මේ පරිවර්තනය ඇතුළේ කාන්තා අධ්‍යාත්මය ජීවත්වෙනවා

361

ප‍්‍රවීණ මාධ්‍යවේදිනියක් මෙන්ම පරිවර්තන ලේඛිකාවක් වන නිශානි දිසානායක විසින් පරිවර්තනය කරන ලද ‘ඇපල්ගහ යට’ කෘතිය පහන් ප‍්‍රකාශනයක් ලෙස පසුගියදා මුද්‍රණයෙන් නිකුත්විය. ලෝක ප‍්‍රකට ඇමරිකානු ලේඛිකා රෙබෙකා ක්ලාක් බ්රොක්වේ ඇගේ ජීවිත කතාව ඇසුරෙන් රචනා කරන ලද ඹබාැර ඔයැ ්චචකැ ඔරුැ කෘතිය ඇසුරෙන් පරිවර්තනය කරන ලද එම ග‍්‍රන්ථය පිළිබඳව නිශානි දිසානායක මහත්මිය සමග සිදුකළ සංවාදයක් පහත පළවේ.

ප‍්‍රශ්නය: ඔබගේ නවතම පරිවර්තන කෘතිය ‘ඇපල්ගහ යට’ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරනව නම් –

පිළිතුර: මගේ 20 වැනි පරිවර්තන කෘතිය විදිහට තමයි ඇපල්ගහ යට කෘතිය පාඨකයන් අතට පත්වෙන්නෙ. මෙහි තිබෙන විශේෂත්වය තමයි මම මෙතෙක් කල් පරිවර්තනය කළ යොවුන් නවකතාවෙන් මිදිල වැඩිහිටි පාඨක ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් මේ නවකතාව පරිවර්තනය කිරීම. දෙවැනි කාරණය තමයි මේ නවකතාව ලෝක ප‍්‍රකට ලේඛිකාවකගේ ජීවිත කතාව වීම. එහෙම පරිවර්තනයක් කළ පළමු අවස්ථාව වශයෙනුත් මේ නවකතාව මට විශේෂ වෙනව.

ප‍්‍රශ්නය: ඒ සඳහා ලෝක ප‍්‍රකට ලේඛිකාවකගේ ජීවිත කතාව තෝරා ගැනීමට විශේෂ හේතුවක් පැවතුනාද?

පිළිතුර:- මෙය 1960 දශකයේ පමණ ජීවත්වූ ඇමරිකානු ලේඛිකාවකගේ කතාවක්. එරට එවකට පැවැති සමාජ තත්ත්වය, සංස්කෘතිය ඇවතුම්, පැවතුම් මේ හරහා කියවෙනව.

ඊට අමතරව මේ ලේඛිකාවගේ ළමා කාලය ඉන් අනතුරුව එළඹෙන තාරුණය, විවාහය එපමණක් නොවෙයි මවක් ලෙස ඇයට මුහුණදීමට සිදුවන අනේකවිධ අභියෝග දුෂ්කරතා හමුවේ ඇය පසු කාලයක ජීවිතය ජයගන්නා ආකාරය පිළිබඳව සංවේදී සිදුවීම් ආදිය මේ කෘතියට අන්තර්ගත වෙලා තිබෙනව. ඉතින් මේ චරිතය ගත්තොත් හැම ගැහැනියකගේම ජීවිතයෙන් කොතැන හෝ තැනක් මේ කතාව ඇතුළෙ අපට මුණගැහෙනව. ඒ හින්ද අපේ රටේ කාන්තාවන් මේ පොත කියවද්දි ඒ අයට දැනෙන්න ගනීවි මේ තමන්ගේ කතාව කියල. මේ ලේඛිකාව උනත් තමන්ගෙ කතාව ලියා තැබීම තුළ උත්සාහ කරන්න ඇත්තේ ලෝකවාසී කාන්තාවන් සඳහා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනව.

මේ පරිවර්තනය ඇතුළේ කාන්තා අධ්‍යාත්මය ජීවත්වෙනවා

ප‍්‍රශ්නය: පුවත්පත් කලාවේදිනියක් ලෙස ප‍්‍රකට ඔබ පරිවර්තන සාහිත්‍ය පිණිස යොමු වෙන්නෙ කොහොමද?

පිළිතුර: පුංචි කාලෙ ඉඳලම පත පොත කියවීමේ ලොකු ආශාවක් මා තුළ පැවතුනා. ඒ සඳහා අවශ්‍ය කාලවේලාවක් තිබුණ. ඒ පරම්පරාවට අයත් කෙනෙක් ලෙස ඒ පිළිබඳ අද සතුටට පත්වෙනව. අද පරම්පරාවට ඒ ඉඩකඩ අහිමි වෙමින් පැවතීම කනගාටුවක්. කුඩා කළ මා තුළ පැවැති කියවීමේ ආශාව විසින් තමයි පසුකාලීනව ලේඛනයට යොමු වෙන්නෙ. ඉන් අනතුරුව වෘත්තීය මාධ්‍යවේදිනියක් ලෙසත් දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයේ නිරතවීමට මට අවස්ථාව ලැබෙනව. විශේෂයෙන්ම ලක්බිම පුවත්පතේ විදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ තනතුරට පත්වීමෙන් අනතුරුව එතනදීත් පරිවර්තන කාර්යයේ නිරතවීමේ අවස්ථාව වැඩි වැඩියෙන් උදාවෙන්න ගත්ත. ඒවත් එක්ක තමයි පරිවර්තන සාහිත්‍යයකට යෙමු වෙන්නෙ. නමුත් මේක හෙමින් යන ගමනක්.

ප‍්‍රශ්නය:- ඒ සඳහා හිමිවෙන පාඨක ප‍්‍රතිචාර මොන වගේද?

පිළිතුර- පරිවර්තන ක්ෂේත‍්‍රයට ඇවිත් මේවනවිට වසර 20ක පමණ කාලයක් ගතවෙලා තිබෙනව. ඒ කාලය ඇතුළත විදේශීය කෘතීන් 20ක් පමණ මා විසින් පරිවර්තනය කරල තිබෙනව. ‘ළබැඳි සොයුරියෝ’ කියල සිංහල පරිවර්තනය ගත්තොත් ඒ සඳහා තවමත් ප‍්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මගේ අලූත්ම පරිවර්තනය වන ඇපල්ගහ යට කෘතිය පිණිසත් ඉහළම පාඨක ප‍්‍රතිචාරයක් හිමිවේවි කියලා.

ප‍්‍රශ්නය:- විශාල වශයෙන් පරිවර්තන කෘතීන් මුද්‍රණයවන වටපිටාවක් තුළ ක්‍ෂේත‍්‍රයේ පවතින තරගකාරිත්වය මොන වගේද?

පිළිතුර: ප‍්‍රකාශකයෙක් හරහා ඒ කටයුතු කරනවිට ඔය කියන තරගකාරිත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනේන ඉතාමත් අඩුවෙන්. මගේ පර්වර්තන සියල්ලම පාහේ ‘පහණ’ ප‍්‍රකාශන විදිහට තමයි පාඨකයා අතට පත්වෙන්නෙ. ඒ හින්ද ක්‍ෂේත‍්‍රයේ පවතින තරගකාරිත්වය මට නොදැනෙනවත් ඇති.

ප‍්‍රශ්නය: විදේශීය කෘතීන් වෙනත් භාෂාවකට පරිවර්තනය වීමේදී මුල් කෘතියට හානි සිදුවුණ බව ඇතැම් විචාරකයන්ගේ මතයක් බවට පත්වෙනවා. පරිවර්තන කාර්යයේ නිරතවන ඔබ ඒ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද?

පිළිතුර: මෙහෙමයි. ඔය චෝදනාව හැමදාම තිබුණ දෙයක්. ඒ වගේම හැම රටකම තිබෙන දෙයක්. උදාහරණයක් විදිහට ප‍්‍රංශ කාතියක් ඉංග‍්‍රීසියට පර්වර්තනය කළා කියමු. එතනදිත් අඩු වැඩි වශයෙන් අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ හරහා කෙනෙකුට කියන්න බැහැ අර මුල් කෘතියට හානියක් සිද්ධ වුණා කියල. මොකද කෙනෙක් යම් කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කරද්දි ඒ තුළින් කියැවෙන්න ඕන මොකක්ද කියලා හරියටම දන්නෙ ඔහු පමණයි. ඔහුගේ හෝ ඇයගේ අවබෝධයෙන් එහෙමත් නැත්නම් තේරුම් ගැනීමේ ප‍්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. ඔය ප‍්‍රශ්නය හින්ද මට මතකයි එක්තරා කාලයක ප‍්‍රංශයේ කමිටුවක් පවා පත් කළා. පරිවර්තනය හරියටම සිද්ධ වෙලාද කියලා බලල ඒ කමිටුව විසින් දෙන තීරණය අනුව තමයි පරිවර්තනයක් පාඨකයන් අතට පත් කළේ. ඒ කෙසේ වෙතත් කිසිම අඩුපාඩුවක් නැති පරිවර්තන කෘතීන් මම දන්න තරමින් ලෝකයේ නැහැ. නමුත් කෙටි කාලයක් ඇතුළත පරිවර්තන කාර්යයට අතගහපු ඇතැම් ලේඛකයන් අතින් බරපතළ වැරදි සිදුවන අවස්ථා දකින්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි.

ප‍්‍රශ්නය: ඉදිරියේදී ස්වතන්ත‍්‍ර නිර්මාණ හරහා පාඨකයන් අතරට පැමිණීමේ අදහසක් නැද්ද?

පිළිතුර: මම තාමත් එහෙම තීරණය කරලා නැහැ. නමුත් යම් යම් අවස්ථාවල ඒ සඳහා කැමැත්තක් මා තුළ ඇතිවූ අවස්ථා ආදියත් පවතිනවා. ඒ හින්ද බොහොම හෙමින් ගමනක් යන අයකු ලෙස මගේ අතින් ඉදිරියේදී ඇතැම් විට ස්වතන්ත‍්‍ර නිර්මාණ බිහිවේවි. ඒක කාලය විසින් තීරණය කරන දෙයක්.

සාකච්ඡා කළේ – රුවන් ජයවර්ධන

මේ පරිවර්තනය ඇතුළේ කාන්තා අධ්‍යාත්මය ජීවත්වෙනවා
advertistmentadvertistment
advertistmentadvertistment