මේ අය වැය ලේඛනය රාජාසන කතාවක් වගේ….සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා

103

දැක්මක් තිබුණට මදි. ඒ සඳහා දින වකවානු සහිත වැඩපිළිවෙළකුත් අවශ්‍යයි.

පසුගිය 14 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අය වැය ලේඛනය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පළකළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – පසුගිය 14 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සඳහා වූ අය වැය ලේඛනය ඉදිරිපත් කළා.එම අය වැය ලේඛනය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර – එම ලේඛනයේ හොඳ අදහස් තිබුණා. නමුත් ප්‍රශ්න තිබෙන්නේ එම යෝජනාවල තිබෙන ප්‍රායෝගිකත්වය පිළිබඳව අය – වැය ලේඛනයක් කියල කියන්නේ ලබන වසරේදී වැඩපිළිවෙළ මොකද්ද කියන එක. නමුත් පසුගියදා ඉදිරිපත් කළ අය වැය ලේඛනය රාජාසන කතාවක් වගේ. ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව තමයි එහිදී සඳහන් වූයේ. ඒ වගේම එම ප්‍රතිපත්තිවල ප්‍රායෝගික භාවය පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා.

ප්‍රශ්නය – ලබන වසරට අදාළව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සඳහන් කරනවා නම්,

පිළිතුර – අය වැය ලේඛනයක දී ආදායම වියදම පිළිබඳව මෙන්ම පරතරයක් තිබෙනවා නම් එම පරතරය පියවන්නේ කෙසේද යන්න පිළිබඳව සඳහන් කරනවා. නමුත් මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළ අය – වැය ලේඛනය ත්‍රෛයිලෝක අය – වැය සිහිනයක් වගේ. එය තරු අතරේ පා කරලා තිබෙනවා. නමුත් නින්දෙන් අවදිව, පසු ඒ එක් තරුවක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. මෙම අය වැයේ ප්‍රායෝගික සැලැස්මක් නොමැතිකමේ ප්‍රශ්නය තමයි තිබෙන්නේ.

අපි අය වැයේ ආදායම පිළිබඳව කතා කරමු. ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස 8.3 ලෝකයේ ආදායම අඩුම රටවල් වලින් එකක් තමයි අපේ රට. අපි 2010 දී ආණ්ඩුව භාරගන්නකොට මෙරට ආදායම දළ දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස 10% යි. අපි ආණ්ඩුව භාරදෙනකොට එම සංඛ්‍යාව 13% දක්වා ඉහළ නංවා තිබුණා. අද වනවිට එය කඩා වැටිලා තිබෙනවා. 2023 වනවිට එම සංඛ්‍යාව කීය දක්වා වැඩිවෙනවා ද කියන එක සඳහන් කළේ නැහැ. නමුත් 2025 වන විට එම සංඛ්‍යාව 15% දක්වා වැඩි කරන බව සඳහන් කළා. මම සිතන්නේ එක සිහිනයක් මම එහෙම කියන්නේ දැනට තිබෙන සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩි කිරීමට සිද්ධ වන නිසා.

ප්‍රාථමික ඉතිරියේ ධන අගයක් තිබෙනවානම් ඒ කියන්නේ ඉතිරියක් තිබෙනවා කියන එක තමයි. එහෙම ඉතිරියක් තිබෙනවානම් එහෙම ගෙවන්න පුළුවන්. (ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ ආදායම – වියදම. එයට මූල්‍ය වියදම් අයත්වන්නේ නැහැ.) නමුත් ප්‍රාථමික ඉතිරිය ඍන අගයත් ගත්තොත් ණය එහෙම ගෙවන්න ණය ගන්න සිද්ධ වෙනවා.

පසුගිය වසර 74ක ඉතිහාසය අරගෙන බැලුවොත් අවස්ථා පහකදී පමණයි ප්‍රාථමික ඉතිරියක් තිබිලා තියෙන්නේ. 1950 ගණන්වල අවස්ථා දෙකකදී ප්‍රාථමික ඉතිරියක් තිබිලා තියෙනවා. ඒ වගේම 1960 ගණන්වලදී එක් අවස්ථාවක ප්‍රාථමික ඉතිරියක් තිබිලා තියෙනවා. ඉන් පසුව අපි මුදල් අමාත්‍යාංශය භාරව සිටියදී 2017 සහ 2018 යන වර්ෂවලදීත් ප්‍රාථමික ඉතිරියක් තිබුණා. ඒ කියන්නේ බහු ආර්ථිකය කියන එක හරියට කළමනාකරණය කරලා නැහැ. නමුත් දැන් කියනවා 2025 වනවිට ප්‍රාථමික ඉතිරිය 2.3ක ධන අගයකට ගෙන එන බව. ඇත්තටම ඒක නම් සිහිනයක්. ඒක තමයි තිබෙන ගැටලුව.

බදු වැඩි කළ යුතුය යන මූලධර්මයට අපි විරුද්ධ වන්නේ නැහැ. නමුත් විශාල සංඛ්‍යාවකින් බදු වැඩිකිරීම ප්‍රායෝගිකයි කියලා අපි හිතන්නේ නැහැ. කුඩා සහ මධ්‍යම කර්මාන්තවලට තිබුණ බද්ද 14% යි, අපනයනයට තිබුණ බද්ද 14% යි. සංචාරක කර්මාන්තයට 14% යි. කෘෂිකර්මයට 14% යි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට 14% යි. අධ්‍යාපනයට 14% යි ඒ සියලුම බදු 30% දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා මම නම් හිතන්නේ නැහැ. මේ ආකාරයට බදු වැඩි කිරීම ප්‍රායෝගිකයි කියලා.

දැන් අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩොලර් හිඟවීම. එම නිසා අපි පුළුවන් ආකාරයට ඩොලර් එකතු කර ගත යුතු වනවා. එහිදී අපට අපනයන කර්මාන්තය වැදගත් වනවා. බංගලිදේශයේ අපනයන බද්ද 12% යි. වියට්නාමයේ අපනයන බද්ද 0% යි. ඉතියෝපියාවේ 0% යි. කෙන්යාවේ 0% නමුත් ලංකාවේ එම සංඛ්‍යාව 30% යි. මෙහෙම වුණහම ලංකාවේ අපනයන ආදායම වැඩිවේවිද?

1995 දී ලංකාවෙන් අපනයන කළා ඩොලර් බිලියන 4ක භාණ්ඩ. 1995 දී වියට්නාමයත් ඩොලර් බිලියන 4 ක පමණ අපනයනය කරලා තිබෙනවා. බංගලිදේශයත් එම වර්ෂයේදී ඩොලර් බිලියන 4 ක පමණ අපනයනය කරලා තිබෙනවා. 1995 සිට මේ දක්වා වසර 27 ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මේ වනවිට බංගලිදේශය ඩොලර් බිලියන 36 ක අපනයන කරනවා. ඒ කියන්නේ 9 ගුණයකින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. එම කාලය වියට්නාමයේ අපනයනය ඩොලර් බිලියන 300 දක්වා ඉහළ ගියින් තිබෙනවා. ඒ කියන්නේ 75 ගුණයකින් අපනයනය ඉහළ ගිහින් තිබෙනවා. නමුත් එම කාලය තුළම ලංකාවෙව් අපනයනය ඉහළ ගිහින් තිබෙන්නේ තුන්ගුණයකින් පමණයි. එම නිසා අපගේ අපනයනය ගැන කියන්න දෙයක් නැහැ. එසේ තිබියදී අපනයන බදුත් වැඩි කරලා තිබෙනවා. එම නිසා තමයි මම මෙය අය වැය නිසි සැලසුමකින් තොරව ඉදිරිපත් කර ඇති බව කියන්නේ.

දේශීය කර්මාන්ත අපි ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යා යුතුව තිබෙනවා. එම කර්මාන්ත අපගේ වෙළෙඳපොළේ පමණක් භාණ්ඩ අලෙවි කිරීමෙන් අපනයන ආදායම වැඩිකර ගන්න බැහැ. ඒ වගේම අගය වැඩිකරලා අපනයනය කරන්න ඕනි. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරන්න ඕනි. මේ එකක්වත් දිරිගන්වන වැඩපිළිවෙළක් අය වැයේ තිබුණේ නැහැ.

ඛනිජ තෙල් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සෑදිය යුතු වනවා. ඒ සඳහා කොමිෂමක් පත්කරන බවක් සඳහන් කළා. නමුත් ඒ සඳහා කොමිෂමක් පත්කරලා හරියන්නේ නැහැ. මේ අය වැයෙන් කළේ කොමිටි පත්කරන එකයි කොමිෂන් පත්කරන එකයි තමයි. නමුත් ඒක හරියන්නේ නැහැ. මම කියන්නේ ප්‍රායෝගික වෙන්න ඕනි කියන එක තමයි.

ප්‍රශ්නය – මෙවර අය වැයෙන් බොහෝ දෙනෙකු වැඩුප් වැඩිවීම්, සහනාධාර අපේක්‍ෂා කළා. නමුත් එම අපේක්‍ෂාවන් ඉටුකිරීමටත් මෙම අය වැයෙන් පියවර අරගෙන නැහැ නේද?

පිළිතුර – සහනාධාර අවශ්‍ය වන්නේ දුපප්ත් අයට. නමුත් අපේ රටේ සිටිනවා තම මහන්සියෙන් ගෞරවයෙන් තම පවුල නඩත්තු කරන වෘත්තීයවේදීන් පිරිසක්. මේ දක්වා වාර්ෂික ආදායම ලක්‍ෂ 24 දක්වා බදු නිදහස ලබා දී තිබුණා. නමුත් එම සීමාව මේ වනවිට ලක්‍ෂ 12 දක්වා අඩු කර තිබෙනවා. එක් පැත්තකින් බදු නිදහස් සීමාව අඩුකරන විට අනෙක් අතින් උද්ධමනය නිසා භාණ්ඩ මිල 100% කින් ඉහළ ගිහින් තිබෙනවා. මෙම හේතු සාධකයන් නිසා ගෞරවයෙන් ජීවත් වූ ජනතාව දුප්පත්කමට තල්ලු කරලා තිබෙනවා. මෙම නිසා තවත් යැපෙන කොටසක් නිර්මාණය වී තිබෙනවා.

එම නිසා මම රජයට යෝජනා කළා බදු නිදහස් සීමාව ලක්‍ෂ 24 ට තබන ලෙස.

රජයේ වියදම් පිළිබඳව කතා කරනවා නම් ආරක්‍ෂක වියදම සඳහා 10% ක් වෙන්කර තිබෙනවා. ආසියාවේ අනිකුත් රටවල් අරගෙන බැලුවොත් ඉන්දියාව ආරක්‍ෂක වියදම් සඳහා 9% ක් වෙන්කර තිබෙනවා. ඉන්දියාවේ නම් දේශසීමා ප්‍රශ්න තිබෙනවා. චීනය ආරක්‍ෂක වියදම් සඳහා වෙන්කර තිබෙන්නේ 5% යි. නේපාලය 5% යි. ඉන්දුනීසියාව 5% යි. පිලිපීනය 4% යි. ඔස්ටේ්‍රලියාව 4% යි. නවසීලන්තය 3% යි. සමහරු මේ පිළිබඳව කතාකිරීමේදී එම රටවල්වලට නොමැති ප්‍රශ්න අපට තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒවා බොළඳ තර්ක.

අපේ රටේ රාජ්‍ය සේවය අරගෙන බැලුවොත් ලක්‍ෂ 15 ක් සිටිනවා. නමුත් මුළු ජනගහනය ම මිලියන 22 යි. ඒ කියන්නේ එක් රාජ්‍ය සේවකයකුට 15 දෙනකු බලාගන්න සිටිනවා. ජපානයේ රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 33 ක් සිටිනවා. නමුත් ජපානයේ ජනගහනය මිලියන 125 යි. එම රටේ එක් රාජ්‍ය සේවකයෙකුට 40 දෙනෙකු බලාගන්න සිටිනවා. ඒ අනුව අපේ රටේ රාජ්‍ය සේවයේ සහ ජපානයේ රාජ්‍ය සේවයේ තිබෙන කාර්යක්‍ෂමතාවය බලාගන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙම බැලුවොත් අපේ රටේ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව තවදුරටත් ලක්‍ෂ

6 කින් පමණ අඩුවෙන්න ඕනි. ආරක්‍ෂක වියදම, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් තිබෙන ගැටලු දවසින් දෙකින් විසඳන්න බැහැ කියලා අපි පිළිගන්නවා. නමුත් එම ගැටලු විසඳීම සඳහාත් දින සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

ප්‍රශ්නය – සමහර පුද්ගලයන් චෝදනා කරනවා මෙම අය වැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කර ඇති බව. එම චෝදනාව පිළිගන්න පුළුවන්ද?

පිළිතුර – හැමදාම කාට හරි බැන බැන ඉන්න එකනේ කරන්නේ. ඔය චෝදනා කරන අයගෙන් මම අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිනම් කවුද අපේ උදව්වට එන්නේ. අනික කවුරුවත් අපට බලකළේ නැහැනේ එම සංවිධානයට යන්න කියලා.

රටක ආර්ථිකය කඩාවැටුණු විට එම රට පිළිබඳව ණය සහ ආර්ථික වෙළෙඳපොළේ පිළිගැනීමක් නොමැති වෙනවා. නමුත් අයි.එම්.එෆ්. එකට ගිය පසු එම පිළිගැනීම ඇති වෙනවා. එම පිළිගැනීම ඇතිවන්නේ අපිට මූල්‍ය විනයක් තිබෙන බවට පිළිගැනීමක් ලැබෙන නිසා. එම පිළිගැනීම ලැබුණු විට ශ්‍රේණිගත කිරීම්වල අපේ රට ඉහළට යනවා. ඉන් පසුව එම වෙළෙඳපොළවල් වලින් අපට මුදල් ලබාගත හැකි වනවා. ඒක තමයි ඒ පිළිබඳ ඇත්ත කතාව.

ප්‍රශ්නය – මෙම අය වැයට පක්‍ෂව ද විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කරන්නේ.

පිළිතුර – ජනතාව අරගලයේ සිටියේ වෙනසක් කරන්න ඕන කියන ආකල්පය ඇතිව. නමුත් ජනාධිපතිතුමා කතා කරන කොට අමුතු කතාවක් කිව්වවගෙ. එම කතාවේදී කිව්වා හොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දානවා කියන එක ප්‍රමාදයක් කියලා. ඒ වගේම දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් හදන්නේ යැයි කීම තවත් ප්‍රවාදයන් කිව්වා. මෙහෙම කතා කියන කොට කොහොමද ඡන්දය දෙන්නේ.

හොරු අල්ලන්න නීති ගේන්න ඕන. වත්කම් – බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනී. අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කරන්න ඕනි. ඒ වගේම සොරකම් කරලා පිටරටවල්වල සඟවා ගෙන සිටින මුදල් යළි ගෙන ඒම සඳහා නීතියක් ගෙන ආ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ සඳහා නීතියත් ගෙන ආ යුතුයි. ඒක කරලත් නෑ. ඒ වගේම ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවන්න ඕනී. නැත්නම් ආණ්ඩුවක් වෙනස් වුනවිට නීතිපති දැමූ නඩු ඉවත්කර ගන්නවා. එම නිසා තමයි නඩු පැවරීම සඳහා ස්වාධීන කාර්යාලයක් ස්ථාපිත කළ යුත්තේ. මෙම යෝජනා පිළිගත්තොත් තමයි අපිට ඡන්දය දෙන්න පුළුවන් වන්නේ. එහෙම නැතිනම් අපිට ඡන්දය දෙන්න බැහැ.

සාකච්ඡා කළේ – එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment