මේ අවුරුදු කාලේ සතුටක් නෑ රාලේ…

477

සිංහල හින්දු අලූත් අවුරුද්ද අත ළඟට පැමිණ ඇත. සාමාන්‍යයෙන් අවුරුදු සමය යනු කාගෙ කාගෙත් අතමිට යහමින් මුදල්හදල් ගැවසෙන කාල පරිච්ඡේදයක්ය. එබැවින් සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන්ම සකස් වන වෙළඳපොළක් රට තුළ නිර්මාණය වන අතර ජන සමාජය තුළ ද දකින්න ලැබෙන්නේ ඇවිස්සුණු කඩි ගුලක් බඳු මුහුණුවරක්ය. ගම් නියම්ගම් නගර එකම වෙළඳ කන්කරච්චලයකය. ඇඳුම් පැලඳුම්, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිණිස රටපුරා ජනතාව මිනිස් පොරයක යෙදෙන අයුරු මෙකල දකින්නට ලැබෙන සුලබ දර්ශනයක්ය.

මෙවර උදාවීමට නියමිත සිංහල හින්දු අලූත් අවුරුද්දට පෙර කාලවකවානුව ඉහත සඳහන් තත්ත්වයන්ගෙන් හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන ඇත. ඇඳුම් පැලඳුම් මිලදී ගැනීම කෙසේ වෙතත් තුන්වේල පිරිමසා ගැනීම පිණිසවත් බොහෝ දෙනෙක් හට ආර්ථික ශක්තියක් නැත. එබැවින් වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර රෙදිපිළි වෙළඳාම 50%ක පමණ ප‍්‍රමාණයකින් පහළ බැස ඇත. රසකැවිලි වෙළඳාම 25%ක අගයකින් පහළ ගොස් ඇති බවට ඒ සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ අවුරුද්ද උදාවීමටත් පෙර සිටය. වෙනත් වසරවල අවුරුදු සමය ආරම්භ වීමත් සමඟ දකින්නට ලැබෙන රෙදි පෝලිම්, රසකැවිලි පෝලිම් වෙනුවට මෙවර දකින්නට ලැබෙන්නේ ඉතිහාසයේ අන් කවරදාවත් දකින්නට නොලැබුණ පෝලිම් සමූහයක්ය.

ඒ අතරින් ඉන්ධන හා ගෑස් පෝලිම් දිනෙන් දින දිග ඇදෙන ආකාරයක් දැක ගත හැක. අලූත් අවුරුද්ද උදාවන්නේ රටෙන් අඩක් එවැනි පෝලිම් තුළ කල්මරමින් සිටින වටපිටාවකය. එපමණක් නොව විදුලි කප්පාදුව ද දිනපතා සිදුවෙමින් ඇත. එබැවින් වරින්වර රටම අඳුරේ ගිලෙමින් ඇත. එබැවින් සූර්යා මේෂ රාශියෙන් මීන රාශියට ගමන් කිරීමත් සමග ඇරඹෙන සිංහල හින්දු අලූත් අවුරුද්ද මෙවර සමරන්න සිදුව ඇත්තේ අඳුරේ අතපත ගාන අන්ධකාරය පිරි රටක් තුළය. එබැවින් දින 365කට වරක් පැමිණෙන අලූත් අවුරුද්ද මෙවර පැමිණ ඇත්තේ ‘අලූත්’ මුහුණුවර පැත්තක තබමින්ය. එබැවින් සිරිත් විරිත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීම පැත්තකින් තබන ජනතාව මේ වනවිටත් මහපාරට බැස උද්ඝෝෂණ පවත්වමින් උස් හඬින් ප‍්‍රකාශ කර සිටින්නේ රට හිඟමනට ඇද දැමූ පාලකයන් ගෙදර පලයව් යනුවෙන්ය.

මෙවර හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යට පෙර දින කීපය චිත‍්‍රයක් ලෙස ගත්කල දකින්නට ලැබෙන්නේ ඉහත සඳහන් ආකාරයෙන්ය. අලූත් අවුරුදු උදාවට ඇත්තේ තවත් දින දෙකක් පමණ කෙටි කාලයක්ය. කලක් ලොව අසිරිමත් දේශයක් ලෙස ලෝක සම්භාවනාවට පත් රටක් අද පත්ව ඇති තත්ත්වය පිළිබඳ නිගමනය කිරීම පිණිස හොඳම නිර්ණායකයක් මීට දින කීපයකට පෙර ප‍්‍රකාශයට පත්වූ අතර ඉන් කියවෙන්නේ ලොව පවතින දුර්වලම මුදල් ඒකකය බවට රුපියල පත්ව අති බවක්ය.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රුපියල තවදුරටත් මස්තබාල්දු වීම නතර කිරීමට සමත් ජගතෙක් ලොවෙත් නැත. මිල පාලනයෙන් මිදුණු අත්‍යවශ්‍ය භාණ්ඩ රොකට් වේගයෙන් ඉහළ යමින් ඇත. සියලූ දේ තීරණය කිරීමේ බලය ඩොලරය මත පැටවී ඇත. මීට මාස කීපයකට එපිට පැවති හාල් කිලෝවක මිල මේ වනවිට රුපියල් පනහත් හැටත් අතර අගයකින් ඉහළ ගොස් අවසන්ය. නම් වශයෙන් සඳහන් නොකළ ද අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ මිල ගණන් ඇසු පමණින් ඉහමොළ රත්වනසුලූය. එබැවින් දිනෙන් දින වර්ධනය වන කළුකඩ සංස්කෘතිය හමුවේ මුළුමහත් රටම එකම නැකතින් සමරන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය මෙවර බොහෝදෙනකු සමරනු ලබන්නේ දහසක් දුක් ගිනි මැද දැවෙමින්ය. පීඩා විඳිමින්ය.

එබැවින් වෙනත් වසරවල තම තමන්ගේ නිවෙස්වලට වී සමරනු ලබන අලූත් අවුරුද්ද මෙවර බොහෝ දෙනෙක් සමරනු ලබන්නේ අලූත්ම මුහුණුවරක් යටතේය. මෙම සටහන තබන අවස්ථාව වනවිටත් ජනතාව මහපාරට බැස දින 08ක් ඉක්ම ගොස්ය. ඔවුහු විවිධ ඉල්ලීම් මුල් කර ගනිමින් විරෝධතා ඉදිරිපත් කරමින් ඇත. ඉකුත් සිකුරාදා වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස ද එම ජන අරගලය පිණිස එක්වන ආකාරයක් දැකගත හැකි විය. විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් ඔවුහු සිය විරෝධය රජය හමුවේ පළකරමින් සිටිති. මේ අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රතු එළියක් දල්වමින් සඳහන් කර සිටින්නේ මෙවර අලූත් අවුරුද්ද පිණිස තම තමන්ගේ ගම්බිම් බලා පිටත්ව යෑමට සූදානම් ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවන බවය. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ පෞද්ගලික බස් රථ ධාවනය පිණිස ප‍්‍රමාණවත් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ඉදිරියේදී පෞද්ගලික බස් රථ ධාවනයේ අඩාළ වීමක් සිදුවන බවය.

මෙවර අලූත් අවුරුද්ද ගත කිරීමට සිදුව ඇත්තේ එවැනි අලකලංචි රාශියක් මැදය. අවුරුදු නැකත වෙනුවෙන් කිරිබතක් උයා ගැනීමට තරම්වත් යහපත් වටපිටාවක් රට තුළ නැත. සෞභාග්‍ය සතුට කෙසේ වෙතත් වසරකට වරක් උදාවන අලූත් අවුරුද්ද සැමරීම පිණිස බතක් හොද්දක් ලිප තැබීමට පවා බොහෝ දෙනකුට නොහැකි තත්ත්වයක් තුළ මෙවර බක්මහ නැකත් වෙනුවට අතොරක් නැති දුක් ගොඩක් රට හමුවේ ගොඩ ගැසී ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment