වෙසඟ!

හන්දියේ මහා පහන් කූඩු රාජයෙක් හදනවා. කැරකෙන කූඩු රාජයෙක්. මාත් ගියා කැරකෙන කූඩු රාජයා හදනවා බලන්න. බලන්නමත් නෙවෙයි. නිකන් කාලය ගෙවාගන්න. නිකන් ඉන්න තමයි අමාරුම අද.

“සෑහෙන කාලෙකට පස්සෙ මේ පාර වෙසක් බලන්න පුළුවන් වෙන්නෙ. නේද මහත්තයෝ?”

මැණිකා කිව්වා ආප්පයක් දාන ගමන්. ඇත්ත, වෙසක් බලන්න පුළුවන් වෙන්නෙ කාලෙකින් තමයි මේ. පාස්කු බෝම්බයි, කොරෝනා බෝම්බයි, ගෝඨා ගෝ බෝම්බයි එක්ක මොන වෙසක්ද? වෙසක් නෙවෙයි, ජීවිතේ ගැටගහගත්තෙවත් කොහොමද කියල අහන්න පුළුවන්ද මිනිහෙකුට?

“මං නම් හුඟක්ම කැමති කිරිබත්ගොඩ තොරණ බලන්න.”

මට කියවුණා මැණිකාට. ගෑනු එක්ක ඉද්දි හංගන්න හදන ඒවාත් එළියට එනවා.

“ඔය කිව්වෙ අර කැලණියේ ආචාර්යතුමාගේ තොරණද?”

සුදාද ඇහුවේ ඒ? සුදා සැලුන් එක වහලා බරටම වැඩ කූඩුවේ. සැලුන් එක ඇරියත් සල්ලි, වැහුවාත් සල්ලි සුදාට. නිකන් පෙන්නවාද මේ වෙසක් කූඩුව වුණත් ! ටිකට් නැතුව බස් එකේ ගියත් ටිකට් නැතුව කූඩු බලන්න බෑ. හොල්මන් මන්දිර නම් කොහොමත් බෑ. ටිකට් නැතුව පු`එවන් බලන්න ගෙදර හොල්මන් මන්දිරේ !

“ඒත් මේ පාර තියෙනවා ආසියාවේ ලොකුම තොරණ ලංකාවේ!”

සුදා දුන්නෙ අලුත් තොරතුරක්.

“හැබෑට? කොහෙද තියෙන්නෙ ඒක?”

විදුලිබල මණ්ඩලේ සුමනෙත් ඇවිත් කූඩු රාජයාගේ කොළ අලවන්න.

“පානදුරේ කියල කියන්නෙ.”

සුමනෙ දන්නෙම නෑ නිව්ස් එක. වඩුවාගේ ගෙදර පුටුව නෑ වගේ විදුලිබලේ වැඩ කරන මිනිහා ටීවී බලන්නෙ නැද්ද? ඒත් ආසියාවේ ලොකුම තොරණ බැරිද ලංකාවේ හදන්න? බැරි නෑ. ආසියාවේ විතරක් නෙවෙයි, ලෝකෙම කප් ගහපු මිනිස්සුනෙ අපි. මතකද ආසියාවේ ආශ්චර්යය? ආශ්චර්යය හැබැයි හොඳටම දැක්කෙ 2021 තෙල් පෝළිම්වල නිදි වරද්දි. ඔව්, හොඳටම කළේ අපි!

“මම නම් ඔය ලොකු ලොකු තොරණ බලන්න යන්නෙ නෑ. තියෙන තොරණ හොඳටම ඇති.”

විංකලේ ගුණදාස ඇවිත් කූඩුවේ වැඩට. ගුණෙයාට කොහොමත් තියෙන තොරණ ඇති. මිනිහා හවසට හවසට තොරණක වැඩ කරනවානෙ! කසිප්පු පෙරන මිනිහාට නැද්ද වැඩ? වෙසක් කියල නැවැත්තුව හැකියැ ඒවා.

“සුදාලා මේ කරන වැඩේ නම් මරු!” ගුණෙයා ආයෙමත් කථා කරනවා. “මොකද අද කාලෙ මේ වගේ පොදු වැඩක්වත් කරන මිනිස්සු නෑනෙ.”

මිනිස්සු එකතු කරගන්න ගුණෙයාට හදිස්සියි! ඒත් ගුණෙයා කියන වැඩේ මරු වෙන්නෙ අඩියක්ගහලා ගෙදර ගියාම. බිරින්දැලාට මරුවා ආවේශ වුණාම මාර සේනාව පරාදයි පන්සලේ විහාර ගෙයි බිත්තිවල පෙන්නන.

“ඒ කාලෙ මේ හන්දියේම අපි කූඩුත් එක්ක ඔ`එබක්කො නැටෙව්වා මතකද ගුණේට?”

සුමනෙ මතක් කරනවා අතීතය.

“මං හිතන්නෙ මහානායක හාමුදුරුවො නැවැත්තුවා ඔළුබක්කො නටවන එක. නැත්නම් මේ කූඩුවත් එක්ක අපට ඔළුබක්කො පාරක් දාන්න තිබුණා මරුවට!”

සුමනෙම කථා කරනවා. සුමනෙ කියන එක ඇත්තද? වෙන්න බෑ ඒක. තවම ඔළුබක්කො නටවනවානෙ සමහර තැන්වල. දැක්කෙ නැද්ද ඔළුබක්කෙක් වීඑයිට් එකක ගිහින් ගුවන්තොටුපොළ පෝටර් මල්ලි කෙනෙකුගෙ කම්මුලට ගැහුවා. ඇත්ත පහුගිය සතියෙනෙ වුණේ ඒක. මිරිස් ඔ`එබක්කෙක් වෙන්න ඕන ඒකා. මොකා වුණත් කම්මුල් පාර පෝටර් ඇවිත් නෑ තවම වැඩට.

“අපරාධයක් ඔළුබක්කො නවත්තපු එක නම්. හරි විනෝදයිනෙ ඒක බලන් ඉන්න!” ආප්පයක් බාලා මැණිකා හවුල් වෙනවා කතාවට.

“ඔළුබක්කො ඒ දවස්වල ටීවී එකේ පෙන්නුවා ඕල්වේස් බ්‍රේක් ඩවුන් කියල. ඒක පෙන්නපු මිනිහා නම් ළඟදි මළා. ඒත් ඔළුබක්කො පෙන්නන එක නවත්තලා නෑ!”

ගුණේ කියනවා දන්න විත්ති! කාලයේ වැලිතලාවෙන් යට වුණු විත්ති. කසිප්පු ගුණේ නොදන්න දෙයක් තියෙන්න පුළුවන්ද!

“තවමත් පෙන්නවාද ඔළුබක්කො ටීවී? වෙන්න බෑනෙ. මං ඊයෙත් බැලුවා හිරු ටීවී. සිරස ටීවී. සියත ටීවී. මොනරා ටීවී. ටීවී දෙරණ. මොන ඔළුබක්කෙක්වත් දැක්කෙ නෑ!”

මැණිකාට ප්‍රශ්නයක්. මැණිකාට ඕන ඔළුබක්කො බලන්න. කසාද බැන්දත් දැකලා නෑ නෑ තවම ඔළුබක්කෙක්.

“නෑ, මං කිව්වෙ ටීවී එකේ ප්‍රවෘත්තිවලට ඔ`එබක්කො නටවනවා කියල.”

ගුණේට ජියර් මාරු කරන්න පුළුවන් එක තත්පරේට. කියන්න දෙයක්ද අමුතුවෙන් ප්‍රවෘත්තිවලදි ඔළුබක්කො නටවනවා කියල. මතකයි මට එක නාලිකාවක ප්‍රවෘත්ති කියපු කොල්ලෙක්. ප්‍රවෘත්ති කියන ගමන් ඇහිබැම උස්ස උස්සා, කට උල් කර කර ඔළුබක්කෙක් නැටෙව්වා මිනිහා. ඒත් පස්සෙන් පහු වැඩේ නැවැත්තුවා මිනිහා. නැවැත්තුවාට පස්සේ වැඩේ භාරගත්තෙ ‘සලකුණේ’ අසූචි කාපු ටීවීකාරයෙක්. එයා ඇහිබැම නෙවෙයි උස්සන්නෙ. සංවාදෙට ගේන මිනිස්සු ඉස්සරහා පිටම ඔළුබක්කෙකුට රූපාන්තරණය වෙනවා මිනිහා. මොක්කුද වෙන්න බැරි සල්ලිවලට?

“සුදා බැරිද මේ කූඩුව පෙන්නද්දි පොඩි වැඩක් දාන්න?”

ගුණේට තවත් දෙයක් මතක් වෙලා හිටිගමන්.

“මං කිව්වෙ ඔය කැරකෙන කූඩු එක්ක විරිඳුයි මොහිදින් බෙග්ගෙ සිංදුයි අහලා එපා වෙලා දැන්.”

“ඇයි බං එහෙම කියන්නෙ? බෙග් නොමියුණු මිනිහෙක් කියල දන්නෙ නැද්ද?”

සුදා උත්තර බැන්දා ගුණෙයාට.

“උඹ කියන්නෙ විරිඳු වෙනුවට වාද බයිලා දාන්න කියලද? නැත්නම් බෙග්ට වෙන එකෙක්ගෙ සිංදු දාන්න කියලද?”

ජුවල් නැඟලා තියෙන්නෙ දැන් සුමනෙට. වෘත්තීය සමිතිකාරයන්ට තද වෙනවා ටක් ගාලා. ඔවුන්ට තියෙන බලය පේනවානෙ ජෝසප් ස්ටාලින්ගෙන්. ලෙනින්ට බලයක් තිබුණෙ නෑ එච්චර.

“මං කිව්වෙ බැරිද සුමනෙ අයියා, මේකට හොඳ ගායකයෙක් ගෙන්නලා සජීවීව ගායනා කරවන්න.”

“කවුද කවුද උඹ ගෙන්නන්න කියන්නෙ”

සුදා මැද්දට පැනලා ගුණෙයාට දෙනවා උත්තර.

“නෑ, මං කිව්වෙ….?”

තෙපර බානවා ගුණේ. තෙපර බාද්දි දුන්නෙ උත්තරේ සුමනෙ.

“උඹ කියන්නෙ කසිප්පු අඩියක් ගහලා උඹට දෙන්න කියලද”

“නෑ, මට පු`එවන් ඕකට දේශපාලනඥයෙක් ගෙන්නන්න.”

ගුණෙයා දන්නවාද දේශපාලනඥයො ගැන? නොදන්නවා වෙන්න බෑ. අයිස් ගහන අයියලා ඉන්න එකේ කසියා ගහන අයියලා නොඉඳීද?

ඒත් ගුණෙයාගේ උත්තරේ අහන්න ලැබුණෙ නෑ මට. මහවැස්සක් ඇද හැලෙන්න ගත්ත ගමන් විසිරිලා ගියා කට්ටියම. මාත් ගියා ආපහු හැරිලා ගෙදර. ගෙදර ගිහින් ඇඳට වැටුණු මගෙ ඇස් පියවුණා එක තත්පරේට. ඒ තත්පරේ මං දැක්කා හන්දියේ මහා කැරකෙන කූඩු රාජයා ඉස්සරහ ඉදිකරපු වේදිකාවේ සිංදුවක් කියනවා අපේ ජනාධිපතිතුමා! නෑ. දැන් ඉන්න එක්කෙනා නෙවෙයි, හිටපු එක්කෙනා. ඔව්, හිටන් කිව්වා සිංදු එක්ක වාද බයිලයක්!

● රවීන්ද්‍ර විජේවර්ධන
ravi7761@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment