මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

263

සරච්චන්ද්‍ර හමුව

මං ගෙයින් එළියට ආවේ ගේ ඇතුළේ ඉන්න බැරි තරම් රස්නෙ හින්දා. මං කඳුගැටය උඩ වෙරළුගහ ගාව ඉඳගෙන මහපාර දිහා බලාගෙන සිටියා. දැකලා පුරුදු මුහුණක් හෙමිං සීරුවේ දුම් පයිප්පයක් ඇද ඇද පාරේ ඇවිදිනවා. මං බැලුවා කවුද මේ කියල. දෙයියනේ! මාව හිරිවැටිලා ගියා. මේ සරච්චන්ද්‍ර මහාචාර්යතුමා නේද? සරච්චන්ද්‍ර! මොන සරච්චන්ද්‍රද? එදිරිවීර සරච්චන්ද්‍ර වෙන්න බෑ. එතුමා නැති වෙලානෙ. නෑ, මේ එතුමාමයි. මං හනික පුටුවෙන් නැගිටලා මහපාර දිහාට දිව්වා. බස්තම හෙමිහිට බිම අනිමින් ගිය එතුමා මාව දැකලාද කොහෙද මොහොතක් නතර වුණා. කිසිම සැකයක් නෑ, මේ සරච්චන්ද්‍රයන්මයි. “සරච්චන්ද්‍ර සර්?” මං එකත්පස්ව ඇමතුවා. “ඕ,. මගේ ගෝලයෙක්!” මං දිහා බලාගෙන ඉඳලා එතුමා හඬ නැඟුවා. “පේරාදෙණියෙ කොයි කාලෙද හිටියෙ?” මට එතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් තිබුණෙ නෑ. මං එතුමාගේ ගෝලයෙක් නෙවෙයි, පාඨකයෙක් විතරක් හින්දා. මං තෙපරබාද්දි එතුමාම කථා කළා: “ඒ කිව්වෙ ගෝලයෙක් නෙවෙයි. බොහොම හොඳයි. මං එහෙම අයට කැමතියි. ඒත් මට එතකොට සර් කිව්වෙ?” ආයෙත් ප්‍රශ්නයක්. කඩඉම් ප්‍රශ්නයක්. මං මෙහෙම කිව්වා: “හැමෝම සර්ට සර් කියනවානෙ. ජේබී සර්, සුනිල් සර්, තිස්ස සර් කියල කියනවා වගේ. මටත් ඒ හින්දා සර් කියවුණා.” සරච්චන්ද්‍රයන් තනියම සිනාසුණා. පස්සෙ හඬ අවදි කළා: “මට ගෝල බාලයො වගේම බාල ගෝලයොත් හිටියා. වැඩි පිරිස බාල ගෝලයො තමයි. ඒත් තව පිරිසකුත් මට ඉඳලා තියෙනවා.” ඒ කවුද? “ඒ තමයි තමන් මගේ ගෝලයින් කියල කියන පිරිසක්. එහෙම කියන්නෙ හුඟක්ම සමහර සිංදු ලියන කට්ටියයි පත්තරකාරයොයි. ඒ අය කවදාවත් මගෙන් ඉගෙනගෙන නෑ. මං උගන්නපු අයත් ඉගෙනගෙන නෑ. හැබැයි යන යන තැන ඔවුන් කියන්නෙ ‘සරච්චන්ද්‍ර සර්,, ඉස්සර පේරාදෙණියෙ අපේ ඩොක්ටර්,, අපි නිර්මාණ පන්තියේ ඉන්දැද්දි,,’ කිය කියා. තමුන්නාන්සෙ එතකොට ඒ කොයි ගොඩේද?” මං හිස කැසුවා. “හරි, මට තේරෙනවා. අපි කොහෙහරි යන මෝඩයෙකුට සර් කිය කියා ගියොත් ඒක අහන අනික් මිනිස්සුත් ඒකාට සර් කියනවා. ඒත් ඒක හොඳ ආමන්ත්‍රණයක් නෙවෙයි.”

සරච්චන්ද්‍රයන්ගේ කතාව අහලා අන්තිමේ මං ඇහුවා මේ විධියට: “ඩොක්ටර් මේ කොහෙ යන ගමන්ද?” එතුමා උඩ බලාගෙන දුම් උගුරක් ඉහළට ඇදලා උත්තර දුන්නා: “මං මේ තිස්ස එක්ක අම්පෙගමට ගිහිල්ලා එන ගමන්. දන්නවානෙ, අපේ චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ. එතුමා ඉන්නෙ මේ පළාතෙනෙ.” තිස්ස සර්ත් චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේත් දැන් ජීවතුන් අතර ඉන්නවාද! මාව සහළවලා ගියා. දෙයියනේ! එතකොට මං මේ කථා කරන්නෙ…..! මං හොල්මන්වලට බයයි. ඒත් මෙතැනදි මං බය වුණේ නෑ. මොනවාට බය වෙන්නද! මෙච්චර සුන්දර මිනිසෙක් අබිමුව ඉද්දි මොන බයක්ද! කෝ එතකොට තිස්ස සර් කියල මට අහන්න හිතුණා. ඒත් මං එහෙම නොඅසා මේ දවස්වල සරච්චන්ද්‍රයන් කරන දේවල් ගැන ඇහුවා. එතුමා මං අහපු ප්‍රශ්නවලට දුන්නු උත්තර මේවායි:

“මේ දවස්වල නිර්මාණ කටයුත්තක් නම් කරන්නෙ නෑ. හුඟක් කරන්නෙ අනික් අය කරන නාට්‍ය බලන එක.”

“ළඟදි සර් නාට්‍යයක් බැලුවාද?”

“අපොයි! සෑහෙන බැලුවා. ඒත් හරි අමාරුවෙන් බැලුවේ.”

“ඒ කිව්වෙ සර් නාට්‍ය හොඳ නෑ!”

“නෑ, නාට්‍ය හොඳයි. නාට්‍ය නිෂ්පාදකයන්ට, සංවිධායකයන්ට, නාට්‍යවල රඟපාන අයට හුඟක් හොඳයි. ඒත් නාට්‍ය රසිකයන්ට හොඳ නෑ.”

“සර් ළඟදිම බලපු නාට්‍ය මොනවාද?”

“මං පෙරේදා වයිඑම්බීඒ එකේ අලුත් නාට්‍යයක් බැලුවා ‘සිංහබාහු’ කියල. ඒ නාට්‍යකරුවාගේම තවත් නාට්‍යයක් බැලුවා ඊයේ ලයනල් වෙන්ඩ්ට් එකේ. ආ ඒක ‘මනමේ’ කියල.”

සරච්චන්ද්‍රයන්ගේ ඒ උත්තරේට මාව ටිකක් ගැස්සුණා. ඒත් මං මෙහෙම ඇහුවා: “කොහොමද සර් ඒ නාට්‍ය?” මෙන්න සර්ගේ උත්තරේ:

“හොඳයි ඉතින්! හැබෑට කාගෙද ඒ නාට්‍ය?”

සර් අහපු දේට මං ගොළු වුණා. ගොළුවතින්ම සර්ට ඇහුන්කම් දුන්නා.

“දැන් හරි අමුතු නාට්‍ය නේද තියෙන්නෞ නාට්‍ය කලාව වේදිකාවෙන් මහපොළොවට ගෙනැල්ලා. මං කරපු දේට අනික් පැත්ත. බොහොම හොඳයි, අභියෝගාත්මකයි. එකම දේ ඒවා බලන් ඉන්න බැරිකම.”

“එතකොට සාහිත්‍ය පොතපත?” මං එතුමාට අමතර ප්‍රශ්නයක් යොමු කළා.

“ෂහ්! සාහිත්‍ය කලාව නාට්‍ය කලාවට වඩා ඉස්සරහට ඇවිල්ලා. සම්මාන උත්සවම කීයක් තියෙනවද? ෂහ්! අපේ කාලෙ ඔහොම මුදල් ත්‍යාග තිබුණෙ නෑනෙ පොඩි මධුවිතකවත් රස විඳින්න!”

සර් කතාව නතර කරද්දිම ඈත ඉඳලා තෙල් ගැලුමක් අරගෙන කෙනෙක් ළඟට ආවා. මං බැලුවා කවුද කියල. කාලවර්ණ, නූස්, හීන්දෑරි අත්කොට කුර්තා කමිසයක් ඇඳගත්තු කෙනෙක් සමීප වුණා. දෙයියනේ! තිස්ස කාරියසම් සර්. “ආ! මේ සර්ට හොඳ තරුණයෙක් හම්බෙලා තියෙන්නෙ.” මං තරුණයෙක් නොවුණත් තිස්ස සර් මාව දැකලා ඇමතුවා. “හැබෑට මේ හරියෙ කිසි තැනක පෙට්‍රල් නෑනෙ. මොකද වෙලා තියෙන්නෙ? හැබැයි පෙට්‍රල් නැති වුණාට මොකෝ පෝළිම නම් තියෙනවා හැතැප්මක් දුරට.” තිස්ස සර්ට උත්තර නොදී මං මොහොතක් කල්පනා කළා. ඇත්තට ආයෙත් තෙල් පෝළිම් පටන්ගෙනද? ඒක වෙන්න බෑ. ඊයෙත් ෂෙඩ්වල තෙල් තිබුණානෙ. මොන පෝළිමක්ද! නෑ, ඒ ඊයෙනෙ. අද පෝළිම් තියෙන්න පුළුවන්. ඕන වෙලාවක පෝළිම් ඇති වෙන්න පුළුවන්. පෝළිම්වල නැහෙන්නත් පුළුවන්. අර අපූරුවට අස්වැසුමෙ පෝළිම්වල සිද්ධ වෙන්නෙ. “පෝළිම් පටන්ගත්තෙ නම් අපේ කාලෙ තමයි. ඒත් අද පෝළිම් ඇති වෙලා තියෙන්නෙ මොකද?” ඒ විමසුවේ සරච්චන්ද්‍රයන්. ඒත් මං දෙදෙනාටම උත්තර දෙන්න ගියේ නෑ. මං තුළ බිය, විමතිය වගේම විචිකිච්චා අතෝරාශියක් හොල්මන් කළා. මොකද පහුගිය කාලෙ අපේ රටේ සිද්ධ වෙච්ච අකරතැබ්බ නොදන්න මනුස්ස ප්‍රාණියෙක් නැති හින්දා වගේම ඒවා ආයෙ විස්තර කරන එකත් ලේසිපාසු නැති හින්දා.

“මට එකක් පේනවා. මිනිස්සු ඉන්නෙ නම් හරි අමාරුවෙන්. බල්ලො මරලා හරි සල්ලි හොයන්න බලනවා වගේ පේන්නෙ!”

සරච්චන්ද්‍රයන් එවර කථා කළේ තිස්ස සර් දිහා බලාගෙන. ඒකට උත්තර දුන්නෙත් තිස්ස සර්මයි.

“සර් ඉතින් එදාම ඔය ගැන ලිව්වානෙ ‘ධර්මිෂ්ට සමාජයේ”’

“ලිව්වා නම් තමයි. ඒත් දැන් මට හිතෙනවා ඒක නොලිව්වා නම් හොඳයි කියල. මොකද සිද්ධ වෙන වින්නැහිය කවුරුවත් නවත්තගෙන නෑනෙ.”

සරච්චන්ද්‍රයන්ගේ කතාවට කාටවත් උත්තර දෙන්න ලැබුණෙ නෑ. ඈතින් වේගයෙන් ඇදී ආ වීඑයිට් එකක් පාර මැද නතර කළා. “සර්ගෙ වාහනේ බ්‍රේක් ඩවුන් එකක් වෙලා කියල ආරංචි වුණා. නගින්න සර් මං තෙලුත් අරන් ආවේ.” ඉස්සරහ සීට් එකේ හිටපු අත්කොට සුදු කමිසයක් ඇඳගත්තු ඇමැති කෙනෙක් වගේ කෙනෙක් අපිව ඇමතුවා. ඒ එක්කම සර්ලා දෙන්නා මට සමුදීලා වීඑයිට් එකේ නැඟලා පිටත් වුණා. ඔවුන් ඈතට ඇදිලා යද්දි මට සිහි වුණේ අර කථා කළේ කවුද කියල. අපේ සරත් අමුණුගම හිටපු ඇමැතිතුමා.

මං ආපහු ගෙදර යන්න කඳුබෑවුම නැගිද්දි මගෙ හිසේ දිගටම වැඩ කළේ සරච්චන්ද්‍රයන් අන්තිමට කී කතාව. සිද්ධ වෙන වින්නැහිය කවුරුවත් නවත්තගත්තෙ නෑ කියන එක. ඇයි අපේ කවුරුවත් වින්නැහිය නවත්තගත්තෙ නැත්තෙ? හැමෝම නිද්‍රාශීලී වෙලා සිටියාද? ඒ ගැන සිතත් සිතත්ම මට සරච්චන්ද්‍රයන් එක්ක එකඟ වෙන්න බැරි කාරණා වැඩි වුණා. මොකද ලෝකයේ ජරා මරණ සේ නියතයෙන්ම සිද්ධ වෙන විපත්ති තියෙනවා. ඒවා මේ ලෝකෙ කිසිම ජගතෙකුට නවත්තන්න බෑ. උදාහරණයකට සුනාමිය නවත්තන්න කාට පුළුවන් වුණාද? මහපොළොව පැලෙන එක කාටවත් නවත්තන්න බෑනෙ. දැන් ලංකාවේ හොරු කවුන්සිලේට යනවා. පාලම්වල ඇණ ගලවනවා. කැලෑ කපනවා. වෙල් – හැල් ගොඩකරනවා. පඬුකරඳගස් වළලනවා. බැංකු කොල්ලකනවා. කාට ඒවා නවත්තන්න පුළුවන්ද! ලෝකයේ ජරා මරණ සේ මේ පුණ්‍යභූමියේ ඒවා අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒවා නවත්තන්න කාටවත් බෑ. මේකා වෙනුවට ඒකා ආවත් ඒකායි මේකායි දෙකම එකයි කියන එකා ආවත් ඒවා එහෙමම තමයි. ඉතින් සරච්චන්ද්‍රතුමා කියන එක මං පිළිගන්නෙ නෑ. හැබැයි මං එකක් පිළිගන්නවා. අපේ නාට්‍ය කලාවටත් සාහිත්‍ය කලාවටත් දැන් ස්වර්ණමය යුගය උදාවෙලා. ස්වර්ණ පුස්තකේත් ළඟ ළඟම එනවානෙ. ෂහ්! අපරාදෙ මට ස්වර්ණ පුස්තකේ ප්‍රධාන ආරාධිතයා විධියට සරච්චන්ද්‍රයන්ට ඇරයුම් කරන්න තිබුණෙ. එතුමාගෙන් සාහිත්‍ය දේශනයක් එහෙම ගත්තා නම් කොච්චර වටිනවාද! දැන් ඉතින් මොනවා කරන්නද! ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගන්න බෑනෙ. ගිය නුවණ ටෙලිපෝන් එකෙන් අද්දවාගන්න පුළුවන් නම් ඒත් කමක් නෑ.

● රවීන්ද්‍ර විජේවර්ධන
ravi7761@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment