මේ මගේ කතාව-අසිහියෙන් ලියූ සටහන්

294

වෙසක්

පුතා කොල්ලො දෙන්නෙකුත් අඬගහගෙන උදේ ඉඳන්ම මොනවද අඳිනවා. මං ළඟට ගිහින් විපරම් කරලා බැලුවා මොකක්ද කියල. චිත්‍ර වගයක්. මට පොඩි බයක් දැනුණා. “ඕවා කඩදාසිවල ඇන්දාට මොකද තාප්පවල නම් අඳින්න හිතන්න එපා” මං ඔවුන්ට කිව්වා. “ඒ මොකද අංකල් ඒ?” එක කොල්ලෙක් මගෙන් ඇහුවා. මේ කොලු කුරුට්ටන්ට ඉතිහාසෙ අමතක වෙන හැටි! “එහෙම දෙයක් නම් වනේ හතුරෙකුටවත් වෙන්න එපා ළමයිනේ!” මං කිව්වෙ ලොකු කතාවකට මුල පුරන්න හිතාගෙන. “අංකල්, අපි මේවා අඳින්නෙ අද වෙසක් එකට අපේ තොරණට.” අනික් කොල්ලා කිව්ව කතාවට මං මගෙ කතාව ගිලගත්තා. විතරක් නෙවෙයි, කොලු සමාගමෙන් ටිකක් ඈතටත් ගියා. මට එක දෙයක් හිතුණා: රටේ ලෝකෙ සිද්ධ වෙන කිසි දෙයක් මට දැනගන්න ලැබෙන්නෙ නෑ! මං කල්පනා කළා මට කොහොමද වෙසක් එක මිස් වුණේ කියල. එතකොට ඔළුවට ආවේ මේ දවස්වල බිරිඳ ටීවී බලන එකයි ගෙදරට පත්තර ගන්න එකයි නවත්තලා කියල. ඇත්ත කිව්වොත් ගෙදර ෆ්‍රිජ් එක පවා ගලවලා අයින් කරලා දැන්. “ආයෙ මේ ගෙදර මිනිස්සු රෑට පොත් බලන්නෙ නෑ!” බිරින්දෑ දාපු අනික් නීතියත් මගෙ සිහියට ආවා. ඔයා මොකද එහෙම අපට කරන්නෙ කියල මට අහන්න හිතුණා. ඒත් ඇහුවේ නෑ. අහනවා නම් අහන්න තියෙන්නෙ මැගෙන් නෙවෙයි, මැදමුලනෙ කට්ටියගෙන්.

අද වෙසක් නම් ගෙදරට වෙලා ඉන්න එක හොඳද? මං කල්පනා කළා පන්සල පැත්තෙ ගිහින් බලන්න. අඩු ගානෙ ඉඳිආප්ප ටිකක්වත් සප්පායම් වෙන්න බැරියැ හීල් දානෙන්. වෙසක් දවසෙ උපාසක දානෙ කියන්නෙ මඟුල් මේසයක් වගේ තියෙන්න ඕන. සුදු කමිසයක් නැති හින්දා පරණ මේස් බැනියමත් ඇඳගෙන මං පන්සල පැත්තට ඇවිදගෙන ගියා. ඈත ඉඳලාම ඇහුණෙ ලවුඩ්ස්පීකරවලින් එන සිංදු සද්දෙ. බෙග් මාස්ටර් පන්සලේ සංගීත ප්‍රසංගෙකට ඇවිල්ලාවත්ද? පන්සලට හැරෙන තැන අලුතින් ඉදිකරපු මකර තොරණ දැක්කාම මට තක්කු මුක්කු නැතුව ගියා. මකරා තොරණෙන් එළියට ඇවිල්ලා දිව දික් කරනවා. මාරයි අප්පා! පාරෙ ඉඳලාම වෙසක් සැරසිලි, කොඩි වැල්, බල්බ් වැල්, එළිය පෙට්ටි. තාම කළුවර වැටිලා නැතත් පන්සල් වත්ත පුරා බල්බ් පත්තු වෙනවා. කවුද අර ඕමල්පෙද කවුද කියල හාමුදුරු කෙනෙක් හිටියා නේද! උඩ මළුව, යට මළුව, මැද මළුව හිතන්න බැරි තරම් ලස්සනයි. තෙල් ටිකට අමදලා. අමදින්න දේකුත් නෑ. හැම තැනම ටයිල් කරලා. වැසිකිළියට යන පාරත් ටයිල්. එක වැලි කැටයක් නෑ. වැලි මළු තිබුණෙ ආදි කාලෙ! හාමුදුරුවො දැනටම පාරට වැඩලා කියල හිතුණෙ රතු සිවුරු පොරවාගත් ස්වාමීන් වහන්සේලා සෙට් එකක් දැක්කාම! ඇත්ත වශයෙන් මට වැරදුණා. ඒ, අටවිසි බුදුවරුන්ගේ පිළිම වහන්සේලා. බෝමළුවට හැරෙන තැන සංඝමිත්තා තෙරණිය බෝ පැළේකුත් අත දරාගෙන තායිලන්තෙ ඉඳලා වැඩම කරලා තිබුණා. හැම පිළිමයක් එක්කම පිංකැටයක්. පිං කැට පෝළිමට අනික් පැත්තෙ දේවාලෙ. එතනත් අතපාගෙන පිංකැට. මං දේවාලෙට හැරුණෙ නෑ. මං දෙයියො විශ්වාස කළේ නෑ. මං විශ්වාස කළේ දෙයියන්ගෙ මල්ලි.

මොනවටද මං පන්සලට ආවේ? මං ආපු කාරිය කරගන්න බැලුවා. තිලකෙයා ඉන්නවාද දන්නෙ නෑ දාන ශාලාවේ. ඉන්නවා නම් වටලප්පමක් කාරියකට අතගහන්න පුළුවන්. හුඟ වෙලාවක් සොයලා අන්තිමේ තිලකෙයා හම්බුණා පන්සලේ පොල්වත්තෙන්. මිනිහා පොල් ඇහිඳිනවා. “මහත්තයාට ඕන නම් ගෙඩියක් දෙකක් ගන්න. එකසිය විස්ස ගානෙ දෙන්නෙ. ඒත් මහත්තයා හින්දා හාමුදුරුවන්ට කියලා සීයට අරගෙන දෙන්නම්.” තිලකෙයා කීයට අරන්ද සීයට දෙන්න යන්නෙ? සීයට අරන් රුපියලට නම් දෙන්න එපා. සීයට අරන් දාහට දෙන්න. ඒක තමයි ක්‍රමය. පන්සල, පල්ලිය, කෝවිල කියල නෑ. ඔක්කොම කනවා කිරිමාළු. මං පොල් පැත්තක තියලා දාන කාමරේට ගිහින් තිලකෙ ලව්වා කිරිමාළු කෑල්ලක් එක්ක ඉඳිආප්ප ටිකකට අතගැසුවා. ඉන් පස්සෙ බුදුගේ දිහාවට පියමං කළා. ධර්ම ශාලාවේ මේ වෙලාවේ බණක්. ටවුමේ ටියුෂන් කරන ධම්මානන්ද හාමුදුරුවෝ තණ්හාවේ ආදීනව කියා දෙනවා. හරිම ලස්සන බණක් වුණත් මට අහන් ඉන්න ලැබුණෙ නෑ. මට ඉසේ කැක්කුමක් ඇල්ලුවා. මොනවා හරි හොඳ දෙයක් අහද්දි හැමදාම ඉස කැක්කුමක් අල්ලනවා. පෙර අකුසල! වෙසක් දවසෙ පන්සලට ඇවිල්ලා බුදුගෙට අඩිය නොගහා යන එක හරි නෑ කියල හිතුණු හින්දා ඉස කැක්කුම දරාගෙන මං බුදුගෙට ගියා. බුදු ගේ පුරා මල් සුවඳ. මල් මේසෙ උඩ ලස්සන කිරිබතක්. පුංචි පුංචි සෙම්බුවල දාපු වෑංජන අතෝරාශිය දැක්කාම කටට කෙළ ඉනුවා. මෙහෙමත් කන බොන මිනිස්සු ලංකාවේ ඉන්නවාද අම්මපා!

බුදු කුටියෙ බිම ඇනතියාගෙන මං ගාථා කියන්න ගත්තා. ඒත් ඉතිපිසෝ භගවා විතරයි ඔළුවට ආවේ. වෙන මොනම ගාථාවක් ඔළුවෙ නෑ. මං බෞද්ධයෙක්ද කියල මට හිතුණා. ඒවගේම මං කොච්චර පිරිහුණු මිනිහෙක්ද කියලත් හිතුණා. පුදුමයකුත් නෑ. මං කිසිම කුසලයක් කරන මිනිහෙක් නෙවෙයි. මං මල් පහන් තියලා බුදුන් වැන්ද කාලයක් මතක නෑ. මං පන්සිල් පද පහ කවදාවත් රැක්කෙ නෑ. ඕන වෙලාවක මං මිනිහෙකුට අපහාස කරනවා. ඕන වෙලාවක මිනිහෙක්ව පාවා දෙනවා. මිනිසුන්ගෙ නරක දකින්න එපා, හොඳ දකින්න කියල කිව්වාට මං දැක්කෙම නරක. ඒ නරක දකින ගමන් මං ඇති තරම් නරක කරනවා.

ගාථාවක් මතකෙට එන්නෙ නැති හින්දා මං භාවනා කරන්න ගත්තා. ඇස් දෙක පියාගෙන මං ආනාපාන සතිය වඩන්න ගත්තත් පපුවට හුස්ම එන්නෙ නෑ කියල දැනුණා. ඒ පාර මං මෛත්‍රී භාවනාවට සේන්දු වුණා. මෛත්‍රිය මට හුරු එකක් නෙවෙයි. ඒත් මට මෛත්‍රිය ගැන කථා කරන්න පුළුවනි. මෛත්‍රියෙන් පටන්ගෙන බහුබූත ‍ෙදාඩන්න පුළුවනි. ඉතිං මං ටිකක් බහුබූත‍ෙදාඩන්නම්:

මිත්‍රවරුනි, මේ අපි ජීවත් වෙන්නෙ නරක කාලයක. අර ඊශ්වර විංසතියද මොකක්ද කියන්නෙ මේ කාලෙට වෙන්න ඕන. ඒත් අභාග්‍යයට මේ විංසතිය ඉවර වෙන්නෙ නෑ. මට මතකයි මීට අවුරුදු පනහකට ඉස්සර – එතකොට මට අවුරුදු දෙකයි. මට අවුරුදු දෙකේ සිද්ධිත් හොඳට මතකයි – ඔව්, අවුරුදු පනහකට ඉස්සර මූනිස් සීයා කියනවා අපි මේ ජීවත් වෙන්නෙ මැණික් ගල් යට ගිහින් ලබු කබල් උඩ එන කාලෙක කියල. ඒත් ඒ කාලෙ තවමත් එහෙමමයි. තවමත් අපි මැණික් ගල් දකින්නෙ නෑ. විනිල් ළඟ මැණික් තියෙනවා කියනවා. තිබුණාවේ. තව කවුද ආච්චි කෙනෙක් ළඟත් මැණික් මල්ලක් තියෙනවාලු හංගලා. ඒත් තිබුණාවේ. කමක් නෑ. මට ඕන මැණික් නෙවෙයි. මට ඕන නිදහසේ ජීවත් වෙන්න. තුන් වේලක් කන්න. ලයිට් කපයිද නැද්ද කියල හිත ගැස්සි ගැස්සි ඉන්නෙ නැතිව ඇති තරම් ලයිට් දාගෙන පොත් කියවන්න. අමරදේවගේ, නන්දා මාලිනීගේ සිංදුවක් අහන්න. අද දවස ගෙවිලා හෙට දවසක් උදා වෙන බව සත්තයි. හෙට ඉර පායන කොට මං සමහර විට නොඉන්න පුළුවන්. ඒත් ඒ හෙට මගෙ දරුවො ඉන්න ඕන. ඉර පායනවා මගෙ දරුවො දකින්න ඕන. ඒකට මේ විංසතියෙ ඉන්න පාපතරයො ඉඩ දෙන්නෙ නැති එකයි ප්‍රශ්නය. ඒ හින්දා මේ වෙසඟේ මං බුදු පියාණන්ගෙන් ඉල්ලන්නෙ මේ උභතෝකෝටික ගැටලුව ලිහාදෙන්න කියල.

මං ලොකු මිනිහෙක් නෙවෙයි. ලොකු අදහස් මට නෑ. මට එකයි ඕන. මේ මොහොත හොඳට ගෙවන්න. හෙට ගැන හිතන්නෙ නැතිව බරක් නැතිව ඉන්න. පාරෙ බුදියන බල්ලෙක් ගන්න. ඌ මොන නිදහසක්ද විඳින්නෙ! කැමති දෙයක් කාලා, කැමති තැනක ඇවිදලා, වෙන බල්ලෙක් සද්දයක් නොදැම්මොත් කැමති බැල්ලියක් එක්ක බුදියගෙන පාඩුවේ ඉන්නවා. අපි බල්ලෙක් තරම්වත් වටින්නෙ නෑ කියන්නෙ ඒකයි. අපි ජීවත් වෙනවා කියල කියනවා. ඒත් අපි ඇත්තටම ජීවත් වෙනවාද කියල මට සැකයි. හෙට එළිවෙන කොට අපි මොකද කරන්නෙ? එලාම් සද්දෙට දඩිබිඩි ගාලා නැඟිටලා ඉස්පාසුවක් නැතිව ඇඳ කියාගෙන ඔෆිස් දුවනවා. පොඩි උන්ගෙ බඩට යමක් දාන්නෙවත් නැතිව උන්ව ඉස්කෝලෙ දක්කනවා. අපි හැම වෙලාවෙම වැඩ. වැඩ, වැඩ, වැඩ…. ඇයි අපට වැඩක් නැතිව ඉන්න බැරි? අපට සැහැල්ලුවේ ටිකක් නිදාගන්න බැරි? ණයකාරයන්ගෙන්, වෛරක්කාරයන්ගෙන්, ඊර්ෂ්‍යාකාරයන්ගෙන්, කුහකයන්ගෙන්, මිතුරු වෙස් ගත් සතුරන්ගෙන් තොර ලෝකෙක පාඩුවේ ජීවත් වෙන්න බැරි ඇයි? ඒකට හේතුව විංසතියද? ලබු කබල්ද? මැණික්ද? මට හිතෙන්නෙ මේකට අපිට හාමුදුරුවන්ගෙන් උත්තරයක් ඕන වෙනවා. කාදිනල් උන්නාන්සේගෙන් උත්තරයක් ඕන වෙනවා.

මවුලවිතුමන්ලාගෙන්, කුරුක්කල්තුමන්ලාගෙන් උත්තරයක් ඕන වෙනවා. ඒත් මේ තාක් අපට උත්තර ලැබිලා නෑ. අපි හැම දේටම ආණ්ඩුවෙන් උත්තර ඉල්ලනවා. ඒත් අපි අපේ උත්තර දීලා නෑ. මේ හින්දා මං අපේ ත්‍රෛලෝකනාථ, පාද පද්ම බුදු හාමුදුරුවන්ගේ දෙපා නමැද ඉල්ලා සිටිනවා අනේ! අපේ බුදු හාමුදුරුවනේ, ඔළුවෙ බරක් නැතිව, ගිනි ගොඩක පිච්චෙන්නෙ නැතිව ඇහැරෙන්න පුළුවන් දවසක් උදා කරලා දෙන්න.

පන්සලෙන් පිට වෙලා පල්ලම බහිද්දි මගෙ ඉස්සරහට හම්බුණේ පොඩි හාමුදුරුවො. ජ්‍යොතිෂ හාමුදුරුවො. “මහත්තයා, දරුවාගේ කේන්දර කොපිය දීලා ගියා නෝනා. ඒකත් අරගෙන යන්න.” විධානය අනුව මං උන් වහන්සේගේ කාර්යාල කාමරේට ගිහින් කේන්දර කොපිය අරගත්තා. මං ආපහු හැරෙනකොටම පොඩි හාමුදුරුවන්ගේ මේසෙ උඩ හිටපු එක් කෙනෙක් මට ඇහැක් ගැහුවා. මං ආපහු හැරුණෙ නෑ. දිගටම ගියා. කවුද ඒ? ලාෆිං බුද්ධා!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment