මේ තීරණාත්මක අවස්ථාව මග නොහරින්න – අගරදගුරුතුමාගෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවෘත ලිපියක්

353

හිතවත් මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි

සියලු විධායක බලතල සහිත ජනාධිපතිතුමෙක් සිය බලයේ සිටියදී බලය අතහැර යෑමට සිදු වූ, ඉතිහාසයේ මින් පෙර අප අසා නැති ආකාරයේ දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස සම්බන්ධයෙන් ගතයුතු අතිශයින්ම තීරණාත්මක තීන්දුව මේ රටේ දෙකෝටියකට වැඩි ජනතාවගේ ජනතා අපේක්ෂාවන්ට අනුව සිදුවෙතැයි මුළු රටේම මහජනතාවත් ජගත් ප්‍රජාවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙස ඉතා ඕනෑකමින් බලා සිටියි-

හැම අතින්ම අන්ත අසරණ දිළිඳු භාවයට සහ සම්පූර්ණ බංකොළොත් බවට ඇද දමන තුරු අපමණ දුක් ගැහැට විඳිමින් කාලයක් තිස්සේ ඉතා ඉවසීමෙන් සියල්ල විඳ දරාගත් මහජනතාව, බැරිම තැන හැම තැනින්ම වීථි බැස ජන ගඟක් සේ ඉකුත්දා අගනුවරට ඇදෙමින් අවිහිංසාවෙන් සහ මහත් උද්යෝගයෙන් රජයෙන් ඉල්ලා සිටියේ මේ පව්කාර බලය අතහැර ජනතාවට සැනසීමක් දෙන ලෙසය-

හාස්කමකින් මෙන් විශාල ලේ වැගිරීම් වැළකී, ඉටු වූ ජනතා අපේක්ෂා හමුවේ දැන් කළ යුත්තේ කුමක්ද නොකළක යුත්තේ කුමක් දැයි ඕනෑම කෙනකුට ඕනෑවටත් වඩා පැහැදිලිව තිබිය දී, මේ අතිශයෙන්ම තීරණාත්මක අවස්ථාවේදී රටේ සමස්ත මහජන මතයට සම්පූර්ණයෙන්ම පටහැනි තීරණයක් රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතී-

හැම අතින්ම පීඩාවට ලක් වී තෙහෙට්ටු වී ඇති මහජනතාව තමන්ට ඉතිරි වී ඇති එකම ශක්තිය වන චිත්ත ධෛර්යය පෙරටු කරගෙන, ජීවිත අවදානම පවා නොතකා සංයමයෙන් සහ අවිහිංසාවෙන් කළ අරගලය ජයගෙන, සමස්ත පාලන තන්ත්‍රය තුළ විශාල සාධනීය වෙනසක් ඇති වේ යැයි මහත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිති- විධායක ජනාධිපති ධුරයේ බලය සිය අතේ තිබියදී, බලය රැක ගැනීමට බැරිව බලයත් රටත් අතහැර යෑමට සිදු වූ, හිටපු ජනාධිපතිතුමා මුහුණ දුන් අත්දැකීමත් අපකීර්තියත් දෙස බැලුවොත් බලයට ගිජුකමක් ඇතිවෙයි ද?

ජනාධිපති ධුරයට පත් වූ අප රටේ බොහෝ ජනාධිපතිවරුන්ට සිදු වූ දේ මෙනෙහිකර බලන්න- ජනාධිපති පුටුවට පත් වීමෙන් අප රටේ බොහෝ ජනාධිපතිවරුන්ට සිදුවූයේ, ජනාධිපති වෙන්නට මත්තෙන් ඔවුන්ට තිබූ ජනතා ප්‍රසාදයත්, කීර්ති නාමයත් අහිමි වී, ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වීම නොවේද? එබැවින් කෙටි කාලයකට ලැබෙන දේශපාලන බලයට වඩා කෙනකුට සිය ආත්ම ගෞරවයත් මව් රටේ ජනතා අභිප්‍රායත් වැදගත් නැද්ද? ඉන්දියාවේ පියා ලෙස පිදුම් ලබන මහත්මා ගාන්ධිතුමාට මුළු ලෝකයක් ගරු කරන්නේ එතුමා තමා ගැන සිතුවාට වඩා භාරතය ගැන සිතූ නිසා නොවේද? එතුමා තමා ගැන සිතුවා නම් භාරතයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමට තිබූ ඓතිහාසික අවස්ථාව ප්‍රතික්ෂේප කර, ජනතාව කැමැති, වෙන කෙනකු ඒ වෙනුවට පත්කර ගැනීමට ඉඩ දී කරළියෙන් බැස යයි ද?

වෙන කවදාටත් වඩා අද, අප රට පිබිදීමටත් ජනතාවගේ චිත්ත ශක්තිය නැංවීමටත් සමත්වන්නේ, බලයට කැමති නායකයෙක් බලයට පත්වීමෙන් නොව, තමන් සතු බලය කැමැත්තෙන් අත්හැරීමට කැමති වන උදාර ජනතා පුත්‍රයකු එසේ කිරීමට පෙරට ඒමෙනි- වසර 74 ක දේශපාලන ඉතිහාසයේ අප දැන් පැමිණ සිටින්නේ දේශපාලන බලය අල්ලා තබා ගැනීමෙන් නොව ස්ව කැමැත්තෙන් එය අතහැරීමට සමත් වුණොත් ඉහළම සේවය රටට කිරීමට සමත්වන සංධිස්ථානයකට ය.

එම නිසා මේ තීරණාත්මක අවස්ථාවේ දී ජනතා නියෝජිතයන් ලෙස ඔබට ඇති ජනතා වරමින් ඔබ කරන්න යන්නේ කුමක්ද? ජනතාවගෙන් ලද ජය, ජනතාවට ඉතා ප්‍රයෝජනවත් තැනකදී පෙරළා යළි ජනතාවට පුදනවාද නැත්නම් බලහත්කාරයෙන් හරි එය ළඟ තබා ගන්නට සැලසුම් කරනවාද? එනම්, උදාර ජනතා පුත්‍රයකු ලෙස රට ගොඩනැඟීමේ ඓතිහාසික කාර්යභාරයට උර දෙනවාද? නැත්නම් පෙර බලයේ සිටි අය සිතූ ලෙස බලයට කෑදර කෙනකු කියා හංවඩු ගැහෙනවද? රට ජාතිය වෙනුවෙන් මේ ඓතිහාසික තීරණය ගැනීමට තවම ඔබට පුළුවන- අසීමිත බලතල දරා සිටි හිටපු ජනාධිපතිවරයාත්, 2/3 ක බහුතරයක් සහිතව බලයට පත්වූ පොදුජන පෙරමුණ රජයත් ජනතාව බලයෙන් පහකළෙත් අප රට අද මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව විඳින බරපතළ පීඩනයට මුළුමනින්ම පාහේ වගකිව යුත්තේ හිටපු ජනාධිපතිවරයා සහ එම රජය බව අවබෝධ කරගත් නිසාය- රට ආර්ථික බංකොළොත් බවට පත් වී ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අප අපකීර්තියට පත්වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ- ඒ අතරින් ජනාධිපතිවරයා සහ රජය විසින් ගන්නා ලද අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ, ඉහවහා ගිය දූෂණ සහ වංචාවන්, නීතියේ ආධිපත්‍යය දේශපාලනික බලපෑමට යටත් වීම සහ අතිශය දූෂිත දේශපාලනික සංස්කෘතිය ආදිය ප්‍රධානය- ගාලු මුවදොර අරගල භූමිය ප්‍රමුඛ ජනතාව ලක්ෂ ගණනින් මහමගට පැමිණ අරගල කළෙත් ඉහත කී දූෂිත දේශපාලනික සංස්කෘතියේ සහ ක්‍රමයේ පූර්ණ වෙනසක් :(System Change) බලාපොරොත්තුවෙනි- ඒ වෙනුවෙන් මේ මොහොතේ තමන්ට කළ හැකි දේ උපරිම කැපවීමෙන් ජනතාව ඉටුකර තිබේ- ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාවක් ලෙස දැන් ඔවුන් රටේ ව්‍යවස්ථාවට අනුව මෙම වෙනස සිදුකිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ සිටින තම නියෝජිතයන් වෙත පවරා තිබේ-

ජනතාව අතිශය දුක්ඛිත තත්ත්වයකට පත්ව, රට උග්‍ර ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයකට මැදිව සිටින මෙවන් තීරණාත්මක මොහොතක දී සියලු දෙනා එකට එක්වී පොදු ජනාධිපති අපේක්ෂකයකු සහ අගමැතිවරයකු තෝරා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ තවමත් පොදු ජනතා අභිලාෂයන් මහජන නියෝජිතයන් හරිහැටි අවබෝධ කරගෙන නැති බවකි- ආගමික නායකයකු ලෙස මේ රටේ මහ ජනතාව වෙනුවෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ලෙස මේ මොහොත වන විටත් රටේ ඉහළතම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති, සියලු දෙනාටම පිළිගත හැකි තාවකාලික දේශපාලන විසඳුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙසයි-

මේ තීරණාත්මක මොහොතේ, තම පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ ඒවා ජයගැනීම සඳහා කෙරෙන මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙක ලා මාතෘභූමියේ සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකි බලලෝභයෙන් සහ දූෂණයෙන් තොර උපරිම කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උපරිම දායකත්වය ලබාදෙමින් කැපකිරීමක් කිරීමට ඔබට ලැබී ඇති මේ වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස මම ඉතා නිහතමානීව සහ ඕනෑකමින් උදක්ම ඉල්ලා සිටිමි-

අප ආදරණීය මව්බිම සදා දිනේවා!

● මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා

advertistmentadvertistment
advertistmentadvertistment