මේ ආණ්ඩුව යටතේ තියන අවසාන මැයි දිනය මෙයයි – විපක්‍ෂ නායක

134

මෙවර කම්කරු දිනය වත්මන් ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ රට ඔසවා තැබීමට හැකි වෙනස සිදු කිරීමට හැකිවේවා යැයි පතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එමගින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය උදාවී තිබේ.

වර්තමාන අදූරදර්ශී ආණ්ඩුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට බංකොළොත් භාවයේ දොරටුවට අපේ රට තල්ලු කරගෙන ගොස් තිබේ. දුර්දාන්ත පාලනයක නොහැකියාව, අසමත්කම, හිතුවක්කාරී අත්තනෝමතික ක්‍රියාකාරීත්වය හා උද්දච්ඡකම හේතුකොටගෙන අපේ රටත් මතු පරම්පරාවත් පෙර නොවූ විරූ තරම් අභියෝගාත්මක ඉරණමක් වෙත තල්ලු වී තිබේ.

එවන් තත්ත්වයක් තුළ මෙවර මැයි දිනය ‘කළු මැයි දිනයක්’ ලෙස සමරන්නට අපේ රටේ වැඩකරන ජනතාවට සිදුවී තිබේ.

වැඩකරන ජනතාව ජීවිත, ලේ, දහදිය, පරිත්‍යාග කරමින් දගු කලක් තිස්සේ නොනැවතී ජයග්‍රහණය තෙක් පෙරට ගෙන ගිය කටුක අරගලයේ ඉතිහාසය ස්මරණය කරන සංකේතාත්මක දිනය කම්කරු දිනයයි. එහෙත් මේ වන විට අපේ රටේ වර්තමාන පාලනය විසින් වැඩකරන ජනයා අතීතයේදී දිනාගත් අයිතීන් පවා අහිමි කරමින් තිබේ.

බලයට පත්වී මෙතරම් කෙටි කලක දී රටේ ජනතාවගේ සමස්ත බලාපොරොත්තු සුනු විසුණු කළ ආණ්ඩුවක් මින් පෙර ඉතිහාසයේ අපට හමුවී නැත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ සියලු බලාපොරොත්තු ආණ්ඩුව විසින් මංකොල්ල කනු ලැබ තිබේ. එදා වේල පිරිමසා ගන්නට කුලී වැඩ කළ ජනතාවට පවා මහපාර උරුම වී තිබේ.

සෞඛ්‍ය, ගොවි, ධීවර, වතු, ප්‍රවාහන ඇතුළුකොට සමස්ත කම්කරු ප්‍රජාව බලවත් පීඩාවන් රැසකට මුහුණ දී සිටිති. ජීවිතය පරදුවට තබා ස්වකීය මෙහෙවර ඉටු කරන අත්‍යවශ්‍ය සේවාවන්හී පිරිස් පවා පාලකයන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ. අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් දේශීය සම්පත් කුණුකොල්ලයට විකුණා දමන තත්ත්වයක් උද්ගතව ඇති අතර, අරාජික නොවුණු, කඩා නොවැටුණු ක්ෂේත්‍රයක් සොයා ගැනීමට පවා නොහැකිය.

ජනතාවගේ මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, අධ්‍යාපනය, රැකී රක්ෂා ආදිය සැපයීමට මේ බංකොලොත් පාලනයට නොහැකි නිසා සමාජ ප්‍රශ්න උග්‍ර වී තිබේ.

ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අසමත්ව ඇති මේ අරාජික පාලනය, රාජ්‍ය ත්‍රස්තවාදය සිය ඒකායන පැවැත්ම බවට පරිවර්තනය කර ගෙන සිටී.

එවන් තත්ත්වයක් තුළ පක්ෂ පාට භේද අමතක කළ මේ රටේ සමස්ත වැඩකරන ජනතාව ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට පැමිණ ඇත්තේ එනිසාය.

එබැවින් මෙවර කම්කරු දිනය මේ අරාජික ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ මාතෘ භූමිය ඔසවා තැබීමට හැකි වෙනස වෙනුවෙන් වූ නිදහසේ අරගලය විජයග්‍රහණය කිරීමටත් හැකි ශක්තිය අපේ රටේ සමස්ත පුරවැසියන්ට ලැබේවා.

සමස්ත වැඩකරන ජනතාව දිනේවා!

advertistmentadvertistment
advertistmentadvertistment