මේ! දැන්වත් e – ඡන්දෙට ගියොත් නරකද?

70

බ්‍රසීලය කඩදාසි ටොන් 8000ක් ඉතිරි කර ගස් 120000ක් බේරා ගනියි

ආබාධිත අයට සහ නූගත් අයට සාධාරණයක්.

දින නවයක් ගැනපු ඡන්දයට ගතවුණේ පැය 12 යි.

සල්ලි නැති කමට විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළියමක් නොවෙයිද?

කලක් අවුරුදු පහෙන් පහටද, සමහර විටක කලින් කලටද, ඡන්ද උණුසුමෙන් රත් වූ මෙරට ජනතාව දැන් උණුසුම්ව සිටින්නේ ඡන්දයක් නැතිකම නිසාය. ඡන්දයක් නොපවත්වන්නේ නම් ඒ ආණ්ඩුව පවසන පරිදි සල්ලි නැති කම නිසාය. සල්ලි කීවාට එයද පොඩි ගණනක් නොවේ. අද මුළු රටේම බලාපොරොත්තුව බවට පත්ව ඇති අයි එම් එෆ් එකෙන් ලැබෙන මුදල මෙන් තුන් හතර ගුණයකි. එනම් රුපියල් බිලියන 10ක් පමණය. මෙතරම් මුදල් කන්දරාවක් වැය වන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය, පොලිස් ආරක්ෂාව, ප්‍රවාහනය, රාජකාරී දීමනා ආදි සෙසු කාරණා සඳහාය.

නමුත් මේ වන විට ලෝකයේ අපට වඩා සල්ලි වියදම් කළ හැකි රටවල්ද, අපට වඩා විශාල රටවල්ද, කුඩා රටවල්ද ආදී වශයෙන් රටවල් සෑහෙන ප්‍රමාණයක් අද වන විට විද්‍යුත් ඡන්ද ක්‍රමයට යොමු වී සිටී. නමුත් ඒ වියදම් අඩු කර ගැනීමේ පියවරක් වශයෙන්ම නොවේ. ඔවුන් මෙම පියවරට යොමුවී ඇත්තේ කාලය, පරිසරය, ඡන්දදායකයාගේ පහසුව, මෙන්ම ඡන්දයේ නිර්වද්‍යතාවය රැක ගැනීම ආදී කරුණු ගැනද කල්පනා කරමිනි. ඒ සියල්ලටම වඩා අප රටට අදාළව බලන කල විවිධාකාර ඡන්ද අක්‍රමිකතා, ඇන කොටා ගැනීම්, විවිධාකාර බැණ අඬගසා ගැනීම් මුල් කර ගත් ඡන්ද රැස්වීම් ආදියෙන් වැළකීමටද, ඒ සඳහා වැය වන පාක්ෂිකයාගේ කාලය හා මුදල් ඉතිරි කර ගැනීමටද, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පවත්වා ගැනීමේ අරමුණ ජය ගැනීමටද මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වන බව විද්වතුන්ගේ අදහස වී ඇත.

ලෝකයේ මුල්වරට මෙම ඡන්ද ක්‍රමය ආරම්භ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ය. ඒ හැටේ දශකයේ ආරම්භයේදීය. අනතුරුව 1964 දී පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රාන්ත හතක මෙම ක්‍රමය යටතේ ඡන්ද විමසීම සිදු කරන ලදී.

මේ මොහොතේ අප රටට අදාළව වැදගත්ම කරුණ වන්නේ මෙම විද්‍යුත් ඡන්ද ක්‍රමය හේතුකොටගෙන ඒ සඳහා වියදම් වන මුදල සියයට 75 කින් පමණ අඩුකර ගත හැකි යැයි පෙනී ගොස් තිබීමය.

ඇත්තෙන්ම මෙය අප රටටද ගැළපෙන ඡන්ද ක්‍රමයක් බව හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ මහින්ද දේශප්‍රිය මහතා විසින් ද ටික කලකට ඉහතදී පවසා තිබිණි. ඔහු එදා පැහැදිලි කළ පරිදි අපටද එසේ කළ හැකි නම් ඡන්දය සඳහා වියදම් කළ යුතු වන්නේ මීට වඩා අඩු මුදලක් බව ද පෙනී යයි. ඒ සියල්ලටම වඩා ඉතා නිවැරදි ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් පවත්වා ගැනීමට ලැබෙන්නේ නම් එයද සුළුපටු ජයග්‍රහණයක් නොවන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

ඒ නිසා මෙය කියූ පමනින් ඒ අරබයා වූ දෝෂ ඇත්නම් ඒවා මුල් කර ගනිමින් හෙළා දකිනවා වෙනුවට, අප රටේ දක්ෂයන් ලවා ඒවා නිවරැදිකරවා ගනිමින් රටේ දියුණුවට යොදා ගැනීම, අනාගත පරපුරට හෝ මැතිවරණය ගෞරවණීය දෙයක් බව පත් කිරීමට හේතුවක් විය හැකි බව මුලදීම කියනු කැමැත්තෙමි. මන්ද යත් ආරම්භයේදී මෙම ක්‍රමයේ දෝෂ සහගත තැන් තිබී ඇති අතර, ලෝකයේ දියුණු රටවල් ඒවා නිවරදි කර ගනිමින් සිය මැතිවරණ කටයුතු සඳහා අද වන විට විද්‍යුත් ඡන්ද ක්‍රමය භාවිතා කරන බැවිනි.

මේ! දැන්වත් e - ඡන්දෙට ගියොත් නරකද?

එබැවින් නවීන තාක්ෂණය පිළිබඳ අප රටෙහි පිළිගත් විද්වතකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා වැනි පිරිස් මේ පිළිබඳව සිය අවධානය යොමු කරන්නේ නම් මැනවයි අපි සිතමු.

අපේ අසල්වැසි ඉන්දියාව, ඇමෙරිකා එස්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, එංගලන්තය, ස්විට්සර්ලන්තය සහ අපට වඩා කුඩා එහෙත් දියුණු රටක් වන එස්තෝනියාව ඇතුළු රටවල් ගණනාවක් විද්‍යුත් ඡන්ද ක්‍රමයට අනුගතව ඇත්තේ මීට දශකයකට හෝ එකහමාරකට පෙර සිටය.

ඒ අතරින් විද්‍යුත් ඡන්ද ක්‍රමයේ ඇති වාසිසහගත ස්වභාවය පිළිබඳව ඉතා පැහැදිලි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැක්කේ බ්‍රසීලයෙනි. ප්‍රථම වරට 1966 දී එරට ජනතාවට මෙම ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන ලද අතර එය පළමු වරට අත්හදා බලන ලද්දේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමිනි.

මේ සඳහා පොදු දුරකථන කුටියක් වැනි ස්ථානයක් යොදා ගන්නා ලද අතර, ව්‍යාජ ඡන්ද පත්‍රිකා වංචාවන් තුරන් කිරීම පදනම් කර ගනිමින් ඡන්ද දායකයන් හඳුනා ගැනීම, ආරක්ෂිතව ඡන්දය ප්‍රකාශ කිරීම සහ ගණනය කිරීම යන පියවර තුනක් සඳහා මෙම යාන්ත්‍රණය පදනම් කර ගන්නා ලදී. එම තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් දියුණු කිරීමෙන් අනතුරුව 2000 දී රට පුරා සම්පූර්ණයෙන්ම විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට බ්‍රසීලය සමත් වූයේය.

මෙම ක්‍රමයට එරෙහි වන්නන් විසින් යම් යම් චෝදනා එල්ල කර ඇති නමුත්, මේ දක්වා ඒ හේතුකොට ගෙන මැතිවරණ වංචාවක් සිදුවූ බවට එකදු චෝදනාවක් හෝ එල්ල කිරීමට මේ කිසිදු පාර්ශ්වයක් සමත් වී නොමැත.

මෙම ඡන්ද ක්‍රමය බ්‍රසීලයේ පොදු ජනතාව මෙන්ම විද්වතුන්ද කිසිදු විරෝධතාවයකින් තොරව පිළිගෙන ඇති අතර, එය ඡන්ද ගණන් කිරීමේ වේගය නොසිතූ විරූ ලෙස වැඩි කරන්නට සමත් වී තිබීම එය මෙහි කාර්යක්ෂමතාවය පිළිබඳ හොඳම සාධකය ලෙස පෙන්වා දිය හැකිය.

1989 දී එරට මහ මැතිවරණයේදී ප්‍රනාන්දු කොලර් මෙලෝ සහ ලුයිස් ඉනාසියෝ ලූලාද සිල්වා අතර ඡන්දය ගණන් කිරීමට පමණක් දින නවයක් කාලයක් ගතවී ඇත. නමුත් 2002 මහ මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීමට ගතවී ඇත්තේ පැය 12 කටත් අඩු කාලයකි. සමහර කුඩා නගරවල මේ ක්‍රමය නිසා ඡන්දය ප්‍රකෘශ කර මිනිත්තු කීපයක් ඇතුළත ප්‍රතිඵල බලා ගත හැකි තත්ත්වයක් උදාවී ඇත.

බ්‍රසීලයේ 2010 වසරේ මිලියන 130 කට නොඅඩු ප්‍රමාණයක් ඡන්දය ප්‍රකෘශ කර ඇති අතර ඉන් අනතුරුව ගතවුනු පළමු මිනිත්තු 75 තුළ අවසාන ඡන්ද ප්‍රතිඵලයද ප්‍රකාශයට පත් කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයාගේ ඇඟිළි සළකුණු හඳුනා ගැනීම සඳහා අතිරේක උපකරණයක් සහ නව ජෛවමිතික පාදක යන්ත්‍රයක් 2012 දී භාවිතයට ගැනීම නිසා මෙම ඡන්ද ක්‍රමයේ නිර්වද්‍යතාවය වඩාත් සම්පූර්ණ වී ඇත. එය 2014 මහ මැතිවරණයේදී මිලියන 22 ක ඡන්ද දායකයන් විසින් භාවිතා කරන ලදී.

ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය ප්‍රකාශ්‍යට පත් කිරීමට පෙර පැවැත්වූ මැතිවරණවලදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දළ වශයෙන් කඩදාසි ටොන් 7500-8000 ක් අතර ප්‍රමාණයක් අවශ්‍යව තිබිණි. විද්‍යුත් ඡන්ද ක්‍රමය ප්‍රකාශ කිරීමත් සමග මෙම කඩදාසි ප්‍රමාණය අනවශ්‍ය වූ හෙයින් පරිසරයට සිදුවූ යහපත අති විශාලය. මක්නිසාද යත් කඩදාසි ප්‍රමාණය නිපදවීම සඳහා හොඳින් වැඩී ඇති ගස් 1,20,000 ක් පමණ යොදා ගැනීමට සිදුවන බැවිනි.

මේ ආකාරයට තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය යොදා ගැනීමට සමත් වූ තවත් රටක් ලෙස අපේ අසල්වැසි රට වන ඉන්දියාව හඳුන්වා දිය හැකිය.

ඒ අනුව කැල්කියුටරයකට සමාන ඩිජිටල් තාක්ෂණය සහිත විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍රයක් (Electronic Voting Machine) ඉන්දියාවේ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරනු ලැබේ. ඒ 2004 වර්ෂයේ සිටය.

මේ වන විට මිලියන 820 ක් පමණ ඡන්ද දායකයන් සිටින ඉන්දියාව අද ලෝකය පුරා සිය අනන්‍යතාවය ප්‍රකට කර ඇත්තේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසය. ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රධාන තන්හි ලා සලකන ඉන්දියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ සෑම කරුණක්ම මේ වන විට සිදු කෙරෙන්නේ විද්‍යුත් ඡන්ද ක්‍රමය හා සබැඳි නව තාක්ෂණය මුල්කර ගනිමිනි. ඒ හැරුණු කල ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම, මැතිවරණ නිරීක්ෂණ කටයුතු නියාමනය ආදී කටයුතු සිදු කෙරෙන්නේද නව තාක්ෂණික ක්‍රමවේදය පාදක කොට ගනිමිනි.

මෙය ප්‍රථම වරට ජනතාවට හඳුන්වා දෙන ලද්දේ 1998 සිට 2001 අතර කාල පරිච්ජේදය තුළ පැවැති මැතිවරණවලදීය. ඊ වී එම් (EVM) නොහොත් ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍ර ක්‍රමය සඳහා තාක්ෂණ සහාය ලබා දෙන ලද්දේ රජය සතු ඉලෙක්ට්‍රොනික් සංස්ථාව සහ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විසිනි. ඉන්දියානු මැතිවරණ කොමිසම මීට අනුමැතිය දී තිබේ. මේ හේතු කොට ඇතැම් දූෂිත මැර දේශපාලනඥයන් විසින් ව්‍යාජ ඡන්ද පත්‍රිකාවලින් පෙට්ටි පිරවීම. පෝලිම් බූත්වලට කඩා පැනීම ආදී කරුණු අහෝසි වී ගිය අතර, ඡන්ද පත්‍රිකා සඳහා වියදම් වන විශාල මුදලක්ද රජයට ඉතිරි වූයේය. මෙම යන්ත්‍රය හේතු කොටගෙන විනාඩියකට පස් දෙනකුට ඡන්දය භාවිතා කළ හැකිවනු ඇති අතර, කිසිවකුට කිසිවකුගේ ඡන්ද වෙනස් කළ නොහැකි පරිදි ආරක්ෂක අගුලකින්ද යුතුය. ඡන්ද දායකයා අන්‍යන්‍යතාවය තහවුරු කරනු ලබන්නේ එහි ගබඩා කර ඇති අත්සන් හෝ මහපට ඇඟිලි සළකුණු පිළිබඳ විද්‍යූත් මතකයෙනි. මැතිවරණ නිලධාරීන් ප්‍රමාණය මෙන්ම කාලය ගතවීම අඩුකිරීමටද, වංචාවන් දූෂිත ක්‍රියා නැත්තටම නැති කර දැමීමටද මෙම ඡන්ද ක්‍රමය මහත්සේ උපකාරී වී තිබේ.

මෙම ක්‍රමය හේතු කොට ගෙන සෑම ජාතික මැතිවරණයකදීම ඉන්දියාවේ ඡන්ද පත්‍රිකා සඳහා වැයවන කඩදාසි ටොන් 10,000ක් ඉතිරිවන බවට ගණන් බලා ඇත. මීට අමතරව ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය ඒවා ගබඩා කිරීම, ගණන් කිරීමේ කාර්ය මණ්ඩලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම නිසා ඔවුනට වේතන වශයෙන් ගෙවන මුදල් ඉතිරිවීම ආදී කරුණු ඉන් ලැබුණු ඉතා යහපත් ප්‍රතිලාභ ලෙස පෙන්වා දිය හැකිය. එසේම නූගත් ඡන්දදායකයාට ඡන්ද පත්‍රිකාවේ සළකුණු කිරීමට වඩා මෙම ක්‍රමය යටතේ පහසුවෙන් ඡන්දය භාවිතා කළ හැකිය. එක් අයකුගෙන් ඡන්දය එක් වරක් පමණක් සටහන් වන බැවින් ව්‍යාජ ඡන්දද විශාල ලෙස අඩුවේ. මෙහි බැටරිය අවශ්‍ය වන්නේ ඡන්දය විමසීමේදී සහ ගණන් කිරීමේදී EVM යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පමණි. ඡන්ද විමසීම අවසන් වූ වහාම බැටරිය ක්‍රියා විරහිත කළ හැක. මෙම උපකරණය තුළ කුඩා මයික්‍රෝචිපයක් කවිකර ඇති අතර ඡන්ද දායකයා යන්ත්‍රයේ වූ බොත්තම ඔබා ඡන්දය ප්‍රකාශ කළ යුතුය. මෙම ඡන්දය ක්ෂණයකින් මයික්‍රෝචිපය තුළ සටහන් වන අතර, ගබඩා කෙරෙන්නේ පාලන ඒකකය තුළය. එයද එසැණින්ම සිදුවන්නකි. පරිගණක මෘදුකාංගයක ඇසුරෙන් මේ කාරණා සිදුවන ආකාරයට යන්ත්‍රය සැලසුම් කර තිබේ.

ඉන්දියාව 2014 දී මෙම ඡන්ද ප්‍රකාශිත යන්ත්‍ර මිලියන 1.4ක් ඡන්ද මධ්‍යස්ථාන 9,30,00 කදී භාවිතා කර තිබේ. මෙම කුඩා ඩිජිටල් යන්ත්‍රයේ ඇති විශේෂත්වයක් වන්නේ හදිසියේ විදුලිය විසන්ධිවීමක් හෝ බැටරිය ක්‍රියා විරහිත වීමක් සිදුවුවද එහි ගබඩා වී ඇති දත්ත ලබාගත හැකි මෘදුකාංගයක් එය සතුව පැවතීමය.

මේ! දැන්වත් e - ඡන්දෙට ගියොත් නරකද?

සාම්ප්‍රදායික ඡන්ද ක්‍රමය වෙනුවට මේ ආකාරයේ විකල්ප ක්‍රමවේද තුනක් මේ වන විට ලොව දියුණු රටවල්වල ක්‍රියාත්මක වේ.

අප මෙහිලා සඳහන් කළ ඉලෙක්ට්‍රොනික් ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර භාවිතා කිරීම ඉන් එකකි.

අනෙක් ක්‍රම වන්නේ ඡන්දදායකයා විසින් සළකුණු කරන ලද මුද්‍රිත ඡන්ද පත්‍රිකාව ස්කෑන් කොට ඩිජිටල් තාක්ෂණය මඟින් පරිගණකය ගබඩා කර ගැනීමය.

අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම ඊළඟ ක්‍රමය ලෙස සැලකෙයි.

මේ අතරින් විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර භාවිතයේදී ලැබෙන තවත් වාසියක් වන්නේ අපේක්ෂක අපේක්ෂිකාවන්ට අමතර වියදමකින් තොරව තමන්ගේ ඡායාරූපය යොදා ගැනීමට ද හැකියාවක් ලැබීමය.

අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකෘශ කිරීමේ කාර්යය මේ වන විට ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ රටවල් කීපයක සිදු කෙරෙන අතර ඡන්ද දායකයාට අඩුම කාලයක් වැය වන ක්‍රමවේදය වන්නේද එයයි. ඔස්ට්‍රේලියාවේ සෑම ඡන්ද දායකයකුම කාට හෝ සිය ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුතු අතර එසේ නොකරන්නේ නම් ඔහු ඩොලර් දහසක දඩයකට යටත් විය යුතුය.

පැරණි සෝවියට් සංගමයට අයත්ව තිබී පසුව නිදහස ලැබූ රාජ්‍යයක් වන එස්තෝනියාව සිය මැතිවරණ ක්‍රියා දාමය සම්පූර්ණයෙන්ම විද්‍යුත් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කර ඇත. නැගෙනහිර යුරෝපයට අයත් දියුණු රටක් වන එස්තෝනියාවේ, සෑම පුරවැසි හැඳුනුම්පතකටම ක්ෂුද්‍ර චීපයක් ඇතුළත් කොට තිබෙන අතර, ඡන්දය ප්‍රකාශ කරන යන්ත්‍රයට එම චීපයෙන් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි මෘදුකාංගයක් සවි කර ඇත. මෙම ක්ෂුද්‍ර චීපය සහිත හැඳුනුම්පත නිසා එස්තෝනියානුවකුට ලෝකයේ ඕනෑම රටක සිට අන්තර්ජාලය හරහා තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාවී තිබේ. මෙම ක්‍රමය එස්තෝනියානු ජනතාවට හඳුන්වා දෙනු ලැබුවේ 2005 දී වන අතර ඔවුන් දැනට දස වතාවක් අන්තර්ජාලය හරහා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙම රටවලට අමතරව ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ කැනඩාවද විද්‍යුත් ඡන්ද ක්‍රමය භාවිතා කිරීමට පෙළඹී සිටිති. මෙම රටවල්වල තරුණ පරපුර අතරද මෙම ඡන්ද ක්‍රමය ජනප්‍රියව පවතී.

නමුත් නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල් විද්‍යුත් ඡන්ද ක්‍රමයට කැමැත්තක් දක්වන්නේ නැත. මෙම රටවල් දෙකෙහි පමණක් නොව විද්‍යුත් ඡන්ද භාවිතයට විරුද්ධ තව විශාල පිරිසක්ද ලොව පුරා වෙසෙති.

ඡන්ද අක්‍රමිකතාවයක් සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිදු වුවහොත් සමස්ත මැතිවරණ ක්‍රියාවලියම පරීක්ෂා කිරීම මෙම ක්‍රමය යටතේ අපහසු වන බව ඔවුන්ගේ අදහස වී තිබේ. බොහෝ රටවල දැනට බලපැවැත්වෙන මැතිවරණ නීති රීතිවලට අනුව ලිඛිත සාක්ෂි අවශ්‍ය වීම නිසා තත්ත්වය තවත් බරපතළ වන බව ඔවුන්ගේ අදහසයි. නමුත් විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර වෙනුවට අප ඉහත සඳහන් කරන ලද ඡන්ද පත්‍රිකා ස්කෑන් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් මෙයට විසඳුමක් ලබා ගත හැකි බව විද්වතුන්ගේ අදහසය.

එපමණක් ද නොව විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළිබඳව මෑතදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ මහාචාර්යවරයකු ද පවසා තිබුණේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන තාක්ෂණික ඡන්ද ක්‍රමය වන්නේ ඡන්ද පත්‍රිකා ස්කෑන් කිරීමේ ක්‍රමවේදය බවයි. ඡන්දය කරන්නට මුදල් නැතිනම් මේ ක්‍රමය ඇති කරන්නට හෝ පියවරක් ගැනීම බලධාරීන්ගේ යුතුකම යයි සිතමු.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment