මේ මගේ අවසන් නිර්මාණය වේවි…… දළදාගමනය අවසන් වුණු පසු මම විදේශගත වෙනවා…

2052

සනත් අබේසේකරගේ නවතම ටෙලි නිර්මාණය “දළඳා ගමනය” හිරු ටී.වී. ඔස්සේ විකාශය වේ. පුවත්පත් කලාවේදියෙකු ලෙස මුල්කාලීනව සමාජයේ නමක් ඇතිකරගන්නා සනත් අබේසේකර ඉතා දුෂ්කර මාවතක් ඔස්සේ ටෙලි නාට්‍යක් නිර්මාණකරණයට පැමිණ මේ වන විට ටෙලි නාට්‍යය 52 ක් ජනප්‍රිය සිනමා කෘති 04 ක් කලාවට දායද කර තිබේ. දළදාගමනය ඔහුගේ 52 වැනි ටෙලි නිර්මාණය වන අතර එයද බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධියක් පාදක කරගෙන නිර්මාණය වන්නකි. ඉතිහාසය පාදක කරගෙන කලා නිර්මාණ කිරීමේ ඔහුගේ මේ අභිරුචියත් ස්වකීය කලාභාවිතාවේ හැඩ තල ගැනත් පහදමින් සනත් අප සමග මෙසේ කතා කළේය.

මේ මගේ අවසන් නිර්මාණය වේවි...... දළදාගමනය අවසන් වුණු පසු මම විදේශගත වෙනවා...
ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට
අධ්‍යෂක සනත් අබේසේකර

“ඉතිහාසය පාදක කරගෙන කතා හැදීමට මම යොමුවෙන්නෙ පුංචි කාලේ මම හැදී වැඩුණ පරිසරයේ ලද ආභාෂය නිසා. මම ඉගෙන ගත්තේ පෙරාදෙණිය විශ්වවිද්‍යාල පීඨ පිරිවෙනින්. ඒ පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක වැඩිපුරම ගැවසුණේ ස්වාමින් වහන්සේලා එක්ක. එතනදි ඉතිහාසය සහ බුදු දහම ගැන ලැබුණ අවබෝධය, ඊටත් පසු කාලයේදී එල්ලාවල මේධානන්ද හැමුදුරුවන් ඇසුරු කිරීමෙන් ලද දැනුම් සම්භාරය මගේ කලා නිර්මාණවලට තවමත් බලපෑම් කරනවා.” යැයි සනත් අබේසේකර පවසන්නේය.

ඉතිහාසය ඇසුරින් නිර්මාණය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැගේ වැඩක්. වැරද්දක් වෙන්න බෑ. ඉතින් ඔබට බියක් දැනෙන්නෙ නැද්ද? මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඇත්තටම කිසිම චකිතයක් බියක් මට දැනෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි, මම දැන් ගොඩාක් ආගමික පැත්තට නැඹුරු වෙලා ඉන්නෙ. චරිත්‍රයක් විදියට හැමදාම පාන්දර බුද්ධ පූජාව තියල පිරිත් කියල භාවනා කරල තමයි මම මේ දළදා ගමනය ෂූටිං වලට පවා යන්නෙ. එත් එක්කම පස් පව් වලින් වැළකිලා ඉන්නෙ. ඒකත් එක්ක මටම තේරෙනවා මම මේ කරන වැඩවලදි අවශ්‍ය දෙයක් නිතැතින්ම ළඟා වෙනවා. මම විශ්වාස කරනවා පිරිසිදු සිතින් කරන වැඩක් නිසා විශ්වයේ තියෙන බුද්ධ ශක්තියෙන් පිහිටක් තියනවා කියල.”

දළදා ගමනය සිනමාපටයට පසු ටෙලිනාට්‍යක් කරන්නත් සැලසුමක් තිබ්බද?

ඇත්තටම එහෙම අදහසක් තිබුණෙම නෑ. රේනෝ සිල්වා මහත්මයා තමයි කිව්වෙ මහ විරු පණ්ඩු වලින් පස්සෙ දළදා ගමනය ටෙලිනාට්‍යක් විදියට කරමු කියල. ඇත්තටම මම මහ විරු පණ්ඩු වලින් පස්සෙ ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්න හිටියෙ. මගේ දරුවො දෙන්නම ඉන්නෙ එහෙ. ඒත් එතුමගේ ඉල්ලීම නිසා තමා දළදා ගමනය ටෙලි නාට්‍යය පටන් ගත්තෙ.

දළදා ගමනය සිනමාපටයෙන් දළදා ගමනය ටෙලි නාට්‍ය වෙනස් වෙන්නෙ ?

මම ලිව්ව දළදා ගමනය සිනමා තිර රචනය බලලා ටෙලි නාට්‍යය තිර රචනා කරන්නෙ ආචාර්ය කේ. බී. හේරත්. චිත්‍රපටයේ කෙටියෙන් කිව්ව දේ ඊට වඩා එහා ගිය තොරතුරු ගොඩක් එක්ක එතුමා වෙනම තිර රචනයක් ගොඩනගනවා. කාලය සීමිත නිසා සිනමාපටයට දාන්න බැරි වුණ ගොඩක් තොරතුරු ටෙලි නාට්‍යට ඇතුළත් කරන්න මේ නිසා අවස්ථාවක් ලැබිලා තියෙනවා. දාඨා වංශය මූලිකව පාදක කරගෙන තමයි මේ කතාව ලියැවෙන්නෙ. ඒත් එක්කම මහා වංශය, දීප වංශය, තූප වංශය වගේ ග්‍රන්ථ වලින් මේ සම්බන්ධව ගත්ත තොරතුරු, ජනශුති තොරතුරු ටෙලි නාට්‍යයේදී අපි ප්‍රේක්ෂකයා අතරට ගෙන එනවා.

පවතින ආර්ථික හා දේශපාලන සමාජ අස්ථාවරත්වයත් එක්ක බොහෝ නිර්මාණකරුවන් නිර්මාණ කරණයට ඉඩක් නෑ කියල මැසිවිලි නගද්දි ඔබ නොකඩකවා නිර්මාණ කරණයේ නියැළෙන්නෙ කොහොමද?

ගොඩක් අය ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. ඒකට කියන්න තියෙන්නෙ අර කතාවම තමා. මම රකින පිළිවෙත් නිසා ලැබෙන ආශිර්වාදය තමා ඒකට හේතුව. සමහර විට වැඩ කරන්න අවශ්‍ය තෙල් නැති වුණොත් කවුරුහරි කෙනෙක් හෝ මොනයම් හෝ ක්‍රමයකින් ඒක අපිට ලැබෙනවා. එහෙම දවසක්වත් හිර වුණ අවස්ථා නෑ. ඇත්තටම මේ නිර්මාණය කෙරෙන්නෙ ආශ්චර්යයකින් තමා. හෙට කරන දර්ශන ගැන මම කලින් දවසෙ රාත්‍රියේ හිතුවාම ඒක ඒක මොන බාධක ආවත් පහුවදාට ඒවා විසඳිලා වැඩේ කෙරෙනවා. ” යැයි සනත් අබේසෙකර පවසන්නේය.

දළදා ගමනය ටෙලි නාට්‍යයෙන් පසු නැවතත් ටෙලි නාට්‍යක් හෝ සිනමා නිර්මාණයක් කිරීමට තමන්ට අදහසක් නැති බවත් මෙහි වැඩ කටයුතු අවසන් වූ පසු තමන් විදේශගතවන බවත් අවසානයේදී ඔහු අප සමග කීවේය.

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment