මේ තෙල් ටැංකි ඉන්දියාවට අයිති නෑ… අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා

531

‘‘ටි‍්‍රන්කෝ පෙට්ට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඞ්’’ නමින් නව සමාගමක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ. ප‍්‍රකාශිත ආකාරයට එම සමාගම ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ ඉංග‍්‍රීසීන් විසින් ත‍්‍රිකුණාමලයේ ඉදිකර ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමඟ හවුලේ සංවර්ධනය කිරීම සඳහා ය. යෝජිත නව සමාගම පිළිබඳව මේ වනවිටත් විවිධ මත පළ වී ඇති බැවින් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු මෙන්ම වත්මන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාවන සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාගේ නව සමාගම පිළිබඳව විමසීමට අදහස් කළෙමු. ඒ මහතා යෝජිත සමාගම පිළිබඳ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – ත‍්‍රිකුණාමලයේ පිහිටා තිබෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමඟ එකාබද්ධව පිහිටුවන ‘‘ටි‍්‍රන්කෝ පෙට්ට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඞ්’’ නමැති එකාබද්ධ සමාගමක් හරහා සංවර්ධනය කිරීමට සූදානම් වනබව රජයේ පාර්ශ්වයෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

එම සූදානම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – මෙම තෙල් ටැංකි පිළිබඳව කතා කරනවා නම් පළමුවෙන්ම එම ටැංකිවල ඉතිහාසය පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. බි‍්‍රතාන්‍යයන් අපගේ රට යටත් කරගෙන සිටි යුගයේ දී 1930 ගණන්වල එම ස්ථානයේ තෙල් ටැංකි 101ක් ඉදි කළා. එම තෙල් ටැංකි ස්ථාපිත කරලා තිබෙන භූමිය අක්කර 800ක් පමණ වෙනවා. මෙම ටැංකි ඉදි කරලා තිබෙන්නේ ත‍්‍රිකුණාමල බොක්කේ. මෙම ටැංකි සංකීර්ණය කොටස් දෙකකට ඉදිකරලා තිබෙනවා. එය ඉහළ කොටස සහ පහළ කොටස යනුවෙන් හඳුන්වනවා.

බි‍්‍රතාන්‍යයන් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කළේ ඔවුන්ගේ යුද සහ වාණිජ කටයුතුවල දී ප‍්‍රයෝජනය ගැනීම සඳහා. බි‍්‍රතාන්‍යයන් එම ස්ථානයේ තෙල් ටැංකි 101ක් ඉදි කළත් අපට නිදහස ලැබුණ අවස්ථාව වනවිට එම ස්ථානයේ තිබුණේ ටැංකි 99යි. මොකද ඒ වනවිට දෙවන ලෝක යුද්ධය පැවැති සමයේදී ජපානය විසින් හෙළන ලද බෝම්බවලින් එම ටැංකිවලින් දෙකක් විනාශ වී තිබුණි.

බණ්ඩාරනායක මහතා බලයට පත් වීමෙන් පසුව කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපළ, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ජනසතු කළා. නමුත් එම අවස්ථාවේදී එම තෙල් ටැංකි සඳහා ස්ටලින් පවුම් 250,000ක නාමික මුදලක් ගෙවීමට නියම වූවා. එම සිදුවීම් සිද්ධ වූයේ 1958-1959 වගේ කාලයේදී. එම කාලයේ දීම බණ්ඩාරනායක මහතා ඝාතනය කළා.

ප‍්‍රශ්නය – තෙල් ටැංකි සඳහා ස්ටලින් පවුම් 250,000 ගෙව්වේ මොන කාලයේදී ද?

පිළිතුර – බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත්වූවා. ඉන් පසුව 1962 දී එතුමිය බලයට පත් වූවා. එම ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ ටී. බී. ඉලංගරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවක් මගින් ෂෙල්, එසෝ, යන සමාගම් ජනසතු කළා. එම සමාගම් ජනසතු කරලා තමයි තෙල් සංස්ථාව පිහිටු වූයේ. එම තෙල් සංස්ථාව විසින් තමයි බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට ගෙවිය යුතුව තිබුණ ස්ටලින් පවුම් 250,000ක මුදල ගෙව්වේ. එම මුදල ගෙවූ නිසා එම තෙල් ටැංකිවල භුක්තිය තෙල් සංස්ථාවට ලබා දී තිබුණා.

ප‍්‍රශ්නය – ත‍්‍රිකුණාමලයේ තිබෙන එක් තෙල් ටැංකියක ගබඩා කළ හැකි තෙල් ප‍්‍රමාණය කොපමණද?

පිළිතුර – එක් ටැංකියක තෙල් මෙට්ටි‍්‍රක් ටොන් 10,000ක් තැම්පත් කිරීමට පුළුවන්. තෙල් ටැංකි සංඛ්‍යාව 100ක් කියලා ගණන් බැලූවොත් තෙල් මෙට්ටි‍්‍රක් ටොන් මිලියනයක් ගබඩා කිරීමට පුළුවන්. නමුත් මෙම තෙල් ටැංකි ජනසතු කිරීමෙන් පසුව කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන කැලයට යට වී තිබුණා. එම තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය නොකිරීමට හේතුව තමයි අපගේ තෙල් පරිභෝජනය අනුව තෙල් මෙට්ටි‍්‍රක් ටොන් මිලියනයක් ගබඩා කර තැබීමේ අවශ්‍යතාවයක් නැහැ. අදටත් අපේ රටේ දිනක තෙල් පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ පෙට‍්‍රල් මෙට්ටි‍්‍රක් ටොන් 4000 යි. ඞීසල්නම් මෙට්ටි‍්‍රක් ටොන් 4500 යි.

තෙල් කියන්නේ සල්ලි. එම නිසා මෙට්ටි‍්‍රක් ටොන් මිලියනයක් තැම්පත් කර තබන්නත් බැහැ. එම නිසා තමයි එම තෙල් ටැංකි සංකීර්ණයෙන් ප‍්‍රයෝජනයක් නොගෙන තිබුණේ. නමුත් 2003 වර්ෂයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව තෙල් සංස්ථාව 3කට කඩල 1/3ක කොටසක් සංස්ථාවලට ඉතිරි කරලා තවත් 1/3ක කොටසක් ඉන්දියන් තෙල් සමාගමට විකුණනවා. තවත් 1/3ක් කාටහරි විකුණන්න දාලා තිබුණා.

ඔය අවස්ථාවේදී ගබඩා පර්යන්තය කියලා තවත් සමාගමක් පිහිටු වූවා. එය හැඳින් වූයේ සී. පී. එස්. ටී. එල්. හෙවත් සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල් ලිමිටඞ් යනුවෙන් තමයි. සිලෝන් පෙට්ට්‍රොලියම් කොපරේෂන් ආයතනය හැඳින් වූයේ සී. පී. සී යනුවෙන්. එම සමාගමෙන් කරන්නේ අලෙවි කිරීම බෙදා හැරීම වගේ කටයුතු තමයි. නමුත් ගබඩා කිරීමේ පහසුකම් තිබුණේ සී. ප.ී එස්. ටී. එල්. සමාගමට. එය අපේ තෙල් සංස්ථාවටත් ඉන්දියන් තෙල් සමාගමටත් භාවිත කිරීමේ හැකියාව තිබුණා. එම සමාගම හැදුවේ තෙල් ගබඩා කිරීම සඳහා එය ලියාපදිංචි කරලා තිබුණේ ලංකාවේ ඒ අවස්ථාව වනවිට එම සමාගමෙන් 1/3ක් අපේ තෙල් සමාගමටත් ඉන්දියන් තෙල් සමාගමට 1/3කකුත් ඉතිරි 1/3ක භාණ්ඩාගාරයටත් අයත්ව තිබුණා.

ඒ ආකාරයට පවත්වාගෙන ආපු සමාගම 2007 දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු කාලයේදී වෙනසකට ලක් කළා. එම අවස්ථාව වනවිට එම විෂය භාරව සිටි ෆවුසි ඇමැතිතුමා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ වනවිට භාණ්ඩාගරයට අයත්ව තිබූ 1/3ක කොටස් තෙල් සංස්ථාවට ලබාදුන්නා. ඒ අනුව තෙල් සංස්ථාවට අයත් කොටස 2/3ක් දක්වා වැඩි වූවා. අදටත් මේ රටේ තෙල් අලෙවිකරණය සහ බෙදාහැරීම අරගෙන බැලූවොත් ඉන්දියන් තෙල් සමාගම විසින් සිදු කරන්නේ 15% ක් පමණයි. තෙල් සංස්ථාව විසින් තමයි 85%ක් කරන්නේ.

තෙල් සංස්ථාව සතුව සති 5කට පමණ සෑහෙන්න තෙල් ගබඩා කිරීමේ පහසුකම් කෙරවලපිටියේ සහ කොලොන්නාවේ තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලයේ දී ඉන්දියන් තෙල් සමාගමට තෙල් ටැංකි ලබා දුන්නේ බදු ගිවිසුමක් මගින්. නමුත් සමහරු කියනවා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළත් එහෙම බදු ගිවිසුමක් නොමැති බව 2004 සහ 2005 යන වසරවලදී තෙල් සංස්ථාව භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මම. එම අවස්ථාවේදී මම ඒ පිළිබඳව ඒ වනවිට නීතිපතිවරයා ලෙස කටයුතු කළ කමල සබේසන් ගෙන් මතය විමසුවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩු කාලයේ දී අයි. ඕ. සී. එකක් සමඟ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ විසින් තමයි. කමල සබේසන් නීතිපතිවරයාගෙන් කළ මත විමසීමට ප‍්‍රතිචාර දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර තිබුණේ චරිත රත්වත්්තේ විසින් අත්සන් කරන ලද ගිවිසුම වලංගු ගිවිසුමක් නොවන බව තමයි. ඒ පිළිබඳව හේතු දක්වමින් නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ තෙල් සංස්ථාවට තෙල් ටැංකිවල භුක්තිය තිබුණත් භූමියේ අයිතිය තිබෙන්නේ රජයට බවයි. භුක්ති කරුවකුට බදු ගිවිසුමක් අත්සන් කළ නොහැකි බව තමයි නීතිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ.

ඒ අවස්ථාවේදී තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක්ම අධිකරණය හමුවේ නඩු පැවරුවා. එම නීතිමය තත්ත්වය තුළ වලංගු ගිවිසුමක් නොමැත යන පදනම මත මගේ කාලයේදී තෙල් ටැංකි එකක්වත් කාටවත් දුන්නේ නැහැ. ඒ වනවිට තෙල් ටැංකිවලින් දෙකක් ඉන්දියන් තෙල් සමාගම භාවිතයට ගෙන තිබුණා. මම තෙල් සංස්ථාව භාර ඇමැති ධුරයෙන් ඉවත් වූ පසුව ඉන්දියන් තෙල් සමාගම ත‍්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකිවලින් 14ක් ඔවුන්ගේ කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. එම සමාගම වැඩියෙන්ම තෙල් බෙදාහරින්නේ උතුර සහ නැඟෙනහිර යන ප‍්‍රදේශවල.

එම තෙල් ටැංකි 14 හැරුණුවිට තවත් තෙල් ටැංකි 85ක් තිබෙනවා. 2017 වසරෙදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙසත් කටයුතු කළ සමයේ දී එම තෙල් ටැංකි 85ක් ඉන්දියන් තෙල් සමාගම සමඟ ව්‍යාපාරයක් කිරීමේ සූදානමක් තිබුණා. ඒ වනවිට චන්දිම වීරක්කොඩි මහතා තමයි විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. එම අවස්ථාවේදී කැබිනට් එකට ආපු ඒ යෝජනාව අපි පරාජය කළා. එම අවස්ථාවේදී තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කළා. අපේ දැඩි විරෝධයත් එම වර්ජනයත් නිසා ඒ අවස්ථාවේදී එම තීරණය පස්සට ගන්න සිද්ධ වූවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව, ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට සූදානම් වන නව ගිවිසුම නිසා මේ වනවිට ඉන්දියන් තෙල් සමාගමට දී තිබෙන තෙල් ටැංකි 14 යළි ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමිවන බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනාවල යම් සත්‍යතාවයක් තිබෙනවාද?

පිළිතුර- 2003 දී ඇති කරගත් බව කියන බදු ගිවිසුම අවුරුදු 35ක් වලංගු වනවා. 2003 ඉඳලා අවුරුදු 35ක් කියන්නේ 2038 දී එම බදු ගිවිසුම අහෝසි වනවා. එම ගිවිසුමට අනුව ඉන්දියන් තෙල් සමාගම වාර්ෂිකව, අපේ තෙල් සමාගමට ඩොලර් ලක්‍ෂයක් ලබා දෙනවා. ඒ අනුවත් මෙම ගිවිසුම බදු ගිවිසුමක් බව පිළිගන්න වෙනවා. මාධ්‍යවලින් වාර්තා වෙලා තිබෙන ආකාරයට ආණ්ඩුව සූදානම් වනවා ඉතිරි තෙල් ටැංකි 85 සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අලූත් සමාගමක් පිහිටුවීමට. ඒ හරහා හවුල් ව්‍යාපාරයක් කරන්න එන මතය තමයි අද ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මම කියන්නේ මෙතැන දී ඉන්දියාවත් සමඟ රාජතාන්ත‍්‍රිකව ප‍්‍රශ්නයක් විසඳා ගැනීමට පුළුවන්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවත් සමග ඔයිට වඩා ලොකු ප‍්‍රශ්න විසඳගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය – ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගැනීමට යන ගිවිසුම පිළිබඳව මේ වනවිට මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයකින් කියනවා එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදෙන බව. අනෙක් මතයෙන් කියනවා දැනටමත් ඉන්දියාවට ලබාදීලා තිබෙන එම තෙල් ටැංකි යළි ලබාගන්නා බව.

එම මත දෙකෙන් නිවැරදි මතය කුමක්ද?

පිළිතුර – මගේ මතය ඉන්දියාවට තෙල් ටැංකි අයිති නැහැ. නැති එක පිළිබඳව නීතිමය ප‍්‍රශ්නයකුත් තිබෙනවා. අනෙක් කාරණය තමයි 2003 දී අත්සන් කළ ගිවිසුම මගින් එම තෙල් ටැංකි ඉන්දියාවට අයත් වූවා නම් ගත වූ වසර 18 තුළ ඉන්දියාව එම ටැංකි ලබා නොගෙන ඉන්නේ නැහැනේ? ඉන්දියාවට තෙල් ටැංකි අයිති නම් ඇයි ඒ රට අපෙන් අහන්නේ එම ටැංකි ශුද්ධ කිරීමට. කවුරු හරි කියනවා නම් දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාවට අයිති බව එහෙම කියන්නේ එම ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය වී තිබෙන අය තමයි. ඒ අය රටට ලෝකයට එකත් ප‍්‍රකාශ කරනවා. රහසේ ඉතිරි අනෙක් කටයුතු කරනවා. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතව කතා කරනවා. මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන. නමුත් වැඬේ කරන කොට එහෙම නෑ.

ප‍්‍රශ්නය – ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ගිවිසුමට ඔබ විරුද්ධද?

පිළිතුර – නෑ… මම කියන්නේ මෙතැන තිබෙන්නේ තෙල් ටැංකි පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ භූමියේ වටිනාකම ඒ අය දන්නවා. එම නිසා මෙම භූමියට පය තබාගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමයි තෙල් ටැංකි සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පිහිටුවා ගැනීම.

මම කියන්නේ එහෙම නොකර අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය රැකගෙන අපට වෙන කරන්නට දෙයක් නොමැති නම් කරන්න තිබෙනහොඳම දේ තමයි සී. පී. එස්. ටී. එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම. එය කළ යුත්තෙත් වෙන කරන්නට දෙයක් නොමැති නම් පමණයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය
ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment