මේ පරිත්‍යාගය භාරගන්න

250

අප සියල්ලන් විසින්ම බොහෝ පරිත්‍යාග සිදුකළ යුතු අවස්ථාවකි මේ. එසේම, බොහෝ පුද්ගලයින් විසින් මේ මොහොත වන විටත් බොහෝ පරිත්‍යාග සිදුකරමින් ද පවතින බව ද අප සිහි තබා ගත යුතුය. කොරෝනා වසංගතය හා උරෙන් උර ගැටෙමින් කටයුතු කරන වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායී කාර්ය මණ්ඩල, ගිලන්රථ රියදුරන්, එන්නත්කරණයේ යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා හමුදා කණ්ඩායම් ඒ අතර ප‍්‍රධානය.

කොරෝනා රාජකාරීන්හි නියුතු තවත් බොහෝ පිරිස් සිදුකරන කාර්යයන් මේ මොහොතේ හුදෙක් රාජකාරීන් නොව මරණය දෝතින් දරාගෙන සිදුකරන පරිත්‍යාගයන් ලෙස අපි හඳුන්වමු.

එසේ හෙයින් අපි සියල්ලෝම කුමන හෝ පරිත්‍යාගයක් සිදු කළ යුතු අවස්ථාවකි මේ උදාවී ඇත්තේ. මන්ද, මේ වනවිට 4000 ඉක්මවූ ආසාදිතයින් පිරිසක් දිනපතා කොරෝනා ලැයිස්තුවට එකතු වෙමින් සිටී. ඉන් මැරෙන ප‍්‍රමාණය 200 කට වැඩි මිස අඩු නැත. රෝහල් පද්ධතිය එක පැත්තකින් උපරිම ධාරිතාව පැන ඇත. එනම්, රෝගීන් 50,000 කට වඩා රෝහල් පද්ධතිය තුළ සිටිති. නිවෙස්වල ඉන්නා ප‍්‍රමාණය කොතරම්ද යන්න පැහැදිලි නැත. තවත් පැත්තකින් රටේ ආර්ථිකය කඩා වැටී ඇත. එනිසා වසංගතය හදා නොගෙන නිවසට වී සිටීම එක අතකින් අපට කළ හැකි ලොකුම පරිත්‍යාගයයි. මෙය තමන්ට නොව රටට කරන පරිත්‍යාගයක් ලෙස සලකා කටයුතු කරන මෙන් මේ මොහොතේ රටේ ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නට කැමතිය.

නමුත් සැබෑව නම් මෙම පරිත්‍යාග සහ කැපකිරීම් හැකි උපරිමයෙන් ජනතාව ඉටුකරනු ලබන්නේ කොරෝනා මේ රටට පැමිණි දා පටන්ය. එනම්, වසර එක හමාරක පමණ කාලයේ බොහෝ ජනයාගේ ආදායම බින්දුවට වැටී ඇත. සමහරුන්ට ලැබෙන්නේ පඩි භාගයකි. සමහරුන්ට ලැබුණු ඕ. ටී. බටා කිසිවක් අද ලැබෙන්නේ නැත. ඇතැමුන්ගේ රස්සා මුළුමනින්ම අහිමි වී ඇත. කම්කරු ඇමැතිවරයා කියන පරිදි රටේ 12,000 කට රැකියා අහිමි වී ඇත. එපමණක් ද, සංචාරක ව්‍යාපාරය නැට්ටට කඩා වැටී ඇති හෙයින් හෝටල් මකුළු දැල් බැඳී, දිරාපත්වී දැන් ඇත්තේ කඩා වැටෙන්නට ඔන්න මෙන්නය. ඒ හරහා වක‍්‍ර රැකියා හිමිව තිබූ ආහාර සැපයුම්කරුවන්, සෆාරි සේවා කරුවන්, කුඩා කුඩා ව්‍යාපාරිකයින් යනාදී සියල්ලම අද කඩා වැටී ඇත. ඒ මතු ද නොව, මෙම රැකියා ක්ෂේත‍්‍ර කවදා හිස ඔසවයිද කියන්නට අප දන්නේ නැත.

එසේ හෙයින් මෙවන් ක්ෂේත‍්‍ර රැසක ජනතාව සහ රටේ සාමාන්‍ය ප‍්‍රජාව මේ දක්වා සිදුකරන පරිත්‍යාගය (පුද්ගලික අංශයේ) සුළු පටු නැත. එය එක් අතකින් සෞඛ්‍ය සේවාව කරන තරම්ම පරිත්‍යාගයකි. නමුත්, රාජ්‍ය අංශය මේ දක්වාත් රජයෙන් ලබන වැටුප් ගෙඩිය පිටින්ම ලබාගනිති. ඒ පිළිබඳව අපට තරහක්, ඊර්ෂ්‍යාවක් නැත. එසේම, ඔවුන්ට ලැබෙන පඩියෙන් කොටසක් ආණ්ඩුවට යළි පරිත්‍යාග කරන්නට යැයි අප පවසන්නේද නැත. නමුත් අපගේ අදහස නම් වැඩි පඩි, වැටුප් විෂමතා සමනය කර දෙන්නට යැයි කෑ මොර දෙමින් උද්ඝෝෂණය කරන්නට මේ අවස්ථාව නොවන බවය.

ඔබ ඒ පිළිබඳව කෑ මොර දෙන්නට දෙන්නට ඔබ තුළ ඇති ආණ්ඩු විරෝධී බව ප‍්‍රදර්ශනය වන බවද, නිරපරාදේ අහිංසක ගුරු භවතුන් නිකං සමාජයේ ගැරහුමට ලක්වන බවද සිහිපත් කළ යුතුය. එබැවින් මේ මොහොතේ ලැබෙන දේ අරගෙන, තියෙන දෙයක් කා, බී කොරෝනා වසංගත රකුසා පරාජය කරන්නට වචනයකින් හෝ උදව්වක් කිරීම රටට කරන මහා පරිත්‍යාගයක් ලෙස අපි දකින්නෙමු. ආණ්ඩුව කරන වැරදි දැක දැක කට පියාගෙන ඉන්නට යැයි කියා ඉන් අදහස් කෙරෙන්නේ නැත.

නමුත් තමන්ට පුළුවන් පුළුවන් ආකාරයෙන් පරිත්‍යාග කිරීම රට අද බලාපොරොත්තු වන්නකි. එවන් මොහොතක රජය අවංක වී රජයේ සියලූ අනවශ්‍ය වියදම් කපාහරීම සිදු කළ යුතු අතර, උවමනා නම් කපන්නට ඕනෑ තැන්වලින් කපා කොරෝනා අරමුදල තර කිරීමටද කටයුතු කළ යුතුය. ඒ අනුව පළමුව කළ යුතු බව අපට හැෙඟන්නේ මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටින පාර්ලිමේන්තු නියෝජිතයින් 225 දෙනාගේ අනවශ්‍ය වියදම් කපාහැරීමය. ඔවුන් (කැබිනට් මණ්ඩල සාමාජිකයින් හා විපක්ෂය) තමන්ගේ අගෝස්තු වැටුප කොවිඞ් අරමුදලට පරිත්‍යාග කරන බව පැවසීම අප ජනමාධ්‍ය තුළින් අසන්නට අවශ්‍ය නොවන්නකි. ඊට මාධ්‍ය මගින් ප‍්‍රචාරය ලබා දීමද සිදු නොකළ යුතු ලජ්ජා නැති වැඩකි. ජනාධිපතිවරයා විසින් මේ මොහොතේ කළ යුත්තේ කළින් දැනුම් දීමකින් තොරවම ඔවුන්ගේ වැටුප් කපා අරමුදලට බැර කිරීමය. මන්ද, ඔවුන් මෙවන් තාන්න මාන්න ලබා ගන්නේ රැුකියාවක් ලෙස දේශපාලනය කිරීමට ද…?

ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක හා පොහොට්ටුවේ පියල් නිශාන්ත යන මන්ත‍්‍රීවරු කියන්නේ තමන්ගේ වැටුප් කපනවාට තමන් අකමැති බවයි. තමන්ට සෑහෙන ආර්ථික ප‍්‍රශ්න තිබෙන බවයි. (ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම දැනටමත් තම පඩි කපා ලක්ෂ 14 ක් කොරෝනා අරමුදලට පරිත්‍යාග කර ඇත.)

නමුත්, අපගේ අදහස නම්, මේ මොහොතේ නැති පරිත්‍යාග මොකටද යන්නය. මේ යන විදිහට අපට තව මොන තරම් පරිත්‍යාග කරන්නට සිදු වේදැයි දන්නේ කවුද..? විටෙක එය ජීවිත පරිත්‍යාගයක් වුව විය හැකිය. ජනතාව දැනටමත් හොඳටෝම පරිත්‍යාග කර ඇත. ඒ නිසා අස අසා ඉන්නට දෙයක් නැත. රජය හා ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇමැතිවරුන්ගේ, මන්ත‍්‍රීවරුන්ගේ (පාර්ලිමේන්තු, පළාත් පාලන ආයතන) හා රජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ හා අවශ්‍ය නම් රාජ්‍ය අංශයේ පරිත්‍යාගය ද මේ මොහොතේ ඉත සිතින් කොරෝනා අරමුදලට භාරගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment