මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…

229

තවත් සීනි කොම්පැනි මේ රටට ඕන නම් කන්තලේ අරගෙන කරල පෙන්නන්න

රිදීමාලියද්ද ගොවියෝ ආණ්ඩුවට කියති

“මේ බිමේ අපි අවුරුදු ගාණක් බඩඉරිඟු, කුරක්කන් වගාව කරපු මිනිස්සු මහත්තයෝ… මාස් කන්නෙට අබ, බටු, මිරිස්, එළවළු වර්ගත් වගා කළා. අපි අපේ මහන්සියෙන් රටට කන්න දුන්න මිනිස්සු. ඒත් දැන් ඒවා කරන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා. එක පැත්තකින් පෝර ගිනිගණන්. හොයාගන්නත් අමාරුයි. ඒ මදිවට සීනි පැක්ටෙරියකට ඉඩම් දෙන්න ඕන කියල මහවැලියෙන් අපේ වගා අයින් කරගන්න කියල නඩු දාල. ගිය පාර බඩඉරිඟු හේන් පිටින්ම ඩෝසර් කළා. වගාව රැකගත්ත පැල්පත් කඩල දැම්මා. ඒ මදිවට වල් අලින්ගෙන් තව පැත්තකින් බැට කනවා. කන්න දෙක තුනක්ම වගාකරගන්න බැරි වුණා. කණකර බඩු උකස් වෙන්නත් ළඟයි. කරන්න දෙයකුත් නැහැ. කන්න, බොන්න නැතිව පුදුම දුකක් වේදනාවක් අපිත් අපේ දරු පැටවුනුත් විඳින්නේ. රට පාලනය කරන මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නෑ. මේ පාර අපට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ රට කජු ටිකක් හිටවගෙන ජීවිතය ගැටගහගන්න එක තමයි. මොකද ඒවට තෙල්, බෙහෙත් පෝර ඕන නැති නිසා. ඒත් රටකජු බීජත් හරි ගණන්. කොහොම ජීවිතේ ගෙවන්න ද කියල අපිට තේරෙන්නෙ නෑ මහත්තයෝ” යයි කියමින් තම දුක කීවේ ඇකිරියන්කුඹුර, දෙහිගම වගා කොළනියේ තම වගාව කරගෙන යන ටී.බී.සෝමාවතී (74) ගෙවිලියයි.

අපි යනවිට ඇය තම හේන මහ කන්නයේ වගාවට සූදානම් කරමින් සිටියාය. ඒ පසෙකින් ගහක් උඩ තැනූ ඇගේ පැල්පතයි. හේන වගාකිරීමෙන් පසු සෑම රාත්‍රියකම මේ පැලට වී වන අලින්ගෙන් වගාව රැකගත යුතු බව ඇය කියන්නීය.

“මගේ හේන ඔක්කොම අලි කෑවා. යන්තම් කෙහෙල් ගස් ටික වැවීගෙන එනකොට තමයි අලි හේනට පැන්නේ. පැළත් අලි කැඩුවා. ආන් බලන්න මහත්තයෝ…” කියමින් බිමට කඩා වැටුණු පිදුරු සෙවිලි කළ තම පැල්කොටය අපට පෙන්වූයේ ඒ.එම්. ගුණබණ්ඩා ගොවි මහතාය. අපි ඔහු ඇමතුවේ ගුණේ මාමා ලෙසිනි. ඇකිරියන්කුඹුරට රැස්ව අප සමග ඔවුන් මුහුණ පා ඇති ඉඩම් පවරාගැනීමේ අසාධාරණය ගැන කතා කළ ගොවීන් සමග සිටි ගුණේ මාමා, මදුරා ඔයෙන් (මාදුරුඔයට එකතුවන අතු ඔයකි) එගොඩව ට්‍රැක්ටරයකින් දෙහිගමට අප ආ අමාරු ගමනට එක්ව අප සමගම පැමිණි අයෙකි. ඔහුගේ උනන්දුව තිබුණේම ඔවුන් විඳින ආර්ථික හා වගා දුෂ්කරතා මෙන්ම, උක් වගා කටයුතු සඳහා තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම් සඳහා ලබා දුනහොත් පාරම්පරික ගොවීන් වන තම ගොවි ප්‍රජාවට සිදුවන බලවත් අසාධාරණය අපට පෙන්වීමට ය.

මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…

තවත් එවැනිම පාරම්පරික හේන් ගොවියෙක් වන එස්.එම්. ගුණපාල තම ට්‍රැක්ටරය මහ පාරටම ගෙනවිත්, ට්‍රැක්ටරයේ ටේ්‍රලරයේ අපව පටවාගෙන දෙහිගම වගා කොලනියට රැගෙන ආවේ දෙහිගම හා ඇකිරියන්කුඹුරේ හේන් ගොවීන් මුහුණ දෙන අර්බුද අප ඇස් පනාපිට පෙන්වීම පිණිසය. පොහොර, බීජ, වන අලි අර්බුද කොතෙකුත් තිබුණත්, ඔවුන් කියන්නේ ඒ සියල්ලටත් වඩා තමන් තම පාරම්පරික ගොවි ඉඩම්වලින් එළවා දමා, ඒ ඉඩම් උක් වැවිලි සමාගමකට දෙන්නට රජය ගෙන යන අත්තනෝමතික කටයුත්ත වහා නවතා නොදැමුවහොත් තම ඉඩම් මත්තේම මිය යන්නට තමන් සූදානම් බවයි. එහිදී තම හේනටම අපව කැඳවාගෙන ගිය ගුණේ මාමා තමන් විඳින දුෂ්කරතා වැඩිදුරටත් විස්තර කළේ මෙසේය.

“මහත්තයෝ අපි මේවා දන්නා කාලේ ඉඳන් ගොවිතැන් කරන ඉඩම්, අපේ අත්තලා, මුත්තලා පවා වැඩකරපු ඉඩම්. මේ බලන්න අපි දාපු කෙහෙල් වගා. ඊයේ පෙරේදා අලි ඇවිත් වගාව කොටසක් කෑවා. දැන් ඉතින් ජීවත් වෙන්න විදිහක් නෑ. බඩඉරිඟු හේන්වලට මේ පාර මහන්සිවෙන්න විදිහක් නෑ. පොහොර හොයාගන්නත් නෑ. මේ මහ කන්නෙ මොකවත් දාගන්න බැරි වුණොත් මහත්තයෝ වහ කන්න තමයි වෙන්නෙ. ඒ මදිවට උක් කොම්පැණියෙ කරදරේ. රටේ සීනි කොම්පැනිවල තරම අපි දන්නවනේ මහත්තයෝ… තවත් සීනි කොම්පැනි ඕන නම් ඉස්සෙල්ල වහල තියන කන්තලේ සීනි ෆැක්ටරිය අරන් කරලා පෙන්නන්න කියන්න.” ඒ ඔහුගේ අභියෝගයයි.

අපි දෙහිගම ප්‍රදේශයට රැගෙන ගිය ට්‍රැක්ටරය හිමි එස්.එම්. ගුණපාල ගොවි මහතා කීවේ “මහත්තයෝ ට්‍රැක්ටරේට බැටරියක් දාන්න රුපියල් 60,000 ක් ගියා, බොහොම අමාරුවෙන් ඒ දේ කරගත්තෙ. ඊට පස්සෙ අක්කර තුනක් විතර හාන්න තවත් ගාණක් යට වුණා ඩීසල්වලට. දැන් මේ බලන්න කොණ්ඩේ කපාගන්නවත්, සෙරෙප්පු දෙකක් ගන්නවත් මගේ අතේ සල්ලි නෑ. ඊළඟට කන්නේ කොහොමද, මේ වගාවට පොහොර බෙහෙත් ගන්නේ කොහොමද කියල මම මේ දස අතේ කල්පනා කරමින් ඉන්නෙ.”

මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…
ජයවර්ධන

“මේ බලන්න ගිය පාර මගේ පැළ ආණ්ඩුවෙන් ඇවිත් කඩල දැම්මා. රේඩියෝ දෙකක් තිබ්බා, තව බඩු ගොඩක් තිබ්බා, හාල්, ලුණු තුනපහ තිබ්බා. අඳින ඇඳුම් තිබ්බා. මේ ඔක්කොමත් එක්ක ගේ කැඩුවේ. සහගහණ අපරාධ මහත්තයෝ” යයි ඔහු කීවේ කඩා බිඳ දැමූ පැල් කොටය ළඟ සිටගෙන හූල්ලමින්ය. ඒ අසල ඔහු කියපු බඩු භාණ්ඩවල නටබුන් ගොඩක් ද විය.

දෙහිගම හේන්යායේ වගා කටයුතු කරන එච්. එම්. ජයවර්ධන මාමා ද අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථකව වගා කටයුතු කරන ගොවියෙකි. වන අලින් ගැවසෙන දෙහිගම කෙළවරේම තම හේන්යාය කරගෙන යන ජයවර්ධන මාමා හොඳ කවිකාරයෙකි. ඔහු තම උඩ පැලේ සිට යායටම ඇහෙන්න කළ ජන කවි ගායනයෙන් හා අප හා සමග කළ කතාවෙන්ද දුර දිග නොබලා කටයුතු කරන දේශපාලකයින්ට, නිලධාරීන්ට හා දුර දිග නොබලා තීන්දු තීරණ ගන්නා පුද්ගලයින්ට කීවේ ඇනුම් පද යයි මම කල්පනා කරමි. ඒ තම ඉඩම් නොරටුන්ට පාවාදෙන වේදනාවටය.

සැබැවින්ම රටේ ආර්ථිකය නංවන්නට දහ දිය වගුරන මේ ගොවි ජනතාවට අද යන එන මං නැති තැනට වැඩ සිද්ධ වෙමින් පවතී. ඒ විශේෂයෙන්ම රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයේ ගොදුරු බවට මේ ජනතාව පත්ව තිබීමටත් වඩා ඉඩම් හිමි පාරම්පරික භූමියෙන් ඔවුන් ඉවත් කරන්නට වගකීමක් නැති රජයක් මගින් ගෙන ඇති අදූරදර්ශී තීන්දු තීරණ නිසාය. ස්ථිර නිවසක්, ස්ථිර බෝග වගාවක් කරන්නට මේ ගොවීන්ට අවසර නැති අතර, වැට මායිම් යොදා තම ඉඩම් වෙන්කරගන්නට ද ඔවුන්ට අවසරයක් නැත. අඩුම තරමින් වගා කරන ලද අස්වැන්න නෙළා ගන්නටවත් නොදී කරන ලද සහගහන අපරාධයක් වන බෝග විනාශ කිරීමේ පාපය අද රටටම දැනී තිබේ. මේ ගොවීන් රජයෙන් කිසිදු දීමනාවක්, සහනාධාරයක් නොමැතිව එහෙත් රට වෙනුවෙන් වගා කරන්නේ ජාතික ආර්ථිකය සරිකරනු පිණිසය. මේ තාක් මොවුන්ගෙන් රටට සිදුව ඇති සේවය හා ආර්ථික පලදායිතාව ගණනය නොකර, ඔවුන්ගේ නිජබිමෙන් එළවා දමන්නට සැරසෙන්නේ ප්‍රදේශයම බහුජාතික සමාගම් මේනියාවකට බිලිදෙමිනි.

මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…
දිලෙන පාත්‍රාගොඩ

රටේ ආර්ථිකය සරිකරලන්නට කුමක් හෝ නිෂ්පාදනයක් ලබාදෙන ගොවීන් දුක්ඛ දෝමනස්සයන් රැසක පැටලී සිටින අතර ඔවුන් මෙසේ වගාකරන ඉඩම් අක්කර 375 (හෙක්ටයාර් 149.2) ක් රජය මගින් සීනි කර්මාන්ත ශාලාවකට බදු දීමට සැරසේ. මෙසේ සීනි කර්මන්තශාලාවකට සහ උක් වගා බිම් සඳහා යයි කියමින් රිදීමාලියද්ද, ඇකිරියන්කුඹුර ප්‍රදේශයෙන් “ගැසල් වෙන්චස්” නම් සිංගප්පූරු සමාගමක් වෙත රජය මගින් ලබාදීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර 65,000 කි. මින් අක්කර 400 ක පමණ භුමි භාගයක අදාළ උක් කර්මාන්තශාලා පරිශ්‍රය ඉදිකෙරෙන අතර, ඒ සඳහා යොදාගන්නා භූමි ප්‍රදේශය වන්නේ දෙහිගම හා ඇකිරියන්කුඹුර නම් මෙසේ අප සංචාරය කර අදහස් ලබාගත් ගොවීන් වගාකරන ප්‍රදේශයයි. දැනටමත් මෙහි ගොවීන් 163 දෙනෙක් වගා කටයුතු කරගෙන යන අතර, සෑම මාස් කන්නයකදීම බඩඉරිඟු ඇතුළු වෙනත් බෝග වගාකරමින් ජාතික ආර්ථිකයට ඔවුන් විසින් සිදුකරනු ලබන්නේ අමිල සේවයකි.

ඔවුන් වගා කරනු ලබන මෙම අක්කර 500 ක් පමණ වන ඉඩම් ප්‍රමාණය ආරම්භයේදී කැලෑ ඉඩම් ලෙස තිබී පරම්පරාවෙන් පරම්පරාවට හේන් ගොවිතැන් කරන ලද ඉඩම් බව අප හඳුනා ගත් කාරණාය. එනමුත් මෙම ඉඩම් සඳහා හිමිකම් ඔප්පු හෝ බලපත්‍ර කිසිවක් කිසිදු රජයක් මගින් ලබාදී නැති බව සැබෑවක් නමුත් බොහෝ ගොවීන් තම වගා ඉඩම් සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අක්කර බදු ගෙවා ඇත. ඒ සඳහා වන කුවිතාන්සි බොහෝ ගොවි මහතුන් සතුව ඇත. එනමුත් කන්නට ඕනෑ වූ විට කබරයත් තලගොයා කරගන්නා න්‍යාය තුළ අද වන විට මේ ඉඩම් සියල්ල ඇතුළත් භූමි ප්‍රදේශය මහවැලියට පවරාගෙන, ඉන් මේ ගොවීන් 163 දෙනා ඉවත් කරන්නට කටයුතු කරගෙන යයි. ඒ හොඳින් නොව නරකෙනි. ගොවීන් 163 දෙනා අතුරෙන් ගොවීන් 46 දෙනකුට මේ සියලු ඉඩම් ප්‍රමාණය ගොනුකර, ඔවුන් විශාල ඉඩම් කට්ටි වශයෙන් අල්ලාගෙන ඉන්නා බවට පෙන්වා ඉන් ඉවත්කිරීම සඳහා නඩු දමා ඇති බව අප කළ සොයාබැලීමේදී රිදීමාලියද්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් වන නාමල් සංජීව, එච්.එම්. ප්‍රේමසිරි බණ්ඩාර හා තුෂාර සම්පත් යන අය පැවසූහ.

මෙම සංවිධානය හා ඇකිරියන්කුඹුර හා දෙහිගම ප්‍රදේශවල ජනතාව මෙසේ තම ඉඩම් රජය මගින් පවරාගැනීමට විරුද්ධව අවස්ථා කිහිපයකදීම තම විරෝධතාව උද්ඝෝෂණ ආකාරයෙන් පළකර ඇත. එනමුත් රජය මෙම තීරණය අකුලාගන්නා බවක් පෙනෙන්නට නැත. ලංකාවට තවත් සීනි කර්මාන්ත ශාලාවක් අවශ්‍ය නම්, වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ගොඩනැගිලි ඇතුළු අනෙකුත් දේපළ සමග අදාළ සමාගමට හෝ එහි දේශීය නියෝජිතයා වන අයි.එම්.එස්. හෝල්ඩින්ග්ස් ආයතනයට හැකියාව තිබියදී අලුත්ම අලුත් ඉඩම් කලාපයක් තෝරාගෙන මෙසේ කාලයක් තිස්සේ ගොවීන් වගාකරන ඉඩම් බලෙන් අත්පත් කරගන්නට සැරසෙන්නේ ඇයිද යන්න නොතේරෙන කාරණයකි. මේ සාහසික වැඩපිළිවෙළ දැන් ජනතාවට ඉතා හොඳින් අනාවරණය වී ඇති බැවින් මහවැලිය ඇතුළු රජය ගලේ පහරපු බළලුන් ගාණට වැටී ඇත.

ඒ අනුව, අයි.එම්.එස්. හෝල්ඩින්ග්ස් නොහොත්/ හෝ ගැසෙල් වෙන්චර්ස් සමාගමට ලබාදීමට නියමිත අක්කර 65,000 ක ඉඩම් ප්‍රමාණය කඩා ගන්නට නොහැකිව රජය හා දේශපාලන කුණකටුවන් දැන් පිස්සු බල්ලන් ගාණට වැටී ඇත. ඒ අනුව වෙල්ලස්සේ ඉඩම් කොල්ලයට දැන් ජනතාවගෙන් අභියෝග මතුව ඇත. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රමුඛ වෙල්ලස්සේ ජන අයිතිය ගැන කතාකරන එකමුතුවත්, පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රමුඛ ඇකිරියන්කුඹුර හා දෙහිගම ගොවි ප්‍රජාවත් එකතුව මේ අභියෝගය ජයගන්නට දරන්නේ අපමණ වෙහෙසකි. ජනතා අරගල, උද්ඝෝෂණ, අධිකරණ කටයුතු යනාදී බොහෝ ක්‍රියාමාර්ග තුළ මේ දිනවල ප්‍රදේශයේ ජනයා නොබියව, නොසැලී අද ගිලී බැසගෙන කටයුතු කරන්නේ තම උරුම ගොවිබිම් ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත අවශ්‍යතාව නිසාය. නොහොත්, තර්ජන, ගර්ජන, තාඩන, පීඩන බලපෑම් නහුතයකට යටනොවී අද වෙල්ලස්සේ ජනයා සීනි කර්මාන්තය නොව, තම නිජබිම්, තම පාරම්පරික උරුමය රැකගන්නට දිවි පූජාකරන තරමේ ආවේගයකින් කටයුතු කරමින් සිටින බව එම ප්‍රදේශයේ කරන ලද ක්ෂේත්‍ර මාධ්‍ය සංචාරයකින් අප අනාවරණය කරගත් බව මෙසේ ලියා තබන්නට කැමතිය.

මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…

මෙම ඉඩම් කොල්ලය නිසා වෙනදා මහ කන්නයට බඩඉරිඟු හේනක් දෙකක් වශයෙන් අක්කර 500 ක පමණ යායක අලින්ගෙන්, අනෙකුත් වන සතුන් හා කුරුල්ලන්ගෙන් මාස 4 ක් පමණ රැකගෙන රටට ලබාදෙන අස්වැන්න අවුරුදු දෙකකින් පමණ ගන්නට නොහැකි වී ඇත. එක අවුරුද්දක් මහවැලියෙන් කියා පැමිණි පිරිසක් විසින් වගාව ඩෝසර් කරනු ලැබීම නිසා ආදායම් අහිමිවී ගිය බව ගොවීහු කියති. ඒ අනුව ආදායමක් නැතිව මේ මොහොතේ ගොවීන් අන්ත අසරණ වී සිටිති. මේ කන්නයේ අලුතෙන් බඩඉරිඟු හේන් කරන්නට පටන් ගෙන ඇත්තේ ඉතා සුළු ගොවීන් පිරිසකි. අනෙක් අයට බීජ, තෙල්, පොහොර ගන්නට අතේ මිල මුදල් නැත. එසේම ආණ්ඩුවෙන් හෝ කොම්පැනියෙන් පැමිණ මෙවරත් වගාව විනාශ කරයිද යන්න ගැන මේ ගොවීන් පසුවන්නේ මහත් බියකිනි. මේ පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ, ප්‍රකාශ කළේ මෙවන් කතාවකි.

“ආරම්භයේ තම පාරම්පරික වගා ඉඩම් රැකගැනීමේ සටන මේ ප්‍රදේශයේ ජනතාව කරගෙන ගියේ තනිවම. ඔවුන් ලිපි ලිව්වා. විරෝධතා කළා. මේ කිසිවකින් පලක් වුණේ නෑ. ඒ අතර අදාළ කොම්පැනිය වැඩ පටන් ගත්තා. වැටවල් ගහන්න පටන් ගත්තා. ගොවීන් හා කොම්පැනිය අතර ගැටුම් හට ගත්තා. මේකෙන් උනේ ගොවීන් අසරණ වෙන එක. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. නඩු වැටෙන්න පටන් ගත්තා. මේ අනුව ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි සංවිධානයක් හැටියට මැදිහත් උනා. ගොවීන්ට උදව් කළා. ඔවුන්ට නීතිය ගැන, නීති ආධාර ගන්න අපි වැඩමුළු කළා. දැනුවත් කළා. කියන්න සතුටුයි ගමේ තරුණ, තරුණියන් ඉන් පස්සෙ මේවට මුහුණ දීල තම අයිතීන් රැකගන්න හැටි දැන් දන්නවා. ඔවුන් දැන් කොම්පැනිකාරයින් එක්ක, මහවැලිය එක්ක, ආණ්ඩුව එක්ක නීතිමය ලෙස කටයුතු කරන හැටි දැන් දන්නවා. අපි පරිසර යුක්ති කේන්ද්‍රය හැටියට යුක්තිය පසිඳලන තුරු මේ ගැටලුව විසඳෙන තෙක් ගොවීන් එක්ක ඉන්නවා. ඒ වගේම උක් කර්මාන්තයෙන්, රටට ඇතිවන, පරිසරයට ඇතිවන අනර්ථය ගැන දිගින් දිගටම අපි රටේ ජනතාව දැනුවත් කරනවා. මොකද මේ පිටුපස අලි-මිනිස් ගැටුම එනවා. පරිසර බලපෑම් එනවා. කම්කරු හා ශ්‍රම ප්‍රශ්න එනවා. ඒ සියල්ලක් අපි නිරීක්ෂණයෙන් ඉන්නවා වගේම අවස්ථාව අනුව අපි ඉදිරියට කතා කරනවා.” ඒ ඔහුගේ අදහසයි.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් සැලසුම් කරන ලද ක්ෂේත්‍ර චාරිකාවක් ඇසුරෙනි.

මේවා අපේ පාරම්පරික ඉඩම් මහත්තයෝ…උක් වවන බිමක දුක් වළඳන මිනිස්සු…
අලි කඩාදැමූ අතු පැළක්

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment