මේනක ලොස්ට් නිසංසලා බ්ලාස්ට්…. අබ්ලික්‌ Story

561

නිසංසලා රැකියාව කළේ අගනුවර ප‍්‍රධානම පෙළේ පෞද්ගලික බැංකුවක. නිසංසලාට තිබුණෙ මනබඳිනා රූ සපුවක්. කොටින්ම එයා දිහා බලන ඕනෙම කෙනකුට දෙවරක් හැරිලා බලන්න හිතෙන තරමේ රූපකායක් උරුම වෙලා තිබුණා.

නිසංසලාගෙ ආදරය පතාගෙන ආව තරුණයො එකෙක් දෙන්නෙක් නෙවෙයි සිය ගාණක්. ඒත් ඒ කාටවත් නිසංසලාගෙ ආදරය දිනාගන්න බැරිවුණා.

නිසංසලාට මේනකව දැනහඳුන ගන්න ලැබුණේ ඇය රැකියාව කළ බැංකුවෙදීමයි. මේනකගෙ කඩවසම් බව ඉදිරියේ නිසංසලාත් අතරමං වුණා.

මං කැමැතියි ඔයාට. මං දවස් කීපයක්ම බැංකුවට ආවෙ ඔයාව බලලා යන්න.

මේනක නිසංසලාට කිට්ටු කරලා හිමිහිට කිව්වා. නිසංසලාගෙ හිත ආදරෙන් පිරිලා ගියා.

ඔන්න ඔය විදිහට තමයි නිසංසලා මේනක ආදර අන්දරයට මුලපිරුණෙ. නිදහස ලැබිච්ච හැම වෙලාවකම මේ දෙන්න කොහේ හරි තනිවුණා. ඒ හැම වෙලාවකදීම නිසංසලා අනාගතේ ගැන ලස්සන හීන මැව්වා.

නිසංසලා මං කරන බිස්නස්වලින් මට ලොකු ආදායමක් එනවා. අපට පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔයට මේ රස්සාවෙන් හම්බ වෙන තුට්ටු දෙක වැඩක් නැහැ. ඔයා රස්සාවෙන් අයින් වෙලා ගෙදර ඉන්න මට පුළුවන් ඔයාට රජ සැප දෙන්න.

මේනක කිව්ව හැම දෙයක්ම නිසංසලා හිස්මුදුනින් පිලිගත්තා. ඒ වෙනකොට මේනක පාවිච්චි කළේ අති සුඛෝපභෝගී වාහනයක්. එයා අත දිග ඇරලා හතර අතට සල්ලි වියදම් කළා. මේනකගෙ බැංකු ගිණුම් වලත් අසීමිත මුදලක් තිබුණා.

නිසංසලා අනාගතේ ගැන හිතලා සතුටු වුණා. වැඩිකල් නොගිහින් නිසංසලා රැුකියාවෙන් ඉවත් වුණා. රැුකියාව අහිමිකරගන්න එකට නිසංසලාගෙ දෙමවුපියො දැඩි විරෝධය පළකළා.

උඹ දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන හොයාගත්ත වැදගත් රස්සාව නැති කර ගත්තා. කවදහරි උඹට පසුතැවිලි වෙන්න වෙයි.

නිසංසලාගෙ දෙමවුපියො ඇයට එහෙම කිව්වා. ඒ වෙනකොට එයාගෙ වැඩිහිටියො හොඳ තැනකින් කසාදයක් ලෑස්ති කරලා තිබුණා. ඒත් නිසංසලා ඒ කිසිදේකට කැමති වුණේ නැහැ. එයා මේනකට පොරොන්දුවක් දීලා තිබුණා.

අන්තිමේදී දෙමවුපියන්ගෙ දැඩි විරෝධය මැද්දේ නිසංසලා මේනක එක්ක විවාහ වුණා.

විවාහයෙන් පස්සෙ මේනක නිසංසලාව කැන්දගෙන සුඛෝපභෝගී නිවසක පදිංචියට ගියා. නිසංසලා ඒ වෙනකොට අම්මා තාත්තා සහෝදර සහෝදරියො ළඟම ඥාතියො හැම කෙනෙක්ම අමතක කරලා මේනක එක්ක අලූත් ජීවිතයක් ආරම්භ කරලා හිටියෙ.

මේනකගෙයි නිසංසලාගෙයි විවාහ ජීවිතේ ප‍්‍රශ්න නැතිව ගලාගෙන ගියා. මේනක විශාල ධනයක් වියදම් කළා. ඒත් එයට ආදායම් ලැබෙන හැටි ගැන නිසංසලා දැනගෙන හිටියෙ නැහැ. මේනක කවදාවත් එයාගෙ ව්‍යාපාර ගැන කිව්වෙත් නැහැ.

පසුගිය දවසක මේනක නිවසින් පිටවෙලා ගියෙ රාත‍්‍රියට ආපසු එන බවට පොරොන්දු වෙලා. ඒත් මේනක එදා රාත‍්‍රියේ ගෙදර ආවෙ නැහැ.

දැන් නිසංසලා හොඳටම බය වෙලා එයා හතර අතට කෝල් ගන්නවා. ඒත් මේනකගෙ ජංගම දුරකථනයත් වැඩ නැහැ.

පහුවදා උදේම මේනකගෙ යාළුවෙක් නිසංසලාව හොයාගෙන ගෙදරට ආවා.

මේනක අයියා පණිවිඩයක් දුන්නා. එයා පොඩි ප‍්‍රශ්නෙකට පොලිසියට අහුවෙලා. දවස් කීපයකින් ගෙදර එනවා කිව්වා. නංගිට කලබලනොවී ඉන්න කියන්න කිව්වා.

ඒ කතාව ඇහුවට පස්සෙ නිසංසලාට තරු විසිවුණා. මොකක්ද මේ සිද්ධවෙලා තියෙන්නෙ කියලා එයාට හිතාගන්නත් බැහැ.

නිසංසලාගෙ හොඳම යාළුවගෙ සැමියා පොලිස් නිලධාරියෙක්. එයා මේනක ගැන තොරතුරු විමසුවා. අන්තිමේදී මේනකගෙ පැටිකිරිය එළියට ආවා.

මේනක කියන්නෙ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා නිසංසලා දැන ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. එයා හෙරොයින් තොගයක් එක්ක පොලිසියට කොටුවෙලා. මේනක අතිසුඛෝපභෝගී ජීවිතයක් ගතකරලා තියෙන්නෙ කුඩු සල්ලි වලින්.

නිසංසලාගෙ සිහින ලෝකයම එයා ඉදිරිපිට කඩා වැටිලා සුණුවිසුනු වෙලා ගියා. ඒ වෙනකොට නිසංසලා ගැබිනියක් වෙන්න ඕන හැම දෙයක්ම නිසංසලාට වෙලා ඉවරයි.

වටිනා රස්සාව නැති වුණා. දෙමවුපියන්ගෙ ඥාතින්ගෙ ආදරය රැුකවරණය අහිමි වෙලා ගියා. ඒ මදිවට දරු ගැබක්. නිසංසලා අනාගතේ ගැන අරමුණක් නැතිව මේනකගෙ මන්දිරයෙන් පිටවුණා.

හොයාන්න බලන්නෙ නැතිව විවාහ ජීවිතවලට එළඹෙන තරුණියන්ට මේක හොඳ පාඩමක්.

  • රණදේව
advertistmentadvertistment
advertistmentadvertistment