මේරිලන්ඩ් විහාරාධිපති කටුගස්තොට උපරතන නාහිමිට ඇමරිකානු ජනපතිගෙන් ගෞරව සම්මාන

63

ඇමරිකා එක්සත් ජනපදය සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකරන ලද ආගමික හා සමාජීය සේවාව ඇගයීමට ලක්කර උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් 2022 වසරේ LIEFTIME ACHIEVEMENT AWARD ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදි. මීට අදාළ සම්මාන ප්‍රදානය පසුගියදා මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී සිදුකෙරිණ. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ජීවිතයේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන මෙම සම්මානය ලබා ගත් පළමු ශ්‍රී ලාංකික බෞද්ධ හිමිනම වන්නේද කටුගස්තොට උපරතන හිමිපාණෝය. එම සම්මානය ඉන්දු – ඇමරිකානු ව්‍යවසායක කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි එලීශා පුලිවර්ට් :(ELISHA PULIVART) මහතා විසින් උපරතන හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය.

වොෂින්ටන් සරසවියේ බෞද්ධ දර්ශනය සහ භාවනාව පිළිබඳ උපදේශක මෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ හිටපු උපදේශකවරයකුද වන කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ථෙරවාදී බුදුදහම ලෝකය පුරා ප්‍රචලිත කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර ඉන් ඔබ්බට ගොස් සියලු ආගමික ඇදහිලිවලට ගරු කරමින් වත්මන් භික්ෂු පරපුරටද පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන ථෙර නමකි. 2021 වසරේ ජාත්‍යන්තර වෙසක් දිනය ධවල මන්දිරයේ පැවැත්වීම සඳහා ආරාධනා හිමිවූයේද උපරතන හිමිපාණන් වහන්සේටය.

advertistmentadvertistment
advertistmentadvertistment