මේ කන්නෙත් වී ටික හාල් මාෆියාවටද

224

මිලියන 40,000ක් වෙන්කරළා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න… මේක කොළේ වහලා ගහන්නෙ

ගොවියෝ ආණ්ඩුවෙන් වී කිලෝවකට රුපියල් 120ක් ඉල්ලති

පලා වර්ග ගණනාවක් එක්කර පිළියෙල කර ගන්නා කලවම් මැල්ලූමක්, එළවළු වර්ග කිහිපයක් සහ කොස් ඇට ආදිය එකට දමා පිසගන්නා හත්මාලූව අප රටේ බොහෝ ගම්බද ගෘහණියන්ට එතරම් අරුමැසි නොවේ. බොහෝ විට නිවෙස්වල මේවා පිළියෙල වන්නේ සිංහල අලූත් අවුරුදු සමයටය. ළඟ එන සිංහල අලූත් අවුරුද්දේ මෙදා ඒ දේවල් වලට අමතරව රට, මෙරට හාලේ කලවම් බතක්ද පිළියෙල කරගන්නට මෙරට ජනයාට අවස්ථාව උදාවී තිබේ.

රජය රටින් සහල් ගෙන්වන්නේ පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් පිරිසක් සිංහල අලූත් අවුරුද්දට සහල් කිලෝව රුපියල් 300 දක්වා වැඩි කිරීමේ සූදානමක් තිබෙන නිසා යැයි බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි. මේ රටේ වෙළෙඳපොළේ සහල් මිල පාලනය කරනු ලබන්නේ පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු විසින් බව ඒ කියමනෙන් මනාව පැහැදිලි වෙයි. තවත් විදියකින් කිවහොත් රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවීමට අවැසි සහල් පිළිබඳ කාරණයේ දී තීන්දු තීරණ ගනු ලබන්නේ වෙනම ආණ්ඩුවක් විසිනි. එනම් සහල් මාෆියාකරුවන්ගේ ආණ්ඩුවය. එමෙන්ම වෙළඳ ඇමැතිවරයාගේ ප‍්‍රකාශයට අනුව ඒ මහා පරිමාණ සහල් මෝල් හිමියන් එලෙස සහල් මිල ඉහළ දැමීමේ සූදානමේ අභියෝගයට මුහුණදීම සඳහා තිබෙන විකල්පය ලෙස තෝරාගෙන ඇත්තේ රටින් සහල් ගෙන්වීම බවද පෙනීයයි. එයද වෙළඳ ඇමැතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට සහල් මාෆියාවට කෙරෙන තවත් ආකාරයෙක උඩගෙඩි දීමකි. එනම් රට, මෙරට සහල් එකට කලවම්කර මෙරට සහල්වල මිලට පාරිභෝගිකයාට අලෙවි කිරීමේ කූට ජාවාරමට අවැසි යටිතල පහසුකම් සපයා දීමය. මෙය ඒ ජාවාරමුන්ට එතරම් ආගන්තුක නොවන හොඳින් හුරුපුරුදු කාරියක් හෙයින් දැනටමත් එය සිදුකෙරෙමින් තිබෙන බවටද ආරංචි පැතිරයමින් තිබේ.

මේ කන්නෙත් වී ටික හාල් මාෆියාවටද

පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ ද මේ අන්දමින් සහල් ආනයනය කරනු ලැබූ බව අපි දනිමු. එකලද මහ මෝල් හිමියන්ගේ සහල් මාෆියාව රටේ බලවත්ව පැවැති අතර රටින් ගෙන්වනු ලැබූ සහල් මෙරට සහල් සමඟ එකට කලවම්කර දේශීය සහල් ඇසුරුම්වල දමා වැඩි මිලට විකිණීමේ ජාවාරම්ද ඉතා සරුවට කෙරිණි. එකලද ඒවා මැ`ඩලීමට නිසි ක‍්‍රියාමාර්ග ගැනීමක් සිදුනොවූ අතර ජාවාරමුන්ගේ මඩිය තරවීම නම් අඩුවක් නැතිව සිදුවූ බව නොරහසකි. රට සහල් මෙරට සහල් සමඟ කලවම්කර දේශීය සහල් ලෙසින් වැඩි මිලට විකුණන බවට මහජන පැමිණිලි ගලා එද්දී පාරිභෝගික සේවා අධිකාරිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබූ අතර පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් කිහිපයක ආනයනය කරන ලද සහල් කන්ටේනර් ගණන් තිබූ බව එම විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට එකල ඒ නිලධාරීන්ට හැකියාව ලැබුණි. එහෙත් ඉන් එහාට සිදුවූ රාජකාරියක් නොවූ අතර ජාවාරම ජයටම කෙරුණු බව පමණක් නොරහසකි. දැනුදු එය නොකෙරෙතැයි කිසිවෙකුටත් කිව නොහැක්කේ ඒ කටයුතු කෙරෙනුයේ උස්වූ තාප්ප වලින් වටවු මහා සහල් මෝල් ඇතුළේ නිසාවෙනි.

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සිංහල අලූත් අවුරුදු සමයේ සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්නම් ඊට තිබෙන එකම විකල්පය සහල් පිටරටින් ගෙන්වීමදැයි මෙහි ගොවි ජනතාව විමසා සිටිති. සහල් මාෆියාව නිර්මාණය වන්නේ ගොවීන්ගේ වී අස්වැන්න තුට්ටු දෙකට කොල්ලකා කරනු ලබන වී මාෆියාවෙන් බව ප‍්‍රකට කාරණයකි. පොලොන්නරුවේ පමණක් නොව වී වගාව බහුලව සිදුකෙරෙන සෙසු කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කවලද අස්වනු නෙළන සමයේ එම වී මාෆියාව ක‍්‍රියාත්මක වනුයේ සංවිධානාත්මක ජාවාරමක් ලෙසිනි. එයට තිත නොතබා ආණ්ඩුව දැන් සහල් මාෆියාවක් ගැන කතාකිරීම විහිළුවක් බවද ගොවීහු කියති. එමෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් විසින්

ගොවියාගේ වී අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීම සහල් මාෆියාවේම එක් මූලික අදියරක් යැයිද ඔවුහු හඳුන්වති. අපෙන් වී ටික තුට්ටු දෙකට අරගෙන හාල් දෙන්නේ ගිනිි ගාණට යැයි ගොවීහු කියා සිටිති. පසුගිය යල කන්නයේ වී කිලෝවක් රුපියල් 50ට වඩා අඩුවෙන් ගොවීන්ගෙන් මිලදී ගෙන ඒවායින් නිපදවන සහල් දැන් අලෙවි කරන්නේ තුන් හතර ගුණයක් ලාබ ලබමින් බවද කියති.

මේ අතර මෙවර මාස් කන්නයේ රජය රුපියල් 75 බැගින් ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බව ප‍්‍රකාශ වී තිබේ. එසේ වුවද වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට සූදානම් නැතැයි ගොවීහු කියා සිටිති. පසුගියදා පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය වෙල්යායේ පැවැති මාධ්‍ය හමුවකදී ගොවි නායකයෝ මේ බව අවධාරණය කළහ. ආණ්ඩුවේ ඒ මිලට ගොවියෝ තබා බල්ලෝවත් වී නොදෙනු ඇතැයි ද ඔවුහු පැවැසූහ. වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස් දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බවද ඔවුහු කීහ.

එහිදී අදහස් දැක්වූ පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙසේ කියා සිටියේය

මේ කන්නෙත් වී ටික හාල් මාෆියාවටද

‘‘කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ට සිද්ධවෙලා තියෙන දේ ගැන කතා කරනකොට සියයට 40ක් 50ක් වී අස්වැන්න අඩුවෙන බව අපි මුලදී කිව්වා. දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත‍්‍රික්ක දිහා බලනකොට සීයට 60ක් විතර අඩුවෙලා. මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මේක කොළේ වහලා ගහන්නේ. කාබනික පොහොර භාවිතය නිසා පාඩු ලබන ගොවීන්ට වී කිලෝවට රුපියල් 25 බැගින් වන්දි ගෙවන බවට මහින්දානන්ද ඇමැතිවරයා කරන ප‍්‍රකාශය එහෙම පිටින්ම ප්‍රෝඩාවක්. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප‍්‍රකාශය ගැන නැවත අධ්‍යයනය කරන්න. මේ මොනවද කියන්නේ කියලා. මේ ගෙවන වන්දි මුදල ගැන නිකම් ගණන් හදලා බැලූවොත් හෙක්ටයාර් එකකට ලැබෙන්නේ රුපියල් 50,000යි. මේ වෙනකොට හෙක්ටයාර් එකකට ගොවියා වියදම් කරලා තියෙනවා රුපියල් ලක්‍ෂ දෙකහමාරක් විතර. එතකොට අස්වැන්න සියයට පනහක් අඩුවෙලා. සාමන්‍යයෙන් කිලෝ 5000ක් හෙක්ටයාර් එකකින් ගන්නවා දැන් 2,500යි හම්බවෙන්නේ. මෙතැන විශාල පාඩුවක් තියෙනවා ගොවියාට. ඒක රුපියල් 50,000කින් පියවන්න පුළුවන්ද? මුලින්ම අපිට පොහොර ටික දුන්නානම් මේ ප‍්‍රශ්න මොනවත් නෑ. දැන් කියනවා රුපියල් 75ට වී

ගන්නවාලූ. කවුද බල්ලෝ දෙයි රුපියල් 75ට ආණ්ඩුවට වී. අපි කිව්වා රුපියල් 120ට වඩා අඩුවෙන් වී දෙන්නේ නෑ කියලා. පුළුවන්නම් ගන්න කියන්න රුපියල් 75ට වී. දැනටමත් රුපියල් 80යි 90යි වී කිලෝ එක. රුපියල් 75ට කවුද වී දෙන්නේ. මිනිස්සුන්නට කන්න නැතිවෙනවා කියලා රටින් හාල් ගේනවා. අපි අහනවා ආණ්ඩුවෙන් රටින් ගේන ඒවා කාබනිකද කියලා. වකුගඩු දෙක රැකගන්න කාබනික වගාව කරන්න කියලා අපිට කිව්වා. චීනය රසායනික පොහොර වැඩිපුරම භාවිත කරන රටක්. ලංකාවේ වී ගොවියා ගැන වගකිවයුතු මැති ඇමතිවරු අදත් කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. ඒකයි මේ රටට හෙණ ගහලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා දැන් හරි ගොවීන් එක්කල සාකච්ජා කරලා තීන්දු තීරණ ගන්න කියලා

මේ අන්දමට පොලොන්නරුවේ ගොවි නායකයින් මෙවර ආණ්ඩුවට දල්වන රතු එළිය සුළුකොට තැකිය හැකි නොවේ. එනම් රජය ප‍්‍රකාශකර තිබෙන රුපියල් 75ක සහතික මිල තමන් පිළිිනොගන්නා බවය. එසේ පවසන ගොවීන් දැන්ම තියා වී කිලෝවට ලංසුව තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 120ට අඩුවෙන් වී කිලෝවක් දෙන්නට තමන් සූදානම් නැති බව තරයේ ප‍්‍රකාශ කරතිි. මෙය හෙට අනිද්දා වනවිට නැතහොත් ඉදිරි දිනවලදී සමස්ත වී නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්කවල ගොවිබිම් වලින් නැඟෙන පොදු හඬක් වනවාට කිසිදු සැකයක් නැත. ගොවි ජනතාව මෙන්ම මේ පිළිබඳව මැදහත් මත දරන පිරිස්වල අදහස වන්නේද ගොවි නායකයින් එළැඹ සිටින එම තීරණය අසාධාරණ නොවන බවයි. මක්නිසාද රටට අවැසි බත නිපදවන ගොවියාගේ එකම ජීවනෝපාය වනුයේ එම

ගොවිතැනය. නැතහොත් වී කරල මත යැපෙන ආර්ථිකයකි. පවුලක ජීවන බර ගෙනයෑම ඇතුළු සියලූ කාර්යයන් වෙනුවෙන් විය පැහැදම් පිරිමසා ගන්නේ දිවිය පුරාවට මහ පොළොව සමග ගැටී කරනා මේ අරගලය තුළින් මිස අන් මගකින් නොවේ. එහෙත් මෙවර මේ ගොවීන්ට බලාපොරොත්තු නොවූ අනපේක්‍ෂිත අර්බුදයකට මුහුණපෑමට සිදුවීම නිසා ගෙවිතැනේ විශාල පසුබෑමක් ඇතිවූ බව කියති. එනම් රජය රසායනික පොහොර ගෙන්වීම නවතා කාබනික පොහොර භාවිතයට එක්වරම ගොවීන් යොමුකිරීමට යෑමය. එමගින් සිදුවූයේ තමන් මෙතෙක් හුරුපුරුදු ගොවිතැන් ක‍්‍රමවේදය වන රසායනික පොහොර භාවිතය අත්හැරීම නිසා මුළු රටේම වී වගාව අසාර්ථකවී ඇති බවය. ඒ ගොවි ජනතාව පෙන්වාදෙන්නේ එක්වරම මෙසේ කාබනික වගාවට යෑමෙන් මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සියයට 60කින් පමණ අඩුවී තිබෙන බවයි. දැනට වී අස්වනු නෙළන ප‍්‍රදේශවල සාමාන්‍ය දෙස බලනවිට මෙය තහවුරුවන බවද ඔවුහු කියා සිටිති.

කුඹුරු අක්කර දෙකහමාරක වපසරියක එනම් හෙක්ටයාර් එකක කුඹුරකින් වෙනදා ලබාගත් වී කිලෝ 5000ක් වෙනුවට මෙවර ලබාගත හැකිව තිබෙන්නේ කිලෝ 2500ටත් අඩු ප‍්‍රමාණයක් බව ගොවීහු පෙන්වා දෙන්නේ බිඳුණු බලාපොරොත්තුද සමගිනි. ගොවියා පාඩු ලබන එක් වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 25ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙන බවට කෘෂිකර්ම ඇමැතිවරයා කර තිබෙන ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන ගොවීන් පවසන්නේ හෙක්ටයාර් එකක වී වගාව සඳහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පමණ වැයවන බවත් මේ දෙන්නට සැරසෙන වන්දිය ඊට කිසිසේත්ම නොසෑහෙන බවත්ය. විඳින්නට සිදුවන විසල් පාඩුව වෙනුවෙන් වන්දිය වශයෙන් රුපියල් 50,000ක් තරම් සොච්චම් මුදලක් ලබාගෙන මක්කරන්නදැයි ගොවි නායකයින් වගකිවයුත්තන්ගෙන් ප‍්‍රශ්නකර සිටිති. එමෙන්ම පසුගිය කාලයේ මේ රටේ වගා හානි සිදුවූ බඩඉරිඟු ගොවීන්ට, එළවළු ගොවීන්ට, තේ වගාව හානිවූ ගොවීන්ට, හේන් ගොවීන්ට ඒ වගා හානි වෙනුවෙන් රජය වන්දිදෙන බව කී නමුත් මෙතෙක් ඒ වන්දි ලබාදුන්නාදැයි ගොවි නායකයන් වැඩිදුරටත් ප‍්‍රශ්නකර සිටිති. එහෙයින් මෙවර දෙන බව කියන වන්දිය ප්‍රෝඩාවක් බවද ඔවුහු පැවැසූහ.

මේ කන්නෙත් වී ටික හාල් මාෆියාවටද

මින්නේරිය මහ ගොවි ජනපදයට අයත් යටියල්පතාන උතුර ගොවි සංවිධානයේ සභාපති ගාමිණී ආරියරත්න මහතා පෙන්වාදෙන්නේ වෙළඳපොළේ සියලූම භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබියදී ගොවියාගේ වී කිලෝවට පමණක් ආණ්ඩුව සොච්චම් මිලක් නියමකර තිබෙන බවය. වී කිලෝවක නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන හෙයින් ඊට සරිලන මිලක් වී කිලෝව සඳහා නියම කිරීම ආණ්ඩුවේ වගකීම බව කීය. රජයේ සහතික මිල මේ අන්දමට පහළ බසින විට පෞද්ගලික වෙළෙඳුන්, මෝල් හිමියන්, ගොවියාගේ වී අස්වැන්න තුට්ටු දෙකට කොල්ලකා ගැනීමට මාන බලමින් සිටින බවද කීවේය. තවදුරටත් අදහස් දැක්වූ ගාමිණී ආරියරත්න මහතා

‘‘වෙළඳපොළේ හාල් මිල දැන් අහස උසට නැගලා. පාරිභෝගික ජනතාවට එය දරාගන්න බැරිතරම්. නමුත් ආණ්ඩුව ඒ හාල් මිල ගැන කතා කරන්නේවත් නෑ. ඒවට මිල සීමා පනවන්නේ නෑ. ගොවියාගේ වී කිලෝවට විතරක් මිල තීන්දු කරනවා. ඒකත් සොච්චම් මිලක්. ගොවියා වී අස්වැන්න නෙළන කාලෙට තමයි මේ ඔක්කොම නීතිරීති දාන්නේ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඒකේ ප‍්‍රතිඵලය වී කිලෝ එකේ මිල බහින එක. එහි වාසිය ලබන්නේ මෝල් හිමියෝ, පෞද්ගලික වෙළෙන්දෝ. දැන් හැමදේම මිල ඉහළ ගිහිල්ලා. ට‍්‍රැක්ටර් කුලී, වෙනත් යන්ත‍්‍ර සූත‍්‍රවලට අයකරන කුලී, ගොවි උපකරණ, කම්කරු කුලී මේ හැම දෙයක්ම වැඩිවෙලා. ඒ අනුව වී කිලෝ එකේ නිෂ්පාදන වියදමත් වැඩියි. ඊට සරිලන මිලක් වී කිලෝ එකට ලැබෙන්න ඕන. එහෙම නැතිනම් ගොවියාට

ගොවිතැනින් ඉවත්වෙන්න වෙනවා. මේ කන්නයේ ගොවීන්ට රසායනික පොහොර තහනම් කරලා කාබනික ගොවිතැනට මාරුවෙන්න උපදෙස් දුන්නා. ඒකෙන් වුණේ ගොවිතැන එහෙම පිටින්ම අසාර්ථක වුණා. මේ කන්නේ නිසරු වගාවෙන් වියදම් පියවාගන්න තරමේ වත් අස්වැන්නක් ගන්න ලැබේවිද කියලා ලොකු සැකයක් බොහෝ ගොවීන් තුළ තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ වී කිලෝවට නිසි මිලක් නොලැබුණොත් ගොවියා ලොකු අමාරුවක වැටෙනවා. එම නිසා රජය මේ මොහොතේ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ගොවියාත් ගොවිතැනත් ආරක්‍ෂාකර ගැනීම සඳහා ගොවියාට රසායනික පොහොර නොලැබුණාට කොම්පැණි කාරයින්ට පොහොර ගෙන්වන්න අවසර ලැබුණා. අන්තිමේ සිද්ධ වුණේ පොහොර මාෆියාවක් මේ රටේ නිර්මාණය වුණා. දැන් හිතූ ගණන්වලට රසායනික පොහොර විකුණනවා. ලබන යල් කන්නයේවත් අපට රසායනික පොහොර නොලැබුණොත් වී ගොවිතැන අසාර්ථකයි. අපි කියන්නේ කාබනික පොහොර යොදලා වගා කරන්න බෑ කියන එක නොවෙයි. වැඩි අස්වැන්නක් ගන්න බෑ. එහෙම පාඩු ලබමින් ගොවිතැන් කරලා කොහොමද ගොවියා ජීවත් වෙන්නේ. මේක තමයි අපේ එකම ජීවනෝපාය. අපිට වෙනත් ආදායම් මාර්ග ඇත්තේ නෑ. අනෙක් කාරණය මේ රටේ සහල් අවශ්‍යතාව පිරිමහන්න නම් වැඩි අස්වැන්නක් ගන්න ඕන. දැන් රටේ හාල් හිඟයි, මිල වැඩියි කියලා පිටරටින් හාල් ගෙන්වනවා. ඒ හාල් කාබනික පොහොර යොදලා නිෂ්පාදනය කරන ඒවා නොවෙයි කියන එක ප‍්‍රසිද්ධ කාරණයක්. ලෝකයේ නිෂ්පාදනය කරන රසායනික පොහොර වලින් විශාල ප‍්‍රමාණයක් භාවිත කරන්නේ චීනය. ග්ලයිෆොසේට් වැනි අධික විෂ සහිත කෘෂි රසායන යොදන රටක් ඉන්දියාව. ඒ රටවලින් ගේන හාල් අපේ රටේ නිපදවන හාල් වලට කිසිසේත්ම සමාන කරන්න බෑ. පහුගිය දවස්වල වී කිලෝ එක රුපියල් සීයට වඩා ඉහළ ගියා. ඒක ගොවියාට ලැබුණු මිලක් නොවෙයි. ඒ වෙනකොට ගොවීන් ළඟ වී නෑ. මහා පරිමාණ මෝල් හිමියන්ගේ ගබඩාවල ගොඩගහගෙන ඉන්න වී වලටයි ඒ මිල තක්සේරු වුණේ. ඒ වෙන මොකකටවත් නොවෙයි හාල් කිලෝ එක නංවන්න. ඒ නිසා දැන් ආයෙත් ගොවියාගේ වී ටික මංකොල්ල කන්න ඉඩනොදී ආණ්ඩුව අප‍්‍රමාදව ගොවියාගේ වී කිලෝ එකට නිසි සාධාරණ මිලක් නියම කරන්න කියන එකයි මේ මොහොතේ අපේ මූලික ඉල්ලීම වෙන්නේ’’

වෙළෙඳපොළේ සහල් මිල මෙලෙස අසීමාන්තික ලෙස ඉහළයෑම ඉබේ ඇතිවූවක් නොව රජය පාලන මිල ඉවත් කිරීම නිසා ඇතිවූ විකෘති තත්ත්වයක් බව සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියෝ කියති. එහෙයින් මෙයට වගකිවයුත්තේ එහෙම පිටින්ම රජය බවද ඔවුහු කියා සිටිති. එම නිසා නැවතත් සහල් රජයේ පාලන මිලට යටත් කිරීම හැර මේ හිතුවක්කාරී මිල වැඩි කිරීම මෙල්ල කිරීමට අන් මඟක් නොමැති බවයි ඒ මෝල් හිමියන් පෙන්වා දෙන්නේ. මේ වනවිට සියයට 90කට වඩා වැඩි ප‍්‍රමාණයක් කුඩා සහල් මෝල් වැසීගොස් ඇතැයිද ඔවුහු කියති. වෙළඳපොළ අවශ්‍යතාවයෙන් සියයට පණහකට වැඩි ප‍්‍රමාණයක් සහල් සැපයීම කළේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් බවද ඒ සහල් මෝල් වැසීයෑමත් සමඟ වෙළඳපොළේ විශාල සහල් හිඟයක් ඇතිවූ බවද ඔවුහු පැවැසූහ. එම තත්ත්වය සහල් මිල ඉහළ යෑමට බෙහෙවින් බලපෑ බවත් පසුගිය දිනවල පැවැති මිලට වඩා වී මිල මේ වනවිට අඩුවෙමින් තිබෙන නමුත් සහල් මිලෙහි අඩුවක් නොවන්නේ සහල් නිෂ්පාදනයේ පවතින ඒකාධිකාරිය නිසා බවද ඒ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පෙන්වා දෙති. එහෙයින් ඒ තත්ත්වය මෙල්ල කිරීමට නම් ආණ්ඩුව මේ මොහොතේ හෝ පාලන මිල නමැති හෙණ්ඩුව පාවිච්චි කළ යුතුව ඇතැයිද කියති. මේ වනවිට ආනයනික සහල් වෙළඳපොළේ පවතින හෙයින් පාලන මිලක් පැනවීමට මෙය හොඳම අවස්ථාවක් බවද කියා සිටිති. එමෙන්ම දැනට අඩපණවී ඇති මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම තුළ සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය රටේ විමධ්‍යගත කළ හැකිබවද ඔවුහු පෙන්වා දෙති.

රටතුළ දිනෙන් දින උග‍්‍රවන විවිධ ප‍්‍රශ්න අතර වෙළඳපොළේ සහල් මිල සීග‍්‍රයෙන් ඉහළ යෑමද මූලිකය. පාරිභෝගිකයාට දැරිය නොහැකි තරමට එය උග‍්‍ර අතට හැරී ඇති හෙයින් රජය ඊට පිළියමක් ලෙස සහල් ආනයනය සඳහා යොමුවී තිබේ. එය දැනට ක‍්‍රියාත්මක වෙමින් පැවැතියද වෙළඳපොළේ දේශීය සහල් මිලෙහි අඩුවක් දක්නට නොමැතිවීම විස්මිත කාරණයකි. මේ අතර රටින් ගෙන්වන සහල් සහ මෙරට සහල් එකට කලවම්කර වෙළඳපොළට එවීමේ කූට ජාවාරම්ද ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවට ආරංචි පැතිරයමින් තිබේ. බත් රස දන්නෝ බත හඳුනන්නෝ යැයි කියමනක් පැවැතියද අපේ රටේ හාලේ බතට රිසි ජනයාට වුවද රට, මෙරට සහල් කලවම හමුවේ නම් අසීරුතාවට පත්වනු කිසිදු සැකයක් නැත. මක්නිසාද වෙළඳපොළට ගියවිට රට, මෙරට හාලේ මුසු නුමුසු වෙනස කිසිසේත්ම හැදිනිය නොහැකි නිසාවෙනි. එසේ නම් ඉදිරි කාලයේදී රටේ සැමටම රට,මෙරට කලවම් හාලේ බත් මිසක නුමුසු බතක රස විදීම ලැබේදැයි සැකමුසුය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment