මේ දිනවල පැතිර යන සෙම රෝගය

1888

මේ දිනවල බොහෝ දෙනා පවසන රෝග ලක්‍ෂණ කිහිපයක් වනුයේ උගුරේ සෙම පවතින බවක්, කැස්ස සහ නාසයෙන් සොටු ගැලීමක්, උණ මතුවීමක් පවතින බවකි.

සෙම් ප්‍රතිශ්‍යාව හා සමාන රෝග ලක්‍ෂණ සහිතව පවතින මෙය කිසියම් ආසාදන රෝගයක් දැයි කියා විමසති.

මෙම රෝග ලක්‍ෂණ සහිතව පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස රෝගයක් මේ දිනවල දැකිය හැකිය. එවැනි ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් රැසක්ද මේ වන විට හමුවී ඇත. ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා වේගයෙන් වාතය ඔස්සේ පැතිර යයි. එනිසා රෝගය බොහෝ පිරිසකට වැළදීමේ අවදානම වැඩිය.

● රෝග ලක්‍ෂණ

උණ, හිසරදය, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, ඇඟපත වේදනාව, මස්පිඩු වේදිනාව, ශරීරයේ අප්‍රාණික බව ආදී රෝග ලක්‍ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී දැකිය හැකිය. එසේම කල්පවතින කැස්සක්ද පවතී.

මෙම රෝගයට ඉතා පහසුවෙන් ගොදුරුවිය හැකි අය වනුයේ කුඩා දරුවන් ගැබිනි මව්වරුන්, රෝගී තත්ත්වයන්ගෙන් පසුවන පුද්ගලයන් ආදියයි.

● ප්‍රතිකාර

වෛරස රෝගයක් නිසා මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමෙන් ඵලක් නැත. විවේකීව සිටීම, මද උණුසුම් ජලය භාවිතා කර ඇඟපත සේදීම, උණුකර නිවාගත් ජලය මද රස්නයෙන් යුතුව පානය කිරීම, සීතල වාතයට නිරාවරණය නොවී සිටීම ආදිය කළ යුතුය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී යම් පුද්ගලයකුට කැස්ස, සෙම, උණ සහිතව හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවූ විට ඒ සඳහා ලබාදෙන සුවිශේෂී ඖෂධ වර්ග ඇත. එය විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ලබාගත හැකිය.

එහිදී වෛද්‍යවරයා විසින් රෝගියාට මතුවී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය බවට තහවුරු කර ගැනීමෙන් පසු මෙම ප්‍රතිකාර ලබාදේ.

● රෝගය පැතිරීම පාලනය

ශ්වසන රෝගයක් නිසා කැස්ස, සෙම මගින් රෝගය පැතිර යයි. එනිසා මුව ආවරණයක් පැළඳීම මගින් රෝගය පැතිර යෑම පාලනය කර ගැනීමට පහසුවක් වේ. එසේ නොමැති නම් කිවිසුම් යනවිට ලේන්සුවක් වැනි දෙයක් භාවිතා කළ හැකිය. ඉන් වාතයට සෙම බිඳිති යෑම පාලනය කළ හැකිය. ඊට අමතරව කිවිසුම් යනවිට දෑතින් මුව වසාගෙන එය ආවරණය නොකර වැලමිට පෙදෙසින් එය ආවරණය කළ යුතුය.

දෑතින් කිවිසුම ආවරණය කළවිට කිවිසුම නිසා පිටවූ කෙළ බිඳිති දෑතේ තැවරේ. එසේ කෙළ බිඳිති සහිත දෑතින් යම් ස්ථානයක් ස්පර්ශ කළවිට එම කෙළ බිඳිති එහි තැවරීම මගින් තවත් කෙනෙකුට රෝගය පැතිරීමට රුකුලක් වෙයි.

එසේම ඉන්ෆ්ලුවෙන්සා රෝගය ආසාදනය වූ පුද්ගලයෙක් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැලකී සිටීමෙන් සහ සෙනග ගැවසෙන ස්ථාන වලින් ඈත්ව සිටීමෙන් ද රෝගය පැතිරීම වළක්වා ගත හැකිය.

මේ දිනවල පැතිර යන සෙම රෝගය

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment