එවැනි සැමරීමක්. ඒත් සිදු විය යුත්තේ එවැනි සැමරීම්වලට වඩා ආදරය පිළිබඳ මිනිසුන් දැනුවත් කිරීම. ප්‍රේමය පිළිබඳ අවබෝධතා කුසලතා වර්ධනය කිරීම. ආදරය කරන, ආදරය දැනෙන බොහෝ දෙනකුට ඒ පිළිබඳ කුසලතා අඩුයි. එහෙම වෙනකොට තමයි ආදරය වෛරයක් බවට පරිවර්තනය වෙන්නෙ. ප්‍රේමය පිළිබඳ අවබෝධයක් ලබාදෙන කථිකාවන් වර්තමාන සමාජයේ අඩුයි. ඒ නිසා අපි කළ යුත්තේ වැලන්ටයින් දිනයට මල් පොකුරු හුවමාරු කරගැනීම නෙමෙයි, ආදරය විචාරශීලීව පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන පණිවිඩය සමාජගත කිරීමයි. තමා තමන් ගැන තිබෙන අවබෝධය, තමන්ට අනෙකා පිළිබඳ තිබෙන අවබෝධය සහ ලෝකය පිළිබඳ තිබෙන අවබෝධය පදනම් කරගෙන ආදරය පවත්වාගෙන යන ආකාරය ගැන ඉගැන්විය යුතුයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ කථිකාව පාසල් මට්ටමේ සිට ක්‍රියාත්මක කළ යුතුයි. මෙරට පාසල් පද්ධතියට උපදේශනය හඳුන්වාදීමට හේතු වුණෙත් ආදරය. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියගේ කාලේ එක්තරා පාසලක පිරිමි ළමයෙක් ආදරය ඉල්ලගෙන ගැහැණු ළමයෙක්ගේ පස්සෙන් ගියා. ගැහැනු ළමයා කැමති වුණේ නෑ. අවසානයේ පාසල් භූමියේදීම ඒ පිරිමි ළමයා විසින් ගැහැනු ළමයට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුත් වස පානය කළා. ඒත් පිරිමි ළමයා මැරුණේ නෑ. හිරේ ගියා. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි පාසල්වල උපදේශන වැඩසටහන් කරන්න පටන් ගත්තෙ. ඒත් අදටත් අන්ධ වූ අවිචාර වූ ආදරය පාසල් දරුවො තුළ ක්‍රියාත්මක වෙනවා. වැලන්ටයින් ඩේ වගේ අවිචාරවත් සැමරීම්වලදී පාසල් තුළ අන්ධ ආදරය ඉස්මතු වෙනවා. ඒ නිසා වැලන්ටයින් දිනයට’ ආදරය පිළිබඳ උපදේශන වැඩසටහන් රට පුරා පැවැත්වීම ඉතා වැදගත්. ජාතික මාධ්‍ය තුළත් විචාරශීලී ආදරයක් ගැන සහ තරුණ, තරුණියන්ට තිබෙන ගැටලු ගැන කතා කළ යුතුයි. ඒ හැර පෙබරවාරි 14 වැනිදා දිනයේ කිසිම වටිනාකමක් නෑ…” මහාචාර්යවරයාගේ කතාව ඉතා අගනයේ.

මානව අවශ්‍යතාවලින් වැදගත්ම අවශ්‍යතාව ආදරය සහ ලිංගිකත්ව වේ. ආදරය යනු මනසේ ඇතිවන සුන්දර හැඟීමකි. එය ක්‍රියාත්මක කිරීමට නම් මිනිසුන්ගේ මානසික ක්‍රියාවලිය පාරිශුද්ධ විය යුතුය. එමෙන්ම එය සිදු විය යුත්තේ දෙහදක් තුළය. දෙහදක ඇති වන ආදරය මියෙන තුරු පවතිනුයේ කැපවීම, විශ්වාසය, විචාරය, පෞරුෂය සහ නිවැරැදි දැක්ම තිබෙන තෙක් පමණි. එසේ නොවෙන්න පවතිනුයේ රාගයෙන්, වෛරයෙන්, මිශ්‍ර වූ අවිචාරමත් ආදරයකි. එවැනි ආදරයක් අළු යට පවතින ගිනි වැනිය. ආදරය හුවමාරු නොවෙන තැන ගිනි දැල් මතු වී මහා විනාශයන් සිදු වන්නේය. පසුගිය කාලය පුරාවට විටින්, විටි අසන්න ලැබුණේ අවිචාරමත් ආදර කතාවල ඛේදජනක පුවත්ය. ආසන්නම සිද්ධිය ආදර කතාවක් මුල් කොටගෙන විශ්වවිද්‍යාල සිසුවෙක් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ගෙල කපා ඝාතනය කිරීමය. සැබෑ ප්‍රේමය යනු වෛරයකින් නිම වන්නක් නොවේ. ප්‍රේමය රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත යැයි විශාරද නන්දා මාලිනිය ගායනා කළ ද වාර්තමාන සමාජයේදී එවැනි අසිරිමත් ප්‍රේම කතා අසන්න නොලැබෙන තරම්ය. පවිත්‍ර ආදරයක්, සැලමුතු ප්‍රේමයක් වර්තමාන සමාජයේදී දකින්න ලැබෙනුයේ කලාතුරකිනි. ප්‍රේමය යනු අතිශය සියුම් ස්වාභාවික මානුෂික හැඟීමක් බව සැබෑය. ප්‍රේම ලෝකයේ නීති රීති, හරි වැරැදි සලකන්නෙ නැතැයි දුර්මතයක් ද තිබේ. එහෙත් ප්‍රේමය හෝ වේවා වෙන ඕනෑම හත්හිලව්වක් වේවා සීමා මායිම් පැන, ඉවක් බවක් නැතිව යන්නෙ නම් එහි අවසානය විනාශයක් බව අප තේරුම් ගත යුතුය. එමෙන්ම ආදරය යනු මල් පොකුරක්, වැලන්ටයින් කාඩ් පතක් හුවමාරු කිරීමක්, කාමරයක් තුළ ලිංගිකව එකතුවීමක් නොව, ජීවිතයයි. ආදරයට කාමය මිශ්‍ර වූ තැන ඇත්තේ කායික අවශ්‍යතාවකි. ආදරය යනු කායික අවශ්‍යතාව ඉක්මවා යන මානසික අවශ්‍යතාවකි. එහෙයින් ආදරය ගැන කතා කර අවසාන කළ නොහැකි තරම්ය.

එමෙන්ම පෙබරවාරි 14 වැනිදා යනු වංචනික පෙම්වතුන්ට පෙම්වතියන් මුළා කර පහත් ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට කදිම දිනයකි. එහෙයින් අපගේ දැක්මට අනුව නම් පෙබරවාරි 14 වැනිදා යනු ‘රූම් ඩේ’ එකකි. දේව මංගල්‍යයක් හෝ වේවා, ආදරවන්තයන්ගේ දිනයක් වේවා පෙබරවාරි 14 වැනිදා රූම් ඩේ එකක් බවට පරිවර්තනය කර ඇත්තේ ව්‍යාපාරිකයන් විසිනි. බටහිරින් එන ඕනෑම කුණු ගොඩක් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර අති සූක්‍ෂම ලෙස සමාජගත කරන වෙළෙඳ මාෆියාව වැලන්ටයින් දිනයට ඉහළ වෙළෙඳ වටිනාකමක් එකතු කර තිබෙන බව සැබෑය. වෙසක් පෝයට බුදුරාජාණන් වහන්සේ විකුණනවා වැනි අතිශය පිළිකුල්සහගත ව්‍යාපාරයක් වැලන්ටයින් දිනය වෙනුවෙන් ද සිදු වෙමින් පවතී. මිනිසුන් මුළා කොට භාණ්ඩ සහ සේවා විකිණීමට දක්‍ෂ, කපටි කෛරාටික ව්‍යාපාරිකයන්ට ‘වැලන්ටයින් ඩේ’ රත්තරං වැස්සකි. දහස් ගණන් පෙම්වතුන් විහාරමහාදේවී උද්‍යානයට රැස් කර රත්තරං වැසේසේ තෙමෙන්න වේදිකා තැනූ ගුරුවරු ද අපේ රටේ සිටී. එවැනි සිද්ධි සිහිපත් වන විට අපේ රටේ මිනිසුන් ගැන ඇති වෙන්නෙ කම්පනයකි. එමෙන්ම පවතින ආර්ථික ආහේනිය තුළ මෙවර පෙබරවාරි 14 වැනිදාට රත්තරං වැස්සෙ තෙමෙන්න නොව ගමනක්, බිමනක් යෑමට නොහැකි තරමට ජීවන වියදම වැඩි වී ඇත. බස් ගාස්තු, හයර් ගාස්තු ඩබල් නොව ටිබෙල් වී ඇත. හොටල්, සුපිරි අවන්හල්වල පමණක් නොව ගමේ තේ කඩෙත් කෑම මිල විශාල වශයෙන් වැඩි වී ඇත. පැයට, දෙකට කුලියට දෙන හිනි ගඳ හමන කාමරවල ගාස්තුව ද රුපියල් හත්අටසියකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඇඳ රෙදි, කොට්ට උර දෙපැත්ත මාරු කර, සුවඳ විලවුන් ස්ප්‍රේ කරන සාමාන්‍ය රෙස්ටුරන්ට් කාමරවල මෙන්ම තරු පන්තියේ සංචාරක හෝටල්වල කාමර කුලිය ද තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එවැනි පසුබිමක මෙවර වැලන්ටයින් දිනයට කාමරයකට ගාල් වීම ද පහසු කාර්යයක් නොවේ. පෙම්වතාට, පෙම්වතියට තිළිණයක් ලබාදීමට ද සැලකිය යුතු මුදලක් වියදම් කිරීමට සිදුවන බව නොරහසකි. එහෙයින් මෙවර වැලන්ටයින් ඩේ ‘රූම් ඩේ’ එකක් බවට පත් කරගැනීම ද පහසු නැත.

එමෙන්ම මවුවරුන්ගේ දිනය, ලෝක ළමා දිනය, කාන්තා දිනය, වැඩිහිටි දිනය, ආබාධිත දිනය එකී නොකී විවිධ සැමරුම් දින අතරට පෙම්වතුන්ට විශේෂ වූ දිනයක් තිබීමේ වරදක් අපි නොදකිමු. බෞද්ධ පරිසරය තුළ ජීවත්වන පෙම්වතුන් එදිනට පන්සලකට, වෙනත් ආගම්වල පෙම්වතුන් වැදුම්, පිදුම් කරන සිද්ධාස්ථානයකට ගිහින් වාතාවත් කිරීමට පෙබරවාරි 14 වැනිදා යොදාගැනීමේ ද වරදක් නැත. ඒ දෙහදක් තුළ උපදින පරම පිවිතුරු ආදරයට ආශිර්වාදයක් ලබාගැනීමට පමණි. එසේ නොවෙන්න ආදරයක් එක දිනකට ලඝු කිරීම මන්දබුද්ධික ක්‍රියාවකි. බුද්ධිමත් තරුණ පරම්පරාවක් විදිහට කළ යුත්තේ ‘කසිකබල් වැලන්ටයින් ඩේ’ සැමරීම නොව, ලෝකයට අලුත් නිර්මාණ හඳුන්වාදෙමින් වැටුණු රට නඟාසිටුවීමට ශක්තියක් වීමය. එමෙන්ම දැන් අපට අනුන්ගේ දින සමරමින් කා දමන්න ද කාලයක් නැත. ඉතිරිව ඇත්තේ වැඩ කළ දින පමණි.

මේක වැලන්ටයින් ඩේ නෙවෙයි 'රූම් ඩේ' (Room day)

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment