මේ ගෞරවය අපට වඩා අපේ මව්බිමට: පිටපතේ සාර්ථකත්වයට මම පත්තරකාරයෙක් වීම බලපෑවා – කුමාර තිරිමාදුර

373

රස්තියාදුකාරයා සහ ගොවියා සුසංයෝගය චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපෑවා

විදෙස් රටවල් හතරකදීම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ “ද නිවුස් පේපර්” චිත්‍රපටය පසුගියදා නිමාවට පත්වූ ඇමරිකාවේ සැන්ටාබාබරාහී පැවති පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන පහක් දිනාගත්තේය. ඉකුත් සතියේ අවසන් වූ එංගලන්තයේ පැවති “රේන්බෝ” සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයද හිමිවූයේ ‘ද නිව්ස් පේපර්” චිත්‍රපටයටය. මේ එම සාර්ථකත්වය පිටුපස ඇති කතාව කුමාර තිරිමාදුර අපත් සමග කතා කළ අයුරුය.

ඔබ පුවත්පත් කලාවේදියෙක් විදියට ඒ ලැබුණු අත්දැකීම් ඇසුරෙන්ද “ද නිවුස් පේපර්” හි පිටපත ලියන්නේ?

ඔව්, මගේ පත්තර කලාවෙ මහ ගෙදර දිවයින. ඒ අත්දැකීම්වල ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. එයිනුත් යම් බලපෑමක් සිද්ධවෙන්න ඇති. මොකද මම දිවයින පත්තර කන්තෝරුවේ ඉන්න කාලයේ බොහෝ දේවල් කියවන්න, තොරතුරු රැස්කරන්න වගේම ලොකු දැනුමකින් සන්නද්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතිං මගේ රස්සාවේ විදියට මම ඒ ලබපු අත්දැකීම් රැසක් මෙම පිටපත ලියන්න ඉවහල් වෙන්න ඇති කියලා මම හිතනවා.

“ද නිවුස් පේපර්” චිත්‍රපටය නිර්මාණය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ලබා ගැනීමේ අරමුණින් ද?

ඇත්තෙන්ම නැහැ. මෙහි අරමුණ වුණේ හොඳ නිර්මාණයක් කිරීම පමණයි. මොකද ලංකාව දිනවන්නයි අපිට වුවමනා වුණේ. මේ ගෞරවය අපිට වඩා අපේ මව්බිමට. අපි ඒ දේ කළා. දැනට ජාත්‍යන්තර වශයෙන් සම්මාන හතරක් ලබා ගෙන තියෙනවා. පළමුවන සම්මානය හිමිවුණේ, ඇමරිකාවේ කැලිෆෝනියාවේ “ ඉන්ඩිෆෙස්ට් සිනමා උළෙලේ” ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසත්, දෙවන සම්මානය ඉන්දියාවේ “බෙංගලූර් සිනමා උළෙලේ” හොඳම ආසියානු චිත්‍රපටය ලෙසත්, තුන්වන සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර “රේන්බෝ සිනමා උළෙලේ” හොඳම අධ්‍යක්ෂණය ලෙසත්, හතරවන සම්මානය ඇමරිකාවේ “සිලෝන් ජාත්‍යන්තර සිනමා උළෙලේ” හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සංගීතය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මානයන් සඳහා හිමි වුණා. ඉතිං මේ සියලුම සම්මාන ලබා ගැනීමට අපි වාසනාවන්ත වුණා.

මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට තුඩුදුන් කාරණා පිළිබඳවත් කියමුද?

ජැක්සන් ඇන්තනී මහතා අපි දෙන්නව විශ්ලේෂණය කරලා මාව රස්තියාදුකාරයෙක් විදියටත් සරත් කොතලාවල ගොවියෙක් විදියටත් තමයි හඳුන්වන්නේ. මම නාගරික පරිසරයකත්, සරත් ගම්බද පරිසරයකත් ජීවත් වීම තමයි එයට හේතුව වුණේ. ඉතිං රස්තියාදුකාරයා සහ ගොවියා කියන සුසංයෝගයෙන් තමයි මෙම චිත්‍රපටය සාර්ථකත්වයට හේතු වුණේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ යන නිෂ්පාදකවරු තිදෙනාවත් මතක් කරන්න ඕනේ. මමත් සරතුත් සතියක් තිස්සේ අධ්‍යක්ෂකවරයෙක් සෙව්වා මෙම නිර්මාණය භාර දෙන්න. එවිට බන්දුල ගුණවර්ධන මහතා කිව්වා මොකටද තවත් කෙනෙක් සොයන්නේ, ප්‍රධාන චරිත දෙක කරන්නෙත්, මෙය ලිව්වෙත් ඔබ දෙපළ නම් ඇයි ඔබලාටම එය අධ්‍යක්ෂණය කරන්න බැරි කියලා. ඇත්තටම අපි ඊට පෙර ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කර තිබුණට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබුණේ නැහැ. පසුව අනෙක් නිෂ්පාදකවරු දෙදෙනාගේ ඉල්ලීමත් නිසා අපි මෙය අධ්‍යක්ෂණය කළා. ඒ ආශිර්වාදයෙන් තමයි ඇත්තටම ලන්ඩන් නුවරත්, ඇමරිකාවේත් හොඳම අධ්‍යක්ෂකවරු බවට අපිට පත් වෙන්න පුළුවන් වුණේ.

අපි දෙදෙනාගේම ජීවිතවලට ලැබුණු හොඳම සම්මානය තමයි හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ලැබුණ මෙම සම්මානය. නළුවා කියන සම්මානය ඕන තරම් ලැබිලා තියෙනවා. නමුත් අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබුණේ මෙහිදී පමණයි. විදේශීය රටකදී මෙවැනි සම්මානයකට පාත්‍ර වීම පිළිබඳව නිහතමානී සතුටක් තියෙනවා. එයට හේතුව තමයි ඒ රටවල්වල ඉන්නේ අප දන්නා හඳුනන අය නෙවෙයි. බටහිර රටවල සිටින විචාරකරුවෝ සහ සිනමාකරුවෝ තමයි ඒවා බලලා තියෙන්නේ. එය අපට මහත් ආඩම්බරයක් වගේම එය තමයි මෙම සම්මානයේ ඇති වටිනාකම. “ද නිවුස් පේපර්” නිර්මාණය සාර්ථක කර ගැනීමට සම්බන්ධ වූ ඒ පිටුපස සිටින සියලුම දෙනාට ඒ ගෞරවය හිමිවෙනවා.

  • පාරමී කෞෂිකා
advertistmentadvertistment
advertistmentadvertistment