තුවාලය!

මගෙ කකුලෙ තුවාලයක්. දකුණු කකුලෙ මහපටඇඟිල්ල පැහැවලා. සැරව පිරිච්ච කකුල බිම තියන්න තියා බිම නොතියා අත්වාරුවෙන් ඇවිදින්නත් බෑ. ඇදුම්කනවා. උහුලන්නම බැරි රෑට. එළිවෙනකන් නින්දක් නෑ. ළතෝනිය විතරයි වේදනාව දුරු කරන්නෙ.

තුවාලෙ හටගත්තෙ අද ඊයේ නෙවෙයි, දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර. මොකක්ද ඇත්තට වුණේ? ඒ දවස්වල දේශගුණය හරි නෑ. ඊට කලිනුත් දේශගුණය හරි නෑ. ඒත් අලුත් දේශගුණය හරිම නෑ. ඒක නොසිතූ විරූ අකරතැබ්බ ගෙනාවා. මුලින් හිතුවේ අලුතින් ආපු දේශගුණය ඇඟපතට හොඳ වෙයි කියල. ඒකෙන් මිනිස්සු කිරියෙන් පැණියෙන් ඉතිරෙයි කියල. ඒත් ඒක රටම උණුහුම් කළා. ගිනි ඇවිලුවා. ගින්නට පිච්චිලා මිනිස්සුත් මැරුණා. ගෙවල් ඇතුළෙ ඉන්නත් බැරි හින්දා මිනිස්සු රෑ පහන් කළේ එළියේ. සමහර දවස්වල පාරෙ. තවත් සමහර විට පෝළිම්වල. කඩපිල්වල. අන්න ඒ කාලෙ තමයි ඇඟිල්ල පැහැව්වෙ. එහෙම කාලෙක විෂබීජ ඇඟට ඇතුල් වෙන එක අහන්න දෙයක් නෑ. ඒත් පැහැව්වා කියල මං බෙහෙතක් ගත්තෙ නෑ. ඇයි නොගත්තෙ? ගත වුණු කාලෙ ඇඟිල්ල සැරින් සැරේ හොඳ වෙන ලකුණු පෙන්නුවා. ඒත් ලකුණු කියන්නෙ ඇත්ත නෙවෙයි. ඉතින් අන්තිමේ කකුලම පැහැව්වා. කොහොම නමුත් ගිය සතියේ මාව බිරිඳ දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගියා. මොකක්ද කළේ දොස්තර?

දොස්තර මුලින්ම ඇහුවේ මගෙන් සීනි කොහොමද කියල. මං කිව්වා සීනි ඉස්සර ප්‍රශ්නයක් නෑ, ඇති වෙන්න කෑවා, ඒත් ටික ටික කන්න බැරි තත්ත්වයක් උදා වුණා, එකපාරටම අහස උසට මිල ගණන් ඉහළ ගියා, ඊට පස්සේ කෑවෙ නෑ කියල. ඊළඟට ඇහුවා බිත්තර කනවාද කියල. මං කිව්වා බිත්තරවල පාට මොකක්ද කියලවත් මතක නෑ කියල. ඊළඟට දොස්තර අහන ප්‍රශ්නෙ මං අනුමාන කළා. ඉතිං දොස්තරට කලින් මං උත්තර දුන්නා:

“උපන්තේකට හිතුවේ නෑ ලොකු ලූනුවලට මෙහෙම කලක් යයි කියල. රුපියල් හයසීයට කිලෝ එක නඟිනවා කියල දැනගෙන හිටියා නම් බිරින්දෑවත් වැඩට යවන එක නවත්වලා මුළු වත්තෙම මං ලොකු ලූනු වවනවා.” දොස්තර මහත්තයා මං කියපු දේට ඇහුන්කම් නොදී බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා. බෙහෙත් වට්ටෝරුව මං අතට ගත්තෙ නෑ. බිරිඳ අතට ගත්තා. බිරිඳ ගන්නවා කියන්නෙ ප්‍රතිඵල සහතිකයි. ඔව්, ප්‍රතිඵල අහද්දි මට හිතුණා තුවාලෙට බෙහෙත් ගත්තාට වඩා තුවාලෙන් මළා නම් හොඳයි කියල හිතුණා. දැන් මං ලෙඩ ඇඳේ. පැහැවපු ඇඟිල්ල එහෙමමයි.

ඇඟිල්ලක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි. ඒත් ඇඟිල්ල කොච්චර ලොකුද කියල දැනෙන්නෙ ඇඟිල්ලට දෙයක් වෙච්ච දාට. දැන් මට හිතෙන්නෙ ඇඟිල්ලත් හරි ජීවිතෙත් හරි කියල. වෙලාවකට මට පුදුම හිතෙනවා ඇයි මට මෙහෙම වුණේ කියල. මොකද මං මගේ ජීවිතේ කවදාවත් කාටවත් ඇඟිලි ගහලා නෑ. ඇඟිලි නොගහා ඉන්න බැරි මිනිස්සු ඉන්න ලෝකයක් මේ. ඕන එකටත් ඇඟිලි ගහනවා, එපා එකටත් ඇඟිලි ගහනවා. දැන් ඇමැතිවරු දෙවර්ගයක් ඉන්නවානෙ. කැබිනට් ඇමැතිලාට රාජ්‍ය ඇමැතිලාගේ වැඩවලට ඇඟිලි නොගහා ඉන්න බෑ. මතකද ඒ දවස්වල අමරවීර – වෙදආරච්චි වලිය? කැබිනට්කාරයා රාජ්‍යකාරයාට වැඩ කරන්න දෙන්නෙ නෑ. ගෑනුන්ට ඇඟිලි ගහන ඇමැතිලාත් ඉන්නවා. සමහර නිළියන්ට, ගායිකාවන්ට ඇඟිලි සලකුණු හිටින්න ඇඟිලි ගහලා තියෙනවා සමහර ඇමැතියො. ඒවාට චූදිතයො මං සොයන්නෙ නෑ. අද කාලෙ කවුරුවත් අහිංසක නෑනෙ. දැන් ෂම්මි මල්ලි අහිංසකද? අර්ජුන අයියා අහිංසකද? මං දන්නෑ කවුද අහිංසක කියල. ඒත් මට හිතෙනවා ඇයි අර්ජුන අයියා ක්‍රිකට්වලටම ඇඟිලි ගහන්නෙ කියල. අර්ජුන අයියාට කලින්නෙ වර්ණපුර අයියා ක්‍රිකට් ගැහුවෙ. ඒත් කවදාවත් වර්ණපුර අයියා ක්‍රිකට්වලට ඇඟිලි ගැහුවාද? නෑ. දුලිප් අයියාවත් අරවින්ද අයියාවත් කවදාවත් ක්‍රිකට්වලට ඇඟිලි ගැහුවාද? නෑ. දැන් මාවන් අයියාට ක්‍රිකට්වලට එන්න කිව්වත් එන්නෙ නෑ. අන්න නියම පොරවල්. ඇඟිල්ලෙ තරම දන්නවා. ඇඟිල්ලෙ තරම දැනගෙන වැඩ කළා නම් අර පොළොන්නරුවේ හාදයා තවම ක්‍රීඩාවෙ ලොක්කා.

මට හිතෙනවා මේ ඇඟිල්ල සුව කරගන්න නම් කකුල කපන්න වෙයිද කියල. ඇඟිල්ලක් පැහැව්වා කියල කකුලක් කපන්න දෙන්න පුළුවන්ද? ඒත් ඇඟිල්ල හොඳ වෙන්නෙ නැත්නම් කකුලකින් ඇති වැඩක් තියෙනවාද! ඇඟිල්ල පැහැව්වත් ඇවිදින්න බෑ. කකුල කැපුවත් ඇවිදින්න බෑ. දෙකම එකයි. එහෙනම් කකුල කැපුවා කියල වෙනසක් තියෙනවාද! ඇත්ත වශයෙන් දැන් මං ඉන්නෙ කකුලක් නෑ වගේ. හොඳ කකුලක් මට කවදාවත් තිබුණෙ නෑ. හොඳ කකුලක් අල්ලගන්නත් බැරි වුණා කවදාවත්. කොහොම වුණත් පහසුවෙන් ඇවිදින්න කියල මට බිරිඳ කිහිලිකරුවක් ගෙනැල්ලා දුන්නා මීට කීප දොහකට කලින්. කිහිලිකරු වාරුවෙන් දැන් මං කඩපිලට යනවා. ගිහින් කොහෙ හරි වාඩි වෙලා කෑම බීමත් ගන්නවා. ඒත් මට හිතෙන්නෙ මං අබ්බගාතයෙක් කියල. මට තනියෙන් නැඟිටින්න බෑ, තනියම කෙළින් වෙන්නත් බෑ. ඉතිං වැඩක් තියෙනවාද! මුලදි වටේ හිටපු මිනිස්සු මට නැඟිටින්න උදව් කළ බව හැබැයි. බිරිඳ අත්වාරුව මිලට ගත්තෙත් ඔවුන්ගේ පිහිටෙන් තමයි. ඒත් මිනිස්සු කරපු උදව්ව කිහිලිකරුව ගන්න ප්‍රමාණවත් වුණේ නැති බවත් කියන්න ඕන. බිරිඳ අවසානෙ අත්වාරුව අරගත්තෙ පොළී මුදලාලිගෙන් පොළියට සල්ලි අරන්. දැන් මං වාරු අරන් ඇවිදිනවා. ඒත් ඇවිදින පියවරක් ගානෙ මට හිතෙන්නෙ මං ඇවිදිනවාට මුදලාලිට පොළී ගෙවනවා නේද කියල. මට හිතෙනවා මගේ දරු මුනුබුරොත් මේවාට පොළී ගෙවයිද කියල.

ඇවිදින්න කරන්න රෝද පුටුවක් ගන්නත් මගෙ හිතේ තියෙනවා. ඒකටත් දන්න නොදන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන යනවා. ඒත් කැටේට සල්ලි වැටෙන වාරයක් ගානෙ මට දැනෙනවා මං මේ හිඟාකනවා නේද කියල. හිඟාකන්න පුරුදු වෙච්ච මිනිහාට හිඟමන ඇර වෙන දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. ටයි – කෝට් දැම්මත් ඉංගිරිසියෙන් කථා කළත් හිඟන මිනිහා හිඟනවාමයි.

මට අනාගතය ගැන ලොකු බයක් දැනෙනවා. මං හොඳටම දන්නවා මගෙ තුවාලය හොඳ වෙන්නෙ නෑ කියල. තුවාලය තියෙන මිනිහා තමයි තුවාලෙ වේදනාව දන්නෙ. මේ වේදනාව මට උහුලන්න පුළුවන්. ඒත් ඒ වේදනාවට මගෙ ළමයාටත් උහුලන්න වෙයිද? ඒ කිව්වෙ ළමයා දිහාත් මිනිස්සු මේ අර අබ්බගාතයාගෙ ළමයානෞ කියල බලයිද? මං නිසා කොල්ලාට කිළිටක් වෙන්න බෑ. ඌට හෙටක් නැති වෙන්න බෑ. ඒත් අද අපි ජීවත් වෙන්නෙ වෙනස් ලෝකෙක. මේ ලෝකෙ ඕනම නරකක් මහ දවාලෙ වුණත් වෙන්න පුළුවන්. පේනවානෙ පලස්තීනෙ තත්ත්වෙ. උතුරේ සිවිල් ජනයාට ලංකාවේ හමුදාව බෝම්බ දානවාය කිව්වෙ කවුද? ළමයින් කාන්තාවන් ඝාතනය කරනවාය කිව්වෙ කවුද? දෙමළ ජන සංහාරයක් කරනවාය කියල කෑගැහුවේ කවුද? ක්ලින්ටන් මැතිණිය දැන් කොහේ ඉන්නවාද දන්නෙ නෑ හැබෑට. ඒවා එහෙම තමයි. ලෝකෙ ඉර වටේ කැරකෙනවා නෙවෙයි, ඒක ඉර වටේ කරකවනවා. ඉර තියෙන්නෙ උන්ගෙ පැත්තෙ. ඒක කරකවන්නෙ උන්ට ඕන විධියට. උන්ට ඕන පැත්තට. හැබැයි උන්ට ඕන පැත්තට කරකවන්න ගිහින් වැටිච්ච මිනිස්සු නම් ඉන්නෙ ලංකාවෙ විතරක් වෙන්න ඕන. ඒත් වැටි වැටී හරි ආයෙත් නැඟිටිනවා අපේ කට්ටිය. පේනවානෙ අර සම්මේලනේ. තණ කොළ, පිදුරු නෙවෙයි පුන්නක්කු එල්ලුවත් අපි පොදි බඳිනවා ඔවුන් වටේ.

බිරින්දෑ අද මාව ආයෙ දොස්තර කෙනෙක් ළඟට එක්කරගෙන ගියා. මෙවර ගියේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. උන්නත් දාහයි මළත් දාහයි. මළත් මොකෝ! සල්ලි වටිනවා ඔක්කොටම වඩා. දොස්තර ඇඟිල්ල වගේම කකුලත් පරීක්ෂා කළා මගේ. ඔහු කිව්වෙ එක දෙයයි:

“තව ටික දවසක් ඉවසන්න. වැල්පාලමෙන් එතෙර වෙන්න අපි ඔන්න මෙන්න. දැඟලුවොත් ඔක්කොම ඉවරයි.” අපොයි! ඔක්කොම ඉවර වෙන්න දෙන්න බෑ. ඇඟිල්ල කියන්නෙ මොකක්ද! කකුල? කොච්චර වටින කකුල් තියෙනවාද ලෝකෞ මගෙ කකුල කකුලක්ද? තුට්ටුවක් නොවටිනා කකුලක් වෙනුවෙන් දරුවත් එක්ක ගෲෂාට පාලමෙන් පහළට වැටෙන්න දෙන්න බෑ. ඉතිං මං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් සල්ලි දීලා දැන් ඉන්නවා කකුල එල්ලගෙන වැල්පාලමෙන් පහළට වැටෙන්න. හෙන්රි ජයසේන මහත්තයෝ, ළඟපාත ඉන්නවාද ඔබතුමා?

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment