මේ දවස්වල පලදෙන මස් කෑමේ ආනිශංස

883

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කනුගහවැව ගමේ පදිංචිව සිටි මවක් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනාද සමග සියදිවි නසා ගැනීම සඳහා ළිඳකට පැන්නාය. මේ දරුවන්ගේ පියා සිවිල් ආරක්ෂක සෙබළෙකි. උදේ ආහාරය සඳහා පෙරවරු 10.00 ට නිවසට පැමිණි ඔහු නිවස හිස් බව දැක දරුවන් සහ මව සොයද්දී ඔවුන් ළිඳ තුළ සිටින බව දුටුවේය. ආබාධිත එක් පිරිමි දරුවකුගේ වයස අවුරුදු 21 කි. අනෙක් දරුවාගේ වයස අවුරුදු 9 කි. ළිඳෙන් ගොඩගන්නා විට 21 හැවිරිදි දරුවා මියගොස් සිටියේය. නව හැවිරිදි දරුවා සහ මව අසාධ්‍ය තත්ත්වයේ පසුවූහ. ආබාධිත දරුවන් දෙදෙනාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් නැතිකමින් මව ඔවුන්ද සමග ළිඳට පැන ඇති බව දැන ගන්නට තිබේ. මෙය දැනට පවතින ආර්ථික අර්බුදයේ අතුරු ඵලයකි. ඡන්දය පැවැත්වීමට මුදල් නැත්නම් ඒ සඳහා මුදල් සොයාදීමට තමන්ට හැකි බව මැතිවරණවලට සම්බන්ධ එක්තරා සංවිධානයක ප්‍රධානියා පසුගියදා මාධ්‍යයට පැවසීය. පළාත් පාලන ඡන්දය සඳහා රුපියල් බිලියන 10 ක්වත් අවශ්‍යය. එවැනි මුදලක් සොයාගැනීමට හැකිනම් දැනට රටේ පවතින බෙහෙත් හිඟය නැති කිරීම සඳහා එය යොදවන ලෙස අපි එම සංවිධානයෙන් කාරුණිකව ඉල්ලමු. ආණ්ඩුවක් පෙරළීමට බැරි, අලුත් ජනාධිපති කෙනකු පත් කිරීමට බැරි පළාත් පාලන ඡන්දයට වඩා මේ රටේ දුගී ජනතාවගේ ජීවිත වටිනා බව මතක තබාගත යුතුය. ඡන්දයක් පැවැත්විය හැක්කේ මිනිසුන් ජීවතුන් අතර සිටියොත් පමණි. ඒ නිසා මනුෂ්‍යයාගේ ජීවන පැවැත්ම උදෙසා මුදල් යෙදවීම වඩා වටින බව අපගේ මතය වේ. මේ පිළිබඳ ඔබේ මතය කුමක්ද?

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයෝ එක පෙළට මිය යති. එයට හේතුව LSD හෙවත් Lumpy Skin Disease නමැති වෛරස් රෝගය එම සතුන්ට වැළඳීමය. 2019 දී මේ රෝගය ගැන මුල් වතාවට ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. මෙය වැළඳුනු විට ගවයා අධික ලෙස උණෙන් පෙළෙන්නට පටන් ගනී. ඊළඟට එම සතාගේ සිරුරේ ඇති වසා ගැටිති සියල්ල ඉදිමෙන්නට පටන්ගනී. ඉන්පසු ගවයාගේ සමද ශ්ලේෂ්ම පටලද ආසාදනය වෙයි. සාමාන්‍යයෙන් යුරෝපයේ අදහසට අනුව මේ රෝගය මස් කර්මාන්තයේ පරම සතුරෙකි. හැබැයි සාකච්ඡා නොවන වැදගත්ම දේ නම් තිරිසන් සතුන්ගේ පරම සතුරා මනුෂ්‍යයා බවය. ගව වසූරිය යනුවෙන් සිංහල නමක් මේ රෝගයට තිබේ. මේ රෝගය ගැන වැඩි දුරටත් කතා කිරීමේ තේරුමක් නැත්තේ එය මේ රටේ මහජනයා නොව පශු සම්පත් ක්ෂේත්‍රය විසින් වගකියනු ලැබිය යුතු ප්‍රශ්නයක් නිසාය. එනිසා වඩා වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. එනම් ලෙඩක් හැදීගෙන එන සතුන් මරා මස්කර විකිණීමේත්, රෝගයකින් මියගිය සතුන් මස්කර විකිණීමේත් ජාවාරමක් මේ රටේ තිබීමය. මේ රටේ මස් කඩකාරයෝ තිරිසන් සතුන්ටත් වඩා වනචරය. ලෙඩක් හැදීගෙන එන එකෙක් මරා මස් කර විකිණීමේ නීච කටයුත්ත කළ හැක්කේ පහත්ම පහත් තිරිසනකුට පමණි. සතුන් මැරීම සාධාරණීකරණය කිරීම සඳහා ඉතාම කපටි එහෙත් තාර්කික ප්‍රවේශයක් බටහිර ලෝකයේ ඇත. විනෝදය පිණිස සතකු මැරීම පාපයක් බවත් කුසගින්න පිණිස සතකු මැරීම පාපයක් නොවන බවත් බටහිර ලෝකය කියයි. නූතන ලෝකය මස් කර්මාන්තය පවත්වාගෙන යන්නේ ඉහත සඳහන් දාර්ශනික ප්‍රකාශයට අනුවය. හැබැයි එවැනි දාර්ශනික පාඨ නැතත් ඕනෑම කුපාඩි වැඩක් කිරීමේ ජානමය උරුමයක් ඇති අපේ රටේ මිනිස්සු සතුන් විඳින වධේ ගැන කිසිදු තැකීමක් නොකර මස් කර්මාන්තය කරති. මසට ඇති කරන සතුන් වෙනුවෙන් සුබසාධන ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් මේ රටේ තිබෙන සත්ත්ව අහිංසා සංගම් කිහිපයක් මගින් පසුගිය කාලයේදී සකස් කර තිබිණ. මෙය Introducing Welfare In to the Meat Industry යනුවෙන් මෙය හඳුන්වන ලදී. ලංකාවේ කුකුල් ෆාම්, ගව ගාල් සහ ඌරු කොටු යනාදියෙහි තත්ත්වය ඉතාම පහත්ය. කුකුල් ෆාම්වල කුකුලන් කෙසේ පැක්කර ඇත්ද යත් උන්ට එහාට මෙහාට හැරීමටවත් බැරිය. එබැවින් කෑම ලැබෙන දිසාව දෙස පමණක් බලාගෙන දවස් 45 ක් ජීවත්වී බෙල්ල කපා මරාදමනු ලැබීමට මේ සත්තු ලක්වෙති. කුකුල් ෆාම් එකකට අසනීපයක් බෝවීගෙන එනවිටම ෆාම්කාරයන් කරන්නේ ලෙඩ සතාද ලෙඩ නැති සතාද එක ගොඩේ මරා මස්කර වෙළඳපොළට එවීමය. එවිට එම සතුන්ගේ රෝගයට මුල්වූ වෛරසය එම මස් අනුභව කරන මිනිසුන්ගේ ශරීරයටද හැකි පමණින් ඇතුළු වෙයි. ඇතැම් වෛරස් සහ බැක්ටීරියා ෆැරන්හයිට් අංශක 212 උෂ්ණත්වයට තැම්බුවාට මැරෙන්නේ නැත.

මේ අතර අප ඉදිරිපිට විශාල ප්‍රශ්නයක් තිබේ. ගව වසූරියෙන් පෙළෙන ගවයන්ගේ මස් හොර හරක් මස් ලෙස රටේ සෙසු ප්‍රදේශවලට බෙදාහැරීමේ අවදානම එම ප්‍රශ්නයයි. හොර හරක් කොළඹට එන ක්‍රම දෙකක් තිබේ. නිරෝගී හරක් ලොරිවල පටවා පණ පිටින්ම එවනු ලැබේ. ඒ අතර විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන හරකුන් මරා එම මස් කොළඹට එවනු ලැබේ. මස් කන මිනිහා එය කළ යුත්තේ ඕනෑම කුණු ලෙඩක් බෝවීමේ අවදානම භාරගනිමින් බව ඇත්ත. එහෙත් මස් මාංශ මගින් කූට ජාවාරම් කර මේ රටේ ජනයා මිය යෑමට සැලැස්වීම කිසිසේත්ම විය යුතු නැත. ලෙඩකින් මිය යන හරකකුගේ මස් අඩුම ගණනේ දෙතුන් සියයක්වත් අනුභව කරති. සමහරවිට එකී හරක් මසෙහි ඇති විෂෙන් අර දෙතුන් සීයද මිය යා හැක. මෙය ජනගහනය අඩුකිරීමට හොඳ ක්‍රමයක් නමුත් ලොව පිළිගත් මානුෂික ක්‍රමයක් නොවේ. එබැවින් මුලතිව් ගව ප්‍රජාවගේ වසූරිය රෝග තත්ත්වය ගැන සහ ඒ ප්‍රදේශයේ සිටින ජාවාරම්කාරයන් ගැන කල්පනාවෙන් සිටින ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment