මේ ආණ්ඩුවෙන් ප්‍රතිසංස්කරණයක් වෙයිද කියා සැකයක් මතුවෙනවා – කබීර් හෂීම් (සජබ)

107

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශයේ විවාදය

විපක්ෂයේ සහාය ලබාදෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය ගැන කියන්න – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ)

සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට රට නැවත යථා තත්ත්වයට පත් කොට මහ මැතිවරණයකට යෑම ආණ්ඩුවේ අරමුණ බව සභා නායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (09දා) පෙරවරු 10 ට රැස්විණි.

ප්‍රථමයෙන් කථානායක නිවේදන, ලිපි ලේඛනාදිය පිළිගැන්වීම, ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය.

අනතුරුව පසුගිය 03දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ තෙදින කල් තැබීමේ විවාදය ආරම්භ කළේය.

විවාදය ආරම්භ කරමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) –

ආංශික අධීක්ෂණ කාරක සභා දෙන බවට දැන් ජනාධිපතිවරයා කියනවා. පසුගිය වසර තුනක කාලය පුරාවට අපි ඉල්ලූ දේවල් දැන් ජනාධිපතිවරයා දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමටත් එතුමා ඉල්ලා තිබෙනවා. විපක්ෂයේ සහාය අවශ්‍ය නම් එතුමාගේ වැඩපිළිවෙළේ කාලය ගැන ඉදිරිපත් කරන්න. අලුත් ආණ්ඩුවක් ජනතාව ඉල්ලනවා. වත්මන් ජනාධිපතිවරයා මේ ආර්ථික ව්‍යසනයට සම්බන්ධ නැහැ. බංකොලොත් කළ ආණ්ඩුවකට ජාත්‍යන්තරයෙන් මුදල් දෙන්නේ නැහැ. රට

ගොඩගැනීම සඳහා අලුත් ආණ්ඩුවක් ජනතා මතයක් අවශ්‍ය වෙනවා. පළාත් පාලන ආයතනවල කාලය දැන් අවසන්. ඒ සඳහා මැතිවරණයක් පැවැත්විය යුතුයි. මැතිවරණයක් පවත්වනවාද කියලා අගමැතිවරයාගෙන් අහලා දැන ගන්න කැමතියි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) –

අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ නැහැ. නමුත් ජනතාවගේ නැගිටීමක් ආවා. එහි සුළු පිරිසක් ප්‍රචණ්ඩත්වය කළේ. දේශපාලනඥයන් ලෙස ඒ නැගිටීම තේරුම් ගන්න බැරිනම් වැඩක් නැහැ.

ජනතාව අපි ගැන වපර ඇසින් බලන්න පුරුදු වුණේ ඇයි. එදා දින 52 ආණ්ඩුව කාලේ එකිනෙකාට හොරා කියලා කෑගසා ගත්තා. දැන් අගමැතිට කියන්න පුළුවන්ද රනිල් මහ බැංකුව කැඩුවේ නැහැ කියලා. බැහැ. මේ සංස්කෘතියට විරුද්ධවයි ජනතාව නැගී සිටියේ. භූමිතෙල්, ඉන්ධන, ගෑස් පෝලිම් නිසා නොවෙයි ජනතාව පාරට බැස්සෙ. සමහරු අසීමිත ලෙස ජනතාවගේ මුදල් සූරාගෙන කන එක බලාගෙන ඉන්න බැරි නිසයි ජනතාව පාරට බැස්සෙ.

ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩුවේ හොරා කෑම් ගැන කතා කළේ නැහැ. අද තෝරාගත්ත පිරිසක් අත්අඩංගුවට ගන්නවා. පසුගිය දේ අමතක කරමු කියලා තරුණයන් අත්අඩංගුවට ගන්නවා. මෙහෙම දඩයම් කරලා තරුණයන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් ද?

සභානායක ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් –

ජන මනස විකෘති වෙලා කියලා විපක්‍ෂය කියනවා. කවුද විකෘති කරන්නේ. 1971 දී එදා කැරැල්ල ඇති වුණාට පස්සේ කවුරුවත් කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ කියලා. යම් ජනවරමක් දෙන්නේ වසර 05 කටයි. 82 ජනාධිපතිවරණයෙන් පසුව 1989 භීෂණ කාලයේ දී දැඩි මර්දනයක් ඇති වුණා. 60,000ක් ඝාතනය වුණා. අති බහුතරය තරුණයන්. කවුරුවත් එදා කිව්වද ආණ්ඩුවට ජනමතයක් නැහැ කියලා. නැහැ. ඒ ආණ්ඩුව දිගටම ගියා. ජනපති මිය

ගියත් ඩී. බී. විජේතුංග ජනපති වී ආණ්ඩුව නිශ්චිත කාලයම ගියා.

ගෝඨාභය ජනාධිපති වූ පසුව රජයේ ක්‍රියාකාරීත්වය නිසා කවුරුන් හෝ ඝාතනය වුණාද නැහැ. මේ ජනාධිපති සමයේවත් වුණේ නැහැ. එදා 88/89 කොපමණ පිරිසක් පලිගැනීම් ලෙස මරා දැම්මාද? කවුරුවත් නීතිඥ සංගම් කතා කළේ නැහැ.

2019 ජනාධිපතිවරණ කාලයට වඩා අද කාලය වෙනස්. එය තේරුම් ගත යුතුයි.

ආංශික අධීක්‍ෂණ කාරක සභා ක්‍රියාත්මක කරන්න අපි තීරණය කර තිබෙනවා. මුල සිටම ආපු ඉල්ලීම් නිසයි මේ වෙනස්කම් සියල්ල සිදුකරන්නේ. දැන් රට යථා තත්ත්වයට පත්කළ යුතුයි. ඉන් පසුව ඡන්දයකට ගිහින් ජනමතය විමසා බැලිය හැකියි. අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න පියවර ගන්නවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ (ශ්‍රීලපොපෙ) –

මැතිවරණයක් පවත්වන්න පුළුවන් කාලයක් ද කියන ප්‍රශ්නය තිබෙනවා. අපි හැමෝම එකතු වෙලා ආර්ථික ගැටලු විසඳීමෙන් පසුව ඒ සඳහා ක්‍රියාකළ හැකියි. සාමකාමීව විරෝධතා දැක්වීමට රජය සහාය දැක්වූවා. නීතියට පිටින් ගිහින් ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් ඊට විරුද්ධව නීතියෙන් ක්‍රියාකළ යුතුයි. මොවුන්ට නිහඬ වෙනවා නම් ඉදිරියේදී තවත් පිරිසක් නීතිය කඩා ක්‍රියා කරාවි.

රටේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න අවශ්‍යයි. නීති උල්ලංඝනය කරන මන්ත්‍රීවරුන් ගැන වහා සොයාබැලිය යුතුයි. ආණ්ඩුවල අඩුපාඩු සිදුවුණා. ඒවා නිවැරදි කර ගමනක් යෑමට සූදානමින් ඉන්නවා. විරුද්ධ පක්‍ෂ ආණ්ඩු පක්‍ෂ ගැන නොසිතා එකට ක්‍රියාකිරීමේ සුභදායක තත්ත්වයක් උදාවෙලා.

අරගලයට මුවාවෙලා ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර බලය ගන්න හිතනවා නම් ජනතාව ඊට එකඟ නැහැ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)

අර්බුදයේ නිර්මාතෘ රජයයි. ඇයි අපි ගොදුරක් වන්නේ කියලා හිතෙනවා. තවමත් ඉන්නේ ඒ ආණ්ඩුවයි. ඒත් අපි රට වෙනුවෙන් සර්ව පාක්‍ෂික සංකල්පයට එකඟ වුණා. යාන්ත්‍රණයක් සකස් කිරීම ජනපතිවරයාගේ වගකීමයි.

මේ පාර්ලිමේන්තු ක්‍රමය ඉතා ස්ථාවරයි. මිනිස්සු සහභාගි වන රාමුවක් අවශ්‍යයි. මේ රාමුව තහවුරු කරන්න දේශපාලන නායකයන් නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

අද සභාපතිවරු පත් කිරීමේදී ජනතා විශ්වාසය බිඳ වැටුණු අය, නුසුදුසු අය පත්වෙනවා. ජනාධිපතිට රට කරන්න දෙනවාද නැද්ද යන ප්‍රශ්නය මතු වෙනවා. හරි ආකාරයට රට කරන්න ඉඩ දෙනවාද කියා ප්‍රශ්නයක් ඇතිවෙනවා.

සමස්ත සමාජයම අර්බුදයට වගකිවයුතු බව මම කියනවා හැමෝටම වැරදිච්ච තැන් තියෙනවා. නිවැරදි දේ වෙනුවෙන් සමාජය පෙළගැස්වීම සිදු විය යුතුයි. ඉදිරියේදී රට ගොඩනැඟීම අමාරුයි. දැඩි තීරණ ගන්න වෙනවා. ප්‍රතිසංස්කරණ යන වචනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

මේ ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කරයි ද කියා සැකයක් තිබෙනවා. සමහරු ප්‍රතිසංස්කරණ වෙනුවට සමාජවාදය අද කරනවා. අද බුද්ධිගලයක් සිදු වෙනවා. හැම කෙනාම යුරෝපයට, ඕස්ටේ්‍රලියාවට යන්න උත්සාහ කරන්නේ. මෙවැනි රටක් අපට හදන්න පුළුවන්.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – මේ අර්බුදවලින් එළියට එන්න පහසු මාර්ග නැහැ අපට ලෝකය දෙස බලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. චීනය, ජපානය පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්‍ෂ. නමුත් ඔවුන් ධනවාදී ආර්ථික ක්‍රමයකටයි ගිහින් ඉන්නේ. මේ ලෝකයෙන් අපට ලබා ගත යුතු පංගුව ලබාගන්න අපි කටයුතු කරන්න ඕනෑ. අයි. එම්. එෆ්. වලින් අපට තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා (ශ්‍රීල. පො. පෙ.)

ජනාධිපතිතුමාගේ සංකල්පය මේ සභාවට ඉදිරිපත් කළා. ඒ තුළ රටේ ජනතාවගේ බලාපොරොත්තු නැවත ඇති වුණා. ජනාධිපතිතුමා බලාපොරොත්තු වන කාරණා ප්‍රායෝගිකව මේ පොළොවේ පැළ කරන්න මේ පාර්ලිමේන්තුවේ සිටින අපි සම්පූර්ණ සහාය ලබා දිය යුතුයි. අපේ ඒ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා පැහැදිලිව කිව යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (සජබ) –

අද විවිධ බේදීම් ඇති කරමින් තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගන්න ඇතැම් දේශපාලන බලවේග බලනවා. මේකට අහුවෙන්න එපා කියලා මම ජනතාවට කියනවා. අපි පැහැදිලි

ගමනක යමු කියලා ජනතාවට කියනවා. නවීන ආර්ථිකයක් ,යහපත් දේශයක් අපට අවශ්‍යයි.

අද කිව් ආර් ක්‍රමවේදය හඳුන්වාදීම තුළ ඇතැම් කර්මාන්ත බිඳවැටිලා ත්‍රීවීල්, ධීවර කර්මාන්තය අද කඩාවැටිලා. මේ ගැන රජය යම්කිසි වෙනසක් කරලා, ඒ කර්මාන්ත ආරක්‍ෂා කිරීමට රජය පියවර ගන්න ඕනෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (ශ්‍රීල.පො.පෙ.)-

අපේ රටේ ආර්ථිකය කඩාවැටුණොත් රජයන්ට පවතින්න බෑ. ඒ නිසයි හිටපු ජනාධිපතිට, අගමැතිට, ආණ්ඩුවට ඉවත්වෙන්න සිද්ධ වුණේ. අපේ කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත කඩාවැටුණා. අපේ මැද පංතියට තේරුම් ගියා ඒ අයට අනාගත බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා. ඒකයි ඒ අය පාරට බැස්සේ. මේ තත්ත්වය අපේ නව ජනාධිපතිතුමා තේරුම් අරන් තිබෙනවා. අපේ සමහර රාජ්‍ය ආයතන තිබෙනවා ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. ඒ ආයතන කාර්යක්‍ෂම කළ යුතුයි. නිද්‍රාශීලී අය දාල ආයතන ගෙනියන්න බෑ. ආණ්ඩුව කළමනාකරණයට දක්‍ෂ විය යුතුයි. නව ජනතා නැඟීමකට පෙර ජනතා හැඟීම් හඳුනාගෙන කටයුතු කරන තෙක් අපේ රටේ ජනතාව අපට සමාව දෙන්නේ නෑ කියන එක කිව යුතුයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා (ස.ජ.බ) –

ජනාධිපතිවරු සියලුදෙනාම රාජාසන කතා කළා. ඒ සියල්ල එක වගෙයි. දරුවකුගේ රචනා වගෙයි. නමුත් මේ ප්‍රකාශය පරිණත අයෙක් කරපු එකක්. එය පරිණතයි කියලා කිව හැකියි. ඒක හොඳයි, ඒකේ වැරදි අඩුපාඩු නෑ. නමුත් මේක මහපොළොවේ යාථාර්ථයක් බවට පත්කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා (ශ්‍රීල.පො.පෙ.)

මට ඡන්දය දුන්නෙත් හැටනම ලක්ෂයේ පිරිසක්. ඒ අයගේ බලාපොරොත්තු අපිට ඉටුකර දෙන්න බැරි වුණා. අවසානයේ අරගලයක් ඇවිත් ජනාධිපතිතුමාට පවා ඉවත් වෙන්න සිදුවුණා. පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වුණා. මම එතුමාට කිව්වා ඔබතුමාට ඡන්දය දෙන්නේ නෑ, මම ඡන්දය දෙන්නේ ඩලස් අලහප්පෙරුම මහතාට කියලා. මට එය කියන්න හයියක් තිබුණා. ඔහු ඡන්ද 134 ක් ලබා ගත්තා. එහි සද්භාවය

ගැන ප්‍රශ්න තිබුණත් ඔහු පත්වෙලා අවසන්. අපි එකට වැඩ කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) –

ජනාධිපතිතුමාගේ කතාව හොඳයි එතුමාට එදා බෑ කියපු අය අද අපිට එතුමා හොඳයි කියලා ටියුෂන් දෙන්න එනවා. පසුගිය කාලයේ මේ රට සහ ආර්ථිකය කඩාවැට්ටුවා. සිහින බිඳවැට්ටුවා ඒකට මේ ආණ්ඩුව වගකිව යුතුයි. පසුගිය අවුරුදු දෙකහමාර තුළ ඒ සිහින සුන් කළ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමයි. මේ රට බංකොලොත් කළේ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවයි. ඒ ගැන කරුණු කිව යුතුයි.

පාර්ලිමේන්තුව අද (10දා) උදේ 10ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment