මේ අපි ගෙවන්නේ පාස්කු මරණවල දේව ශාපය – පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම

315

මෙහෙම ගියොත් කැරැල්ලක් නියතයි

ආණ්ඩුවත් විපක්‍ෂයත් තවම යන්නේ පරණ පාරේ

විධායක ජනාධිපති වුණ වැඩිදෙනෙක් පිස්සෝ

සමහරු අද බුරන්නේ රාජ්‍ය ඇමැති කට්ටකට

කුමාර වෙල්ගම පරිණත දේශපාලනඥයෙකි. එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු, ‘මහින්ද සුළඟ’ හරහා නැවත වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණේ රාළ භූමිකාවකට පණපෙවූ ඔහු පසුව රාජපක්ෂ කඳවුරට සමුදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂයා වශයෙන් නම් කිරීමත් සමගය. අනතුරුව සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් හිමිකර ගත් හෙතෙම මේ වන විට නව දේශපාලන ගමනක් සඳහා අර අඳිමින් සිටින බව පෙනෙන්නට තිබේ.

ඒ පිළිබඳව මෙන්ම වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය, විපක්ෂයේ ක‍්‍රියාකාරකම් ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා මුණගැසුණෙමු.

ප‍්‍රශ්නය – වත්මන් ආණ්ඩුවේ දෙවන, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ මංගල අයවැය වගේම මේ රටේ 76 වැනි අයවැය පසුගියදා පාර්ලිමේන්තුවෙදි ඉදිරිපත් කළා. ආණ්ඩු පාර්ශ්වය කියන්නේ වසංගතය හමුවේ ඉතාම හොඳ අයවැයක් ඉදිරිපත් කර ඇති බව. ඇත්තටම මේ අය වැය සම්බන්ධයෙන් ඔබේ අදහස කෙසේද?

පිළිතුර – මට නම් පේන විදිහට බැසිල් මහත්තය අයවැයක් ගැන කිසිම දැනුමකින් ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි මේක. ඒ අය ඔවුන්ට ඡුන්දය දුන්න ගමේ දුප්පත් මිනිහව අමතක කරල තියෙන්නෙ. අප දුප්පත් මිනිස්සුන්ට ජීවත්වෙන්න ඉඩක් නෑ. අඩුම තරමෙ ඔවුනට සහනයක් දෙන්නවත් මේ අයවැය ඇතුළෙ වැඩපිළිවෙළක් නෑ. රජයේ සේවකයන්ගෙ පඩි වැඩිකරල නෑ. පුද්ගලික අංශයටත් නෑ. ජීවන බර වැඩිවෙන වේගයෙන් ජනතාවගෙ පඩිපත වැඩිවෙන්නෙ නෑනෙ. ඒ ගැන කිසිම කතාවක් නෑ. ඒ ගැන මට තියෙන්නෙ කනගාටුවක්.

මේ අයවැය ගැන කතාකළොත් පෝෂණ මල්ල වැඩිකරල තියෙනව මාස 24ක්. කීයෙන් කී දෙනාටද ඒක ලැබෙන්නෙ. ඒ වගේම දුප්පත් අයට සලාක මල්ලක් දෙන බව කියනව. ඒක දෙන විදිහ හරියට කියල නෑ. මන්ත‍්‍රීවරයෙක් විශ‍්‍රාම වැටුප් ලැබෙන වයස අවුරුදු දහයක් කිරීම හොඳ දෙයක්. නමුත් ඒක අතීතයට බලපාන විදිහට දාල නෑ. ඒ වගේම ජනාධිපති විශ‍්‍රාම වැටුප ලබාදීමේ කාලය අවුරුදු දහයක් කළත්, ඒකත් අතීතයට බලපාන විදිහට දාල නෑ. එහෙම වුණානම් මහින්ද රාජපක්ෂ මහත්තයටත්, සිරිසේන මහත්තයටත් ලැබෙන්නෙ නෑ. අයියව බේරන්න කොලේ වහල ගහපු දෙයක් තමයි ඒ යෝජනාවත්. ඉන්ධන දීමනාව අඩු කළාට වඩා හොඳයි තව ලීටර් පහක් අතින් දුන්නනම්. ඒක හරියට පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂයක් ගනිද්දි රුපියල් දහයකින් අඩුකරනවා වගේ දෙයක්. ඒව ඇස් බැන්දුම්. ගුරුවරුන්ගෙ හිඟ වැටුප් දීම අයවැයට පෙර තීරණය කළ දෙයක්. කොහොම වුණත් ඒක දුන්නු එක හොඳයි. ගුරුවරුන්ට හැරුණම, සෞඛ්‍ය, ආරක්ෂක, රජයේ සේවකයන්ට කිසිම දෙයක් කරල නෑ. අයවැයක් ඉදිරිපත් කරද්දි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රොනී මැල් වගේ හොඳ ආර්ථික දැනුමක් තියෙන අය ඉදිරිපත් කරපු අයවැය ගැනත් බලන්න ඕන. මේ අයවැය සතපහකටත් වැඩක් නැති වනල ගහපු අයවැයක්. පහේ පන්තියෙ ළමයෙක්ට වුණත් මේ වගේ අයවැයක් හදන්න පුළුවන්. මේ අයවැය ෆේල්.

ප‍්‍රශ්නය – අයවැය උණුසුමත් සමඟ සමගි ජන බලවේගය බොහොම උද්දාමයෙන් කතාකරන්නෙ පසුගියදා කොළඹ පැවැත්වුණු උද්ඝෝෂණය ගැන. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ…

පිළිතුර – මම හිතන්නෙ ඒක සාර්ථක උද්ඝෝෂණයක්. ලංකාවෙ හැම පැත්තෙන්ම සෙනඟ ආව. ඊට අමතරව තැන් පහළොවක් විතර ඒ කියන්නෙ පොලිසියෙන් කොළඹට එන එක නවත්වපු තැන්වල වෙන වෙනම උද්ඝෝෂණ තිබ්බ. ආණ්ඩුවට ඒකෙන් රිදුනා. ඒ රිදවීම ආණ්ඩුව කොරෝනාව පිට තියල පිටකරන්න උත්සාහ කරනව. ඊට පෙර දවසෙ ජනාධිපතිතුමා පන්සලක ලොකු උත්සවයක් කළා. ඒකෙත් 2000ක් විතර හිටිය. ඒකට කොරෝනා හැදෙන්නෙ නැද්ද? ආණ්ඩුව සජබ උද්ඝෝෂණයට තහංචි දැම්මෙ නැත්නම් ගෝල්ෆේස් පිට්ටනියත් මදි වෙනව.

ප‍්‍රශ්නය – එදා මහින්ද සුළඟ ආරම්භ වුණෙත් නුගේගොඩ පැවැති ලොකු ජනතා රැලියකින්. ඒ ආපු රැල්ල නතර වුණේ රාජපක්ෂවරුන්ට නැවත පාලන බලය ලබාදීල. මේ උද්ඝෝණ රැල්ලත් ඒ වගේ ආණ්ඩු බලය හුවමාරු වන රැල්ලක් වෙයිද?

පිළිතුර – දැන්ම එහෙම දෙයක් පේන්නෙ නෑ. එහෙම යනව නම් රටේ ලොකු කැරැල්ලක් ඇතිවෙලා කොළඹ සතියක් විතර ඉන්න බලාගෙන සෙනඟ එන්න ඕන. මේ අය ඉන්න තැන්වලින් පන්නන්න නම් කරන්න ඕන ඒක. එහෙම නැතිව මේ ආණ්ඩුවට තව අවුරුදු තුනක් නීත්‍යනුකූල ආයුෂක් තියෙනව.

ප‍්‍රශ්නය – ඒත් විපක්ෂ දේශපාලන වේදිකාවලින් අපිට ඊළඟ ජනාධිපති අපේක්ෂකයන්ගෙ නමුත් ඇහෙනව.

පිළිතුර – එක එක්කෙනා මම තමයි ඊළඟ ජනාධිපති කියල කියනව ඇහෙනව තමයි. ඒක හරියට මුහුද හත්ගව්වක් දුර තියාගෙන අමුඩෙ ගහනව වගේ වැඩක්. කවුද දන්නෙ මේ කොවිඞ් වසංගතය අස්සෙ කොච්චර කලක් ජීවත්වෙන්න පුළුවන් වෙයිද කියල. මේ හැම කෑගැසීමක් ඇතුළෙම තියෙන්නෙ බලයට කෑදරකමක්. ජනාධිපතිකම විතරයි ඔළුවෙ තියෙන්නෙ. කිසිම දැක්මක් නෑ. ගොඩක් අය කියන්නෙ පසුගිය අවුරුදු හැත්තෑ දෙක කාලයෙ හොරා කාපු දේවල් ගැන. දැන් ඒ ගැන කෑගහල වැඩක් නෑ. ඒව හොරකම් කරල ඉවරයි. දැන් අපි ඉදිරියෙ තියෙන අනාගතයයි සකස්කරගන්න ඕන. ඒකට අද ඉඳල නිවැරැදි විසඳුම් දෙන්න ඕන. ඒවා ජනතාවට පෙන්වන්න ඕන. රැස්වීම් තිය තිය මම තමයි ජනාධිපති කියන පිස්සුව ඔළුවෙන් අයින් කරන්න ඕන.

මේ රටට වෙලා තියෙන්නෙ පාස්කු ප‍්‍රහාරයෙන් වුණු ජීවිත හානියේ දේව සාපය. ඒකට සම්බන්ධ වුණු උන් නීතියෙන් බේරුණත් සොබාදහම් නීතියෙන් නම් හැඳිගෑවිලා යනව. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අය නීතියෙන් හොයන්න ගියොත් ඒ පිටුපස්සෙ හුඟක් ලොකු ලොක්කො ඉන්නව. ඒ නිසා නීතියෙන් පාස්කු චූදිතයන්ට දඬුවම් ලැබෙනව කියන එක ගැන විශ්වාසයක් නෑ. පේ‍්‍රමදාස මහත්තයට එදා ජනතාව දෙස් දෙවොල් තබපු හැටි මතකයි නේද. ඒ කිව්ව වගෙ මොකද වුණෙ… කෑලි කෑලිවලට ගියෙ නැද්ද. ඒ වගේ තමයි මේවට සම්බන්ධ ලොක්කන්ටත් වෙන්නෙ. මේ අය ඔක්කොම පිස්සු වට්ටලා හැඳි ගෑවිලා යනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා ජනතා කැරැල්ලක් ඇතිවේ කියල. ඒක වීම කොහොම වෙතත් ආණ්ඩුව ඇතුළෙම ආණ්ඩුවට එරෙහි කැරැල්ලක් ඇතිවෙලා තියෙනවා නේද?

පිළිතුර – මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ හැම පැත්තෙන්ම පීඩාවට පත්වෙලා. ඒ පීඩනය කොයි මොහොතෙ හරි පිපිරුවොත් අනිවාර්යයෙන්ම ජනතා කැරැල්ලක් ඇතිවෙනව. ඒ වගේම විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය ආණ්ඩුවෙ ඇතුළෙ ඉඳගෙන කෑ ගැහුවට ඒ කිසිකෙනෙක් ආණ්ඩුවෙන් එළියට එන්නෙ නෑ. එහෙම ආවත් එන්නෙ මේ ආණ්ඩුවේ අවසන් කාලය වෙද්දි. මොකද මොන විරෝධය දැක්වුවත් තමන්ට ලැබෙන වරප‍්‍රසාද නැතිකරගන්න ඒ අය කැමැති නෑ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයගෙ කාලෙ හිටිය ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව එළියට බැහැපු සෞඛ්‍ය ඇමැති.

ගාමිණී ජයසූරිය තමයි ඒ. ඒ වගේ කොන්දක් තියෙන මිනිස්සු දැන් නෑ. දැන් ඉන්න අය බලන් ඉන්නෙ තමන්ට හෙට ඇමැතිකමක් ලැබෙයි කියල. ආණ්ඩුවට පක්ෂව කතාකරන ගොඩක් අය කතාකරන්නෙ හිතට එකඟව නෙමෙයි. උන්ට රාජ්‍ය ඇමැති කට්ටක් ගන්න. ඒකට තමයි මේ ශිල්ප දක්වන්නෙ.

ප‍්‍රශ්නය – ජනතා පීඩාවන්ට නිවැරැදි පිළිතුරු තියෙන දේශපාලන බලවේගයක් රටේ තියෙනව කියලා ඔබ හිතනවද.?

පිළිතුර – නෑ තාම නෑ. මට නම් පේන්නෙ නෑ. මේ ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන්නෙ පරණ පාරෙමයි. ඒ පාරේ ගිහින් වෙන්නෙ තවත් අතරමං වෙන එක විතරයි. අපි හිතමු රාජපක්ෂල පරාජය වෙනව කියල. ඒ වෙද්දි බලය ගන්න බලන් ඉන්න අය ආවොත් කරන්නෙත් ඥාති සංග‍්‍රහයන් තමයි. එහෙම වුණොත් නෝනලා තමයි රට පාලනය කරන්නෙ. මේ යන විදිහට මිනිහ රජ වුණත් ගෑණු තමයි රට පාලනය කරන්නෙ. ඒනිසා මේ ක‍්‍රමය බිඳින්න ඕන. එතනදි මුලින්ම මේ විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරන්න ඕන. එහෙම නැති කරන්න නම් වැඩි බලයක් පාර්ලිමේන්තුවට දෙන්න ඕන. හැබැයි සිරිසේන මහත්තය කළා වගේ නෙමෙයි. සිරිසේන මහත්තය 19 ගෙනාවා. හැබැයි ඒක අහෝසි කරන්න ගෙනාපු 20ටත් අත ඉස්සුවා. ඒ වගේ බොරු රැවටිලි වැඩක් නෑ.

මගේ නම් මතය විධායක ජනාධිපති බලය අහෝසි කරන්න ඕන. එහෙම බැරි නම් විධායක ජනාධිපති ධුරයෙ තියෙන බලතල අඩුකරන්න ඕන. අපේ රටේ විධායක ජනාධිපති වෙලා හිටිය බොහෝ දෙනෙක් පිස්සොනෙ. එක දිගටම ආවෙ පිස්සො. මේ යන විදිහට ඉස්සහරට තවත් පිස්සෙක් ඉඳගනී. ඉතින් ඉස්සරහටත් විධායක ජනාධිපති ක‍්‍රමයට මිනිස්සු ඡුන්දය දීල තවත් පිස්සෙක් පත්කරගන්න ඕනද? ඒ නිසා මේ ක‍්‍රමය වෙනස් කරන්න නම් සෘජු තීන්දු ගන්න පුළුවන්, කාටවත් බය නැති ප‍්‍රතිපත්තිගරුක මිනිහෙක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නෙ.

ප‍්‍රශ්නය – ඔබ මේ මොහොතේ දේශපාලනික වශයෙන් විපක්ෂයේ වේදිකාවේ දකින්නත් නෑ. ඔබගෙ මේ කල් මැරීම ඇතුළෙ තියෙන්නෙ කිනම් දේශපාලන අරමුණක්ද?

පිළිතුර – අපි දැන් බිම්මට්ටමින් අපේ දේශපාලනය ආරම්භ කරල තියෙන්නෙ. ඒ වෙනුවෙන් හොඳ ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට මේ වෙද්දි මූලිකත්වය ගනිමින් කටයුතු කරමින් ඉන්නව. සියලූ ජාතීන්ට එකට ජීවත්වෙන්න පුළුවන් ‘ශ‍්‍රී ලාංකික’ කියන හැඟීම හැම ජන කොටසකම සිත් තුළ ජනිත වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ඕන. අපේ තේමාව ‘අපි ශ‍්‍රී ලංකා’. අපි හොඳ පක්ෂ ව්‍යවස්ථාවක් හදල එළැඹෙන ජනවාරි මාසයෙ බත්තරමුල්ලෙ අපෙ පක්ෂ මූලස්ථානයෙ එළිදක්වන්න සූදානමින් ඉන්නෙ. එතනදි අපි සියලූම පක්ෂ එකතු කරගන්නව. අපේ ප‍්‍රතිපත්තිවලට එකඟ ඕනම අයෙක් අපි එකතු කරගන්නව වගේම හැබැයි දූෂණයෙන්, වංචාවෙන් පිරුණු පුද්ගලයන් නම් වැද්දගන්නෙ නෑ. අපේ විශේෂත්වය තමයි තරුණ අය 50%ක් හඳුන්වාදෙනව. මේ නව දේශපාලන දැක්ම ඇතුළෙ මට පෞද්ගලික අරමුණු නෑ. මම හිතන්නෙ නෑ තව අවුරුදු දහයක් මට දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියල. හැබැයි ඒ කාලය ඇතුළතදී මේ රටේ තරුණයන්ට මගේ දේශපාලන අත්දැකීම් ලබාදීල නිවැරැදි මාවත ඔවුන්ට පෙන්වීම තමයි බලාපොරොත්තුව. කෙටියෙන් කියනව අපේ යෂ්ටිය අපෙන් පස්සෙ තරුණ පිරිසට නිවැරැදිව හුවමාරු කිරීම. ඉන් එහා ගමන ඔවුන් කරගෙන යයි.

ප‍්‍රශ්නය – පවතින ක‍්‍රමය ඇතුළෙ ඔය දේ කිරීම පහසු යැයි ඔබ විශ්වාස කරනවද?

පිළිතුර – පුළුවන් හින්ද තමයි කියන්නෙ. මේ වෙල්ගම කිව්වොත් කරනව තමයි. වෙල්ගම කියපු දේවල් කරල තියෙනව. කියපු දේවල් අද වෙලා තියෙනව. වර්තමාන ජනාධිපතිවරයා ගැන මම එදා කියපු දේවල් අද ඇත්ත වෙලා තියෙනව. ගෝඨාභය යන ගමන ෆේල්. මෙයාට හමුදාවක් පාලනය කළාට රටක් පාලනය කරන්න බෑ කියල ලංකාවෙ රාජපක්ෂවරුන්ට මුලින්ම බය නැතිව හඬ නගපු මිනිහ තමයි කුමාර වෙල්ගම. කුමාර වෙල්ගම විතරයි ඒක දැක්කෙ කියල මිනිස්සු දැන් කියනව. මට කරන්න පුළුවන් නිසා තමයි රාජපක්ෂවරුන්ට අභියෝග කරල මම එළියට බැස්සෙ. හැබැයි මේක වුණත් අල්ලගෙන ඉන්න මට ආසාවක් නෑ. හරි මාර්ගය පෙන්වාදීල ඊළඟ පරපුරට මගපෙන්වීමයි අරමුණ.

ප‍්‍රශ්නය – ඔබතුමා පූර්ව ජනාධිපතිවරණ සමයෙදි යම් අනාගත වාක්‍යයක් කියනව. ඒ, ජනාධිපතිවරයා සහ මෙම ආණ්ඩුව පිළිබඳව. නැවත හැරී බලද්දි එදා කියපු දේ ගැන අද මොනවද හිතෙන්නේ…?

පිළිතුර – මගේ අනාවැකිය ගැන සතුටු වුණත් රට විනාශවෙන එක ගැන නම් කනගාටු වෙනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුවට මේ මොහොතේ බිමේ තියෙන ජනතා ප‍්‍රශ්නවලට උත්තර තියෙනවද?

පිළිතුර – දැන් තියෙන තත්ත්වය අනුව නම් කිසිම විසඳුමක් දෙන්න බෑ. රට අන්තිම අඩියට වැටිල ඉවරයි.

ප‍්‍රශ්නය – හොඳයි, ඔබගේ නායකත්වයෙන් ගොඩනැගූ නවලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ…?

පිළිතුර – ඒ පක්ෂය අපි මැතිවරණ කොමසාරිස්තුමාට ලියාපදිංචියට ඉදිරිපත් කරල තියෙනව. මම හිතන්නෙ අපිට අනුමැතිය ලැබෙයි. ‘අපි ශ‍්‍රී ලංකා’ තමයි එහි තේමාව.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඉන්න ගමන්ම එහෙම දෙයක් කරන එක සදාචාර සම්පන්නද?

පිළිතුර – අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කවුද ඉන්නෙ? අද තියෙන්නෙ බෝඞ් ලෑලි විතරයිනෙ. දැන් ඉන්න සභාපතිතුමාව මිනිස්සු පිළිගන්නෙ නෑ. අවුරුදු හතරක් ජනාධිපති ධුරය දරපු කාලයෙ වෙච්ච දේවල් අපි දැක්කනෙ. එතුමා හැමදේම දැක්කෙ පත්තරෙන්. වැඩිය ඕනෙ නෑ. පාස්කු ප‍්‍රහාරය වෙලාවෙ එතුම හිටියෙ සිංගප්පූරුවෙ.

සංවාදය –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment