මේ අර්බුදය ආරම්භයේදීම අපට කළමනාකරණය කරගන්න තිබුණා

433

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සුසිල් පේ‍්‍රම්ජයන්ත

මෙබඳු අර්බුදයක් ඇතිවන බව පුරෝකථනය කිරීමේ හැකියාව විෂය භාර අයට ආණ්ඩුවට සහ නිලධාරීන්ට තිබිය යුතුයි

මේකට හේතුව තමයි පරිනතභාවයක් නොමැති වීම

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නය පැත්තට ගිහින් බලශක්ති අර්බුදයක් ඇතිවී තිබෙනවා

විදුලිය කප්පාදුව නිසා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම නිසා රට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙබඳු තත්ත්වයක් නිර්මාණයක් වූයේ ඇයි? මෙම තත්ත්වය වළකා ගත හැකිව තිබූ තත්ත්වයක්ද? අප ඒ පිළිබඳව හිටපු විදුලිබල බලශක්ති අමාත්‍යවරයකු වන නීතිඥ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාගෙන් විමසා සිටියෙමු. විදුලිබල සහ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – මේ වනවිට රටත් ජනතාවත් විශාල ඛනිජ තෙල් සහ විදුලිය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඔබ මීට පෙර විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔබගේ අත්දැකීමට අනුව අද ඇති වී තිබෙන අර්බුදයට හේතුව කුමක්ද?

පිළිතුර – සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු සහ අපේ‍්‍රල් යන මාසවලදී පෑවිල්ල ඇති වෙනවා. එම නිසා විදුලිය ජනනය කිරීමට ජලය ලබාදෙන ජලාශ ඔය මට්ටමටම හිඳෙනවා. පසුගිය වසර කිහිපය තුළම පැවතියේ ඔය වැනි කාලගුණික තත්ත්වයක් තමයි. ඒ සඳහා අපි සූදානම් විය යුතුයි.

මම විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළේ 2004 සහ 2005 යන වසරවලදී තමයි. ඒ කාලයේදීත් නියඟය පැවතියා. ඒ වගේම 2012 වසරෙදීත් විශාල නියඟයක් පැවතියා. යුගදනවි බලාගාරයට ලෝ සල්පර් ඞීසල් භාවිත කළ යුතුයි. කෙරවලපිටිය මුහුදේ වෙනම බෝයාවක් දාලා තිබෙනවා. එම බෝයාවෙන් වෙනම නළ මාර්ග ඔස්සේ තමයි ලෝ සල්පර් ඞීසල් ලබාගත්තේ. ඒ හැර අනෙකුත් සියලූම බලාගාරවලට තෙල් සංස්ථාවෙන් ලබා දෙන්නේ දැවිතෙල්. දැවි තෙල් වර්ගත් දෙකක් තිබෙනවා. අනෙක් වර්ගය ලබා දෙන්නේ කර්මාන්ත සඳහා තමයි. දැවිතෙල් ලබාගන්න නම් තෙල් සංස්ථාවේ පිරිපහදුව කි‍්‍රයාත්මකව පවතින්න ඕනි. 1972 දී එම පිරිපහදුවෙන් දිනකට බැරල් 50,000 ක් පමණ පිරිපහදු කළා. දැන් එම ප‍්‍රමාණය 40,000 දක්වා අඩු වී තිබෙනවා. එම පිරිපහදු කිරීමේදී ලැබෙන අතුරු ඵලය තමයි දැවිතෙල්. පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල්, නැප්ටා ලැබුණයින් පසුව ලැබෙන අතුරු ඵලය තමයි දැවිතෙල් කියන්නේ.

සපුගස්කන්දේ තිබෙනවා මෙගාවොට් 60 ක හෝ 90 ක බලාගාරයක්. ඒ සඳහා යොදා ගන්නේ දැවිතෙල්. බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලැබෙන දැවිතෙල් නළ මාර්ගයෙන් එම බලාගාරයට ලබා ගන්නවා. ඞීසල් මිලට වඩා දැවිතෙල් මිල අඩුයි.

මේ වනවිට පිරිපහදුව අකී‍්‍රයව පවතින නිසා දැවිතෙල් ලැබෙන්නේ නැහැ. එම නිසා දැවිතෙල් වෙනුවට බලාගාර සඳහා වාහනවලට යොදන ඞීසල් යෙදවීමට සිදු වී තිබෙනවා. එම නිසා දෛනික ඞීසල් ඉල්ලූම වැඩි වී තිබෙනවා. එම නිසා දෛනික ඞීසල් ඉල්ලූම ටොන් 4500 සිට ටොන් 6000 පමණ දක්වා ඉහළ යනවා. අද වනවිට ඇති වී තිබෙන තත්ත්වය ඒක තමයි.

අපගේ රටේ ජල විදුලියෙන් මෙගාවොට් 1290 පමණ නිෂ්පාදනය කරනවා. නොරොච්චොලේ ගල්අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 900 ක් ලැබෙනවා. වැස්ස තිබෙන කාලවලදී කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 450 ක් පමණ ලැබෙනවා. ඒ වගේම සූර්ය තාපය, සුළං වැනි මාර්ගවලින් මෙගාවොට් 150 කට වඩා ලැබෙන්නේ නැහැ. දෛනික විදුලි ඉල්ලූම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මෙගාවොට් ප‍්‍රමාණය ලබා ගන්නේ තාප විදුලියෙන්. ඒ සඳහා දැවිතෙල් හෝ ඞීසල් යොදා ගැනීමට සිදු වනවා. තාප විදුලියේ ධාරිතාවය 1700 පමණ වනවා. ඒ අනුව අපට මෙගාවොට් 4490 ක පමණ ජනන හැකියාවක් තිබෙනවා. දිවා කාලය සඳහා අපට මෙගාවොට් 2300 ක් පමණ අවශ්‍ය වනවා. රාති‍්‍ර කාලය සඳහා අපට මෙගාවොට් 2700 ක් පමණ අවශ්‍ය වනවා. නමුත් වර්තමානයේදී මෙන් වියළි කාලගුණයක් පවතින කාලවලදී ජල විදුලියෙන් මෙගාවොට් 1500 ක් පමණ අහිමි වනවා. එම ප‍්‍රමාණය අපට ලබා ගැනීමට සිදු වන්නේ තාප බලාගාරවලින්. අද වනවිට ජල විදුලි බලාගාරවල ජනන හැකියාව 20% දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ මේ වනවිට ජල විදුලියෙන් නිෂ්පාදනය කරන්නේ මෙගාවොට් 350 – 400 ක් පමණ ප‍්‍රමාණයක්. එම අර්බුදය තමයි අද මතු වෙලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම පහළ යෑම හැර, අද අප මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට බලපා තිබෙන වෙනත් හේතු සාධකයන් මොනවාද?

මේ අර්බුදය ආරම්භයේදීම අපට කළමනාකරණය කරගන්න තිබුණා

පිළිතුර – මීට පෙර අවස්ථාවලදී මාර්තු අපේ‍්‍රල් වනවිට මතු වන අර්බුදය මෙම වසරේදී ජනවාරි මාසයේ සිටම ඇති වී තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනත් වර්ෂවලදී මැයි මාසය වනවිට වර්ෂාව ලැබෙනවා. මෝසම් වැස්සත් සමග වැසි ලැබුණොත් අපගේ ජලාශ ටික පිරෙනවා. ඒ ආකාරයට ඉදිරියේදී වැසි නොලැබුණොත් 2012 දී මෙන් ඉදිරියටත් මෙම අර්බුදකාරී තත්ත්වය පවතිනවා.

සාමාන්‍යයෙන් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 17 ක් පමණ වෙනවා. නමුත් විදුලිය නිෂ්පාදනය සඳහා දැවිතෙල් වෙනුවට ඞීසල් යොදා ගැනීම නිසා එම නිෂ්පාදන පිරිවැය රු. 40/= කට වඩා වැඩි වී තිබෙනවා. මේ වනවිට විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරන උපරිම මිල රුපියල් 16-20 යි. ඒ අනුව බැලූවහම විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන පිරිවැය රුපියල් 17 ක් වුවත්, විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුවනවා. එම සංඛ්‍යාව රු. 40/= දක්වා ඉහළ ගිය විට ඇති වන පාඩුව තවත් වැඩි වන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙම ප‍්‍රශ්නය මුලින්ම තෙල් සංස්ථාව විසින් විසඳා ගත යුතුව තිබුණා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට තෙල් සංස්ථාවත් වගකිව යුතු බවද?

පිළිතුර – රජය විසින් තමයි බලශක්ති කළමනාකරණය කිරීම කළ යුත්තේ. එම කටයුත්ත නිසි පරිදි සිදු නොවීම නිසා තමයි අද ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ. 2020 අගෝස්තු මාසයේදී මැතිවරණය පවත්වලා ඇමැතිවරු පත් කළා. එම අවස්ථාව වනවිට බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 38 යි. අද වනවිට බොරතෙල් බැරල් එකක මිල රු. 130 ට යනවා. යළිත් 95 ට එනවා. මිල වෙනස් වනවා. සාමාන්‍යයෙන් රුපියල් 100 ක්වත් වනවා. තෙල් බැරල් එකක මිල ඩොලර් 38 ට පැවති අවස්ථාවේදී අපගේ සංචිත තිබුණා බිලියන 7 ක් පමණ. ඒ වගේම අපගේ රේටින් බී වල තිබුණා. නැති නම් බී+ අද වනවිට රේටින්ස් සී මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.

තෙල් බැරලය ඩොලර් 38 ට තිබුණ අවස්ථාවේදී ඉතා පහසුවෙන් තෙල් නිෂ්පාදනය කරන රටවල් සමග කතා කරලා දීර්ඝ කාලීන ගිවිසුම්වලට යන්න තිබුණා. දැන් ඇති වෙලා තිබෙන ප‍්‍රශ්නය තමයි අපගේ රේටින් පහළට වැටිලා තිබීම. එම තත්ත්වය නිසා ණයවර ලිපි නිකුත් කළත් මුදල් බඳින තුරු තෙල් බාන්නේ නැහැ. තෙල් සැපයීම අඩාල නිසා විදුලිය සැපයීමත් මේ වනවිට අඩාල වී තිබෙනවා. මේවා එකිනෙකට බැඳිලා තිබෙන්නේ එම තත්ත්වය තවදුරටත් නරක අතට හැරිලා තිබෙනවා නියඟය නිසා. මෙම වසරේදී එම නියඟය වැඩි වෙලත් තියෙනවා. තත්ත්වය මෙතරම් දරුණු වූයේ එම තත්ත්වයට කිසිදු සූදානමක් නොතිබුණ නිසා තමයි.

මෙම තත්ත්වය ඇතිවීම සඳහා බලපෑ ප‍්‍රධාන කාරණය තමයි අපගේ සංචිත අඩු වීම. එම නිසා මෙම ප‍්‍රශ්නයට මුදල් අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා. තෙල් සංස්ථාවට ඇමරිකානු ඩොලර් නැහැ. එම සංස්ථාවට ඩොලර් ඉපයීමේ හැකියාවක් නැහැ. එම නිසා බැංකුවෙන් ඩොලර් ලබාදිය යුතුයි. ආනයන අපනයන වෙළෙඳාම අඩාල වීම නිසා බැංකුවලටත් ඩොලර් අඩු වූවා. බැංකුවලට ඩොලර් මහ බැංකුවෙන් සැපයිය යුතුයි. නමුත් මහ බැංකුවේ ඩොලර් සංචිතයන් ක‍්‍රමයෙන් සිඳීගෙන ගියා. මෙම කි‍්‍රයාදාමයේ අවසාන ප‍්‍රතිඵලය ලෙස ඩොලර් හිඟ වී තිබෙනවා. එම නිසා තෙල් ආනයනය කිරීම අඩාල වී තිබෙනවා. තෙල් ආනයනය අඩාල වීමත් සමග නියඟය පැමිණීම නිසා විදුලිය නිෂ්පාදනය අඩාල වී තිබෙනවා. දැන් ඇති වී තිබෙන්නේ එකිනෙකට බැඳී තිබෙන්නා වූ ප‍්‍රශ්න කිහිපයක් නිසා. 2020 අගෝස්තු මාසයේදී තෙල් බැරල් එකක් ඩොලර් 38 කට තිබුණ අවස්ථාවේදී අපි දිගු කාලීන ගිවිසුම්වලට ගියා නම්, නැතිනම් හෙජින්වලට ගියා නම් අද මේ තිබෙන ප‍්‍රශ්නය නැහැ. මෙම ප‍්‍රශ්නය ඇති වීමට හේතුව තමයි පරිණත භාවයක් නොමැති වීම.

ප‍්‍රශ්නය – කාටද පරිණතභාවයක් නැත්තේ

පිළිතුර – විෂයභාර අයට. ඒ වගේම නිලධාරිනුත් එම අවස්ථාවලදී නිසි පරිදි කටයුතු කරලා නෑ. දැන් සූදානම් වන්නේ ආඳා වලිගයෙන් අල්ලන්න. ආඳා වලිගයෙන් අල්ලන්න බැහැ ලිස්සලම යනවා. නිසි වෙලාවට නිසි පරිදි තීන්දු තීරණ නොගැනීම රටටම බලපාලා තිබෙනවා. මෙම තත්ත්වය කර්මාන්තශාලා ඇතුළු සියලූම නිෂ්පාදන අංශයන්ට බලපාලා තිබෙනවා. අපි ඇස් උඩ තියාගෙන බලාගෙන සිටියා ජාතික ආරක්ෂාව පිළිබඳව. දැන් ජාතික ආරක්ෂාව පැත්තකට ගිහිල්ලා බලශක්ති අර්බුදයක් ඇති වී තිබෙනවා. ඒ සමගම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවත් ගැටලූ ඇති වී තිබෙනවා. පොහොර ප‍්‍රශ්නය නිසා තමයි එම ගැටලූව ඇති වූයේ. එම ගැටලූ දෙක නිසා තමයි අද රට මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ. මෙබඳු තත්ත්වයක් ඇති විය හැකි බව පුරෝකථනය කිරීමේ හැකියාව විෂය භාර අයට, ආණ්ඩුවට සහ නිලධාරීන්ට තිබිය යුතුයි. පසුගිය කාලයේදී එහෙම කටයුතු කළා.

උදාහරණයක් විදියට සඳහන් කරනවා නම් ඉරානයේ තෙල් ගන්න එපා කියලා තහංචි දාපු අවස්ථාවේදී මෙබඳු අර්බුදයක් ඇති වූවා. එම අවස්ථාවේදී මම තමයි විෂයභාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. එම අවස්ථාවේදී මම ඉරාන තානාපතිවරයාට එන්න කියලා ණයවර ලිපි නිකුත් කරන්නේ නැතිව තෙල් තොග දෙකක් ලබා ගත්ත. ඉරානයේ තෙල් තමයි අපිට හරියටම ගැලපෙන්නේ. ඒ අතර අපට ආසන්න වශයෙන් ගැලපෙන තෙල් තිබෙන රටවල්වලින් මම ටෙන්ඩර් කැඳවූවා. එම නිසා තෙල් පිරිපහදුව වහන්නේ නැතිව කටයුතු කරන්න පුළුවන් වූවා.

එහෙත් දැන් තෙල් පිරිපහදුව වහනවා. වහන අරින සෑම අවස්ථාවකදීම තෙල් පිරිපහදුවට පාඩුයි.

ප‍්‍රශ්නය – ඔබත් වර්තමාන ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස කටයුතු කළානේ. ඇයි ඔබගේ දැනුම සහ අත්දැකීම් ඇසුරින් උපදෙස් ලබා නොදීමට කටයුතු නොකළේ.

පිළිතුර – ඔය ප‍්‍රශ්නය අහපු එක හොඳයි. අපි ආණ්ඩුවේ සිටියට ආණ්ඩුවේ කිසිම දෙයකට අපිව සම්බන්ධ කර ගන්නේ නැහැ. මම අවුරුදු 20 ක් පාර්ලිමේන්තුවේ සිටියා. 2004 – 2005 කාලයේදී බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළා. එම කාලය තුළ කිිසිදු ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පසුව 2011 – 2012 කාලය තුළදී ඛනිජ තෙල් විෂය සම්බන්ධ ඇමැතිවරයා ලෙස කටයුතු කළා. අපි විෂය පිළිබඳව හැදෑරීමක් කරලා නිලධාරීන් සහ සභාපතිවරයා සමග පුරෝකථනයක් කරමින් කටයුතු කළා. එම නිසා මේ ආකාරයට ප‍්‍රශ්න ඇති වූයේ නැහැ. මෙතරම් විදුලිය අර්බුදයක් තිබුණත් අද දක්වාම බලශක්ති භාවිතය පිළිබඳව නිසි චක‍්‍රලේඛයක්් නිකුත් වී තිබෙනවාද? ඒ වගේම බලශක්ති භාවිතය අඩු කිරීමට ගෙන තිබෙන පියවර මොනවාද? විදී පහන් පිළිබඳව ලිපියක් ඇරලා තිබෙනවා. නමුත් ඉන් වැඩක් වෙලා නෑ. අපගේ නිවස පිහිටා තිබෙන මාර්ගයේ සෑම විදුලි කණුවකම වීදි ලාම්පු තිබෙනවා. එම විදුලි පහන් නිවා දැමුවා නම් මෙගාවොට් 200 ක 300 ක තිබෙන හිඟය මඟහරවා ගන්න තිබුණා.

ප‍්‍රශ්නය – පසුගිය කාලයේදී සෑම ගමකටම, සෑම නිවසකටම විදුලිය ලබාදීම සඳහා ව්‍යාපෘති කි‍්‍රයාත්මක වූවා. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ඇත්තේ නිසි සැලසුමකින් තොරවද?

පිළිතුර – විදුලිබල මණ්ඩලයට තිබෙනවා ජනන සැලැස්ම කියලා එකක්. වසර 20 න් 20 ට එය සංශෝධනය කරමින් ඉදිරියට යනවා. සමහරු කියනවා පසුගිය වසර 04 ක කාලය තුළ කිසිම නව බලාගාරයක් ඉදි නොකළ බව. අලූත් බලාගාර හැදුවේ නැතත් දැනට තිබෙන ධාරිතාවය හරියටම කටයුතු කරනවා නම් ප‍්‍රමාණවත්. දිනක විදුලිය ඉල්ලූම මෙගාවොට් 2700 යි. නමුත් ජල විදුලියත් සමග මෙගාවොට් 4490 ක් තිබෙනවා. අපට ජල විදුලියෙන් 1200 ලැබෙනවා. එම ප‍්‍රමාණය අඩු කළත් අපට තිබෙන ධාරිතාව ප‍්‍රමාණවත්.

මෙතන තිබෙන ප‍්‍රශ්නය බලාගාර ඉදි නොකිරීම නොවෙයි. මෙතන තිබෙන ප‍්‍රශ්නය තමයි ජල විදුලියත් සමග බලාගාරවලින් එන ධාරිතාවය තුලනාත්මකව කි‍්‍රයා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් නොවීම. දැන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා කරනවා. ඒ පිළිබඳව අපි කතා කළේ මීට වසර 15 කට පමණ පෙර. ඒකේ ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා. විදුලිබල මණ්ඩලය කියනවා ජාතික පද්ධතියට තැනින් තැනින් 0.5, 1.0 ආකාරයෙන් සවිකර ගෙන ගියොත් එම පද්ධතිය තිරසාර නොවන බව. ඒ සඳහාත් නවීන තාක්ෂණ උපක‍්‍රම තිබෙනවා. මම විදේශ රටවල්වලට ගිහින් එම විෂයන්ට සම්බන්ධ ප‍්‍රදර්ශන නරඹලා ඇවිත් විෂයභාර ඇමැතිවරයාට කිව්වා. අලූත් ක‍්‍රමවේද හැදෑරීම සඳහා ඉංජිනේරුවන් 5 ක්, 6ක් එම විද්‍යාගාරවලට පිටත් කර අරිමු කියලා. නමුත් එක් අයෙකු හෝ එයට කැමැති වූයේ නැහැ. මෙම තත්ත්වයට දේශපාලනඥයන් පමණක් නොවෙයි නිලධාරිනුත් වගකිව යුතුයි. ඔවුනුත් අවශ්‍ය අවස්ථාවලදී ඇමැතිවරුන් දැනුවත් කර අවශ්‍ය පියවර ගත යුතුයි. එලෙස කටයුතු නොකිරීමේ ප‍්‍රතිඵල අද සමස්ත ජාතියක්ම භුක්ති විඳිනවා.

ප‍්‍රශ්නය – විදුලිබල සහ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඇති වී තිබෙන මෙම අර්බුදකාරි තත්ත්වය අවසන් වීම සඳහා නව කොපමණ කාලයක් ගත වේවිද?

පිළිතුර – නියඟය අවසන් වී ජලාශ පිරුණොත් මෙම ප‍්‍රශ්නය සෑහෙන දුරකට කළමනාකරණය කර ගැනීමට හැකි වෙනවා. මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය 20% දක්වා අඩු වී තිබෙනවා. ජලාශ පිරුණොත් එම ප‍්‍රමාණය සම්පූර්ණයෙන්ම නිපදවීමට පුළුවන් වනවා. ප‍්‍රධාන බලාගාරවලින් මෙගාවොට් 1200 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. කුඩා බලාගාරවලින් මෙගාවොට් 400 පමණ නිෂ්පාදනය කිරීමට පුළුවන් වනවා. එසේ වුවහොත් ජල විදුලියෙන් සම්පූර්ණයෙන්ම මෙගාවොට් 1600 පමණ නිෂ්පාදනය කිරීමට හැකි වනවා. නොරොච්චොලේ බලාගාරයෙන් මෙගාවොට් 900 ක් ලැබෙනවා. ඉතිරි මෙගාවොට් ප‍්‍රමාණය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයේ බලාගාර ටික හොඳටම ප‍්‍රමාණවත්. ඒ සමගම තෙල් පිරිපහදුවත් කි‍්‍රයාත්මක වූවා නම් දැවිතෙල්වලින්ම ප‍්‍රශ්නය විසඳා ගන්න තිබුණා. අද ඇති වී තිබෙන තත්ත්වය ඇති වූයේ බලපෑම් කිහිපයක්ම නිසා. එකක් තමයි නියඟය. මීට පෙර වසරවලට වඩා මෙම වසරේ නියඟය වැඩියි. එම තත්ත්වයට මුහුණදීම සඳහා සූදානම් විය යුතුව තිබුණේ තෙල් සංස්ථාවත් සමග සාකච්ඡා කරලා. 2004 සහ 2005 යන වසරවලදී මම ඔය විෂයන් දෙකම කළා. එතකොට ඔය ප‍්‍රශ්න එක මේසයේදී විසඳීමට පුළුවන් වූවා.

ප‍්‍රශ්නය – විදුලිබල සහ බලශක්ති යන විෂයන් සඳහා අමාත්‍යාංශයන් දෙකක් පැවතීමත් මෙම ගැටලූව උත්සන්න වීමට හේතුවක් විය හැකිද?

පිළිතුර – එසේ විය හැකියි.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment