ගෙම්බෝ!

“මැච් තුනෙන් දෙකයි පැරදුණේ. මෙන්න මුන් කෑගහනවා. මුන් ක්‍රිකට් කෑවා කියනවා! ක්‍රීඩා ඇමැති ගෙදර පල! කියනවා. ෂම්මිට ගෙදර පල! කියනවා. ෂම්මි 16 ක් සිටියා. තවත් ඉන්න බෑ එයාට!”

මහ සද්දයක් ගේ ඇතුළෙ. මං බැලුවා කවුද කෑගහන්නෙ කියල. කෑගහන්නෙ හරින්. කන්fදාස්කිරියාවේ ඉන්න බැරි හින්දා මං චැනලය මාරු කළා. එතනත් සද්දයක්:

“කවුද අයිපීඑල් ගියේ? ඔයා මැච් බැලුවාද? හරි, ඔයා බලන්නකො ඊළඟ මැච් අපේ. මොකද වර්ල්ඩ් කප් එකක් එනවා ළඟදිම. තව අවුරුදු දෙකකින් වර්ල්ඩ් කප්. අන්න එතකොට බලන්න අපේ පර්ෆෝමන්ස් කොහොමද කියල. හැබැයි ඔය එක එක සමාජ මාධ්‍යකාරයන්ට ඕන විධියට නම් අපි ගහන්නෙ නෑ!”

ඇහිබැම බාලා කනේ ඇබ ගහගත්තු බුවෙක් කෑගහනවා. කවුද බුවා කියල බැලුවාම දැක්කෙ අපේ වනිඳු කියල. කොන්ද කැඩිලා ඉන්න ගමන් අතපය දික් කරන හිඟන්නන්ට සල්ලි දෙන්න අකැමැති හින්දා මං මාරු වුණා තව චැනලයකට. ඒත් එතනත් සද්දෙ. ඒ සද්දෙ දාන්නෙ හිටන්.

“මේ මනුස්සයාට විරුද්ධව ජපන් තානාපතිතුමා වෙනම ෆයිල් එකක් ගෙනාවා අල්ලස් ඉල්ලුවා කියල. පස්සෙ ජනාධිපතිතුමා මෙයාව ඇමැතිකමෙන් එලෙව්වා. මෙන්න, ආයෙත් කොහොමහරි එතෙන්ටම රිංගගත්තා මෙයා. මේ මනුස්සයාගේ ඇත්ත පැටිකිරිය කිව්වොත් දුවන්න පාර මදි වෙයි. හොඳ වෙලාවට දුවන්න වෙන්නෙ නෑ. මිනිහා නිදි පාර්ලිමේන්තුවේ.”

මං ටීවි එක වහලා දැම්මා. බඩගින්නක් දැනුණා මට හොඳටම. කුස්සියට ගිහින් පිඟාන අරන් බත් ටිකක් බෙදාගත්තා. ඒත් බලද්දි වෑංජන් තිබුණෙ නෑ. මං බත් පිඟාන තියලා ආවා එළියට. වහින්න වගෙයි ආයෙත්. වැහි බීරම ඉවර වෙන්නෙ නෑ. වැහි ලිහිණියො ලයිට් කම්බියේ වහලා වෙල් යායේ. මං ගියා කාමරේට. තීන්ත ඉවර වෙච්ච නිසා පෑනෙ අතරමඟ අත්හැරදාපු කතාව මේසෙ උඩ. කතාව ලියනවාද තව? ලියන්න ඕනද පේන දේ ඇහැට? ලියන දේ පේනවා නම් ලියන එකේ තේරුමක් නෑ. කියවනවාකො පොතක්. ඔය තියෙන්නෙ පුස්තක. ස්වර්ණ පුස්තක නවකතාව අතට ගත්තත් කියවන්න හිතුණෙ නෑ. පුස්තක පුස්තකම තමයි. නවකතාවලට නෙවෙයි සම්මාන දීලා තියෙන්නෙ. පුස්තකවලට. මං ආවා ඉස්තෝප්පුවට. ඒත්! හාන්සි පුටුවේ වාඩි වෙලා හිටි කෙනා දැක්කාම බිරන්තට්ටු වුණා මං. දෙයියනේ! අර්ජුන රණතුංග ඇමැතිතුමා! එතුමා ගෙදරටම ඇවිත්. ඡන්දෙ ඉල්ලනවාද ආයෙත්? නෑ, ජාතික ලැයිස්තුවෙන්නෙ එතුමා එන්නෙ. දෙවරක් ඇහි පිහදාලා බැලුවා මං. එයාම තමයි! කොණ්ඩෙ සුදු වෙලා තියෙන තරමට හඳුනගන්නත් බෑ එකපාර.

“ඇමැතිතුමා!”

මං පිළිගත්තා සරම පල්ලෙහාට දාලා.

“ඇමැතිතුමා නම් නෙවෙයි දැන්. ඒත් ඉස්සර මේ පළාතේ එද්දි මං මෙහෙට ගොඩවදිනවා. මගේ අම්මාත් ගෝනගලනෙ.”

අර්ජුන මහත්තයා කියා සිටියා. එතුමා කිව්ව සිද්ධිය මතක් වුණා මට. දවසක් කාරෙකේ හුළං බැහැලා එතුමා ආවා අපේ ගෙදර. අපේ තාත්තා හොඳ මැකෑනික් කෙනෙක්. මිදුලේ තිබුණෙම කාර් කෑලි. පුවක් කෑලි වගේ ගලවලා කාර් කෑලි. පුවකුත් නෑ දැන්. පුවක් ගෙඩිත් ගණන් උස්සලා.

“මං ආවේ තමුන්නාන්සේගේ ලිපිය කියවලා. ඒ ලියපු කතාව හරියට හරි. තවමත් ලෑස්තියි මං ක්‍රිකට් බාරගන්න. මේවා හදන්න නම් ඔබතුමන්ලා වගේ මාධ්‍යවේදියොන්ගෙ සහයෝගයත් අපට ඕන වෙනවා.”

අතහැරලා නෑ තවම අර්ජුන. මෙන්න නියම නායකයො! දෝනිලා, වනිඳුලා මොක්කුද මේ එක්ක! ඒත් මේ වෙලාවේ මොකක්ද කරන්නෙ යන්නෙ එතුමා?

“මේකයි, මං පොතක් ලියන්න යනවා. හුඟක් දේ තියෙනවා කියන්න මට. ඉතින් ඔබතුමාගේ රයිටින් ස්ටයිල් එකට කැමති නිසා මං කැමතියි ඔබතුමා ලවා මගේ කතාව ලියවාගන්න.”

මං බැලුවා උඩ බිම? ජනාධිපති තාත්තා ලියන්න කැමති නෑ මං. එහෙම කෙනෙක් වෙන්න බෑ මට. මං කැමති මං වෙන්න. අර කපුටු කාක් වගේ. බැරි වැඩ නොකරං අබරෝ! එහෙම කිව්වා නම් මොකෝ ගෝටා ගෝට එතුමා. ඒත් කිව්වෙ නෑ. නොකිව්ව නිසා ලිව්වා පොරොන්දු ඉටු කළා කියල. වැඩක් වුණාද? ගහපු මිනිහාටත් වැඩක් නෑ. ගැහුවේ කවුද හැබෑට පොත? සීනි සල්ලිද? කොටි සල්ලිද? මැණික් සාමිගේ සල්ලි මල්ලෙ සල්ලිද?

“මං කැමතියි වැඩේට. මොකද මං හරි ආදරෙයි අර්ජුන මහත්තයාට.”

මං කිව්වා එතුමාට. කිව්වාට වඩා කියවුණා. අර්ජුන මහත්තයා සරම හරිබරි ගහලා කථා කළා:

“මහත්තයාවත් ඇමැතිතුමාවත් කියල මට කියන්න එපා මල්ලි. මං කැමතියි සහෝදරයෙක් වගේ කථා කරනවා නම්. මටත් හොඳට සහෝදර කැක්කුම් තියෙනවා. ඒකනෙ අපේ මලයෙකුට වරාය දුන්නෙ.”

ඇත්ත තමයි අර්ජුන අයියා. ඒත් මොකක්ද අයියාට කියන්න තියෙන්නෙ?

“මල්ලි, දැන්මම මං මේ කියන කතාව ලියාගන්න. මොකද මේ වැඩේ කල් අදින්න බෑ.”

ඇහුන්කම් දුන්නා මං අර්ජුන අයියාට. ඇත්ත, කල් අදින්න බෑ. මැතිවරණයක් කොයි වෙලේද කියන්න බෑ. විශ්වාස කරන්න බෑ මෙයාව. මං කාමරේට ගිහින් සටහන් පොත අරගෙන ආවා. පෑනක් නම් තිබුණෙ නෑ. පෑනෙ තීන්ත ඉවර වෙලා.

“මෙන්න මේකෙන් ලියන්න!”

අර්ජුන අයියා දික් කළා පෑන. රත්තරන් පෑනක්. රත්තරන් කුසලානයක් ගෙනාපු අතින් දෙන පෑන කොච්චර වටිනවාද?

“හරි, කතාව කියන්න.”

මං කියා සිටියා. ඇස් කන්නාඩි දෙක ඇහේ දාගත්තු අර්ජුන අයියා පුටුවේ අයිනෙ තිබුණු ෆයිල් එකක් පෙරළමින් කථා කළා:

“මෙන්න මං ළඟ ඔක්කොම වාර්තා තියෙනවා. මේ බලන්න, දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එකට රුපියල් මිලියන අටසිය හැත්තෑපහක් වියදම් කරලා. සූරියවැවට මිලියන පන්දාස් නවසීයක්. ඛෙත්තාරාමෙ ජිම් එකට ගාණ ඇහුවොත් පුදුම වේවි….”

අර්ජුන අයියා කථා කරපු වේගෙ වැඩියි. ඒත් හෙමින් කියන්න කියල කියන්න බෑ හිටපු ඇමැතිතුමෙකුට. මං කනට ඇහුණු දේ ලිව්වා.

“මට ඕන ක්‍රිකට් හදන්න. මට සූදු නෑ. රේස් දුවන අශ්වයො නෑ. හිටපු ක්‍රීඩා ඇමැතිතුමාට මේක ගොඩනැඟීමේ ආසාවක් තිබුණා. ඒත් ඒ මනුස්සයාව එළවලා දැම්මා මෙයාලා. මං දන්නෙ නෑ දැන් මිනිහා මොනවා කරනවාද කියල. පේන්නෙ නම් තවම එයාත් ක්‍රිකට් ගැන කථා කරනවා. ඒත් එයාට බෑ මං යන තැනට යන්න. මං යන තැනට ආවොත් ඕන නම් පොඩි පුටුවක් දෙන්නම්. අර අරවින්දට දුන්නා වගේ. ඒත් සිංහාසනේ වාඩි වෙන්නෙ මං.”

අර්ජුන අයියා වතුර වීදුරුවක් බිව්වා. ආයෙත් කථා කළා.

“මේ ළමයි පළවෙනි ටෙස්ට් කැප්ටන් කවුද කියල දන්නෙ නෑලූ. හොඳටම විශ්වාසයි එයාලා මාව දන්නෙත් නෑ. ඒත් එයාලා විතරක් නෙවෙයි, මෙයාලාත් දන්නෙ නෑ මං ගැන. මං හිටියේ කොහේද, මං ආවේ කොහෙන්ද කියල මොනවත් දන්නෙ නෑ මෙයාලා.”

කතාව හැරෙව්වා එතුමා වෙන පාරකට. හරවපු පාර මටත් පැටලුණා.

“මෙයාලා කිව්වේ?” මං විමසුවා.

“ඇයි මල්ලි, හිටන්තුමා නිකන්වත් කියනවාද මං ගැන? මං හිටියෙත් ඔය ඩාලි පාරෙ තමයි. අපේ තාත්තලා, තාත්තාගේ තාත්තලා ඔක්කොම හිටියේ ඩාර්ලි පාරේ මූලස්ථානෙ.”

දැන් අර්ජුන අයියා කන්නාඩි දෙක ගලවලා. ලේන්සුව අරන් මුහුණ පිහදාලා ආයෙත් බැස්සා එතුමා කතාවට.

“මට මේ පොත ඉක්මනටම එළියට දාන්න ඕන. මොකද තැටිය නිවුණාට පස්සෙ රොටි පුච්චලා වැඩක් නෑ. රොටි පුච්චන්නත් බෑනෙ එතකොට. ඔය මැතිවරණවලින් නම් මට ඇති වැඩක් නෑ. ඒවායෙන් ගියත් යන්නෙ එක තැනකටනෙ. එතන මං හිටියා හුඟක් කාලයක්. ඔන්න ලොකු පුටුවට යන්න තිබුණා නම් මං යනවා එතනට. ලොකු පුටුවට යන්න අවස්ථාවකුත් තිබුණා. ඒක ගැස්සුණේ අර සිකනලා නිසා. අන්තිමේ සිකනලාටත් වැඩක් වුණේ නෑ ඒකෙන්. මටත් වැඩක් වුණේ නෑ.”

අර්ජුන අයියාට තව තිබුණා කථා කරන්න. ඒත් ඒකට අවස්ථාවක් පෑදුණේ නෑ ඊළඟට වෙච්ච දෙයින්. අපේ ගේ ඉස්සරහා පාරේ ක්රාරාරා….ස් ගාලා වාහනයක් නතර කළා. බැලුවා මං වාහනයක් හැපුණාද කියල. වාහනයක් නෙවෙයි ඒ, වීඑයිට් එකක්. ඒකෙන් බැහැලා ආවේ තවත් දැකලා පුරුදු කෙනෙක්. මාස්ක් බෙදපු වජිර ඇමැතිතුමා.

“මං මේ බැලුවා මගේ වැයික්කියට ඇවිල්ලා ඉන්නෙ කවුද කියල!”

මාස්ක් වජිරතුමා කථා කළා.

“මං මේ ආවේ හදිස්සියේ වෙන ගමනක් යන ගමන්. අපේ රජතුමා තමුන්නාන්සේට ඇවිත් හම්බෙන්න කියල පණිවුඩයක් දුන්නා. ඒක කියන්නයි මං මේ තකහනියක් ආවේ.”

ඇමැතිතුමාගේ කතාවට අර්ජුන අයියා හිනාවුණා.

“අනේ! මට ඔය ක්‍රීඩා ඇමැතිකම නම් එපා. ක්‍රිකට් එකේ උන්දැලා නැති කරන්න බලයක් තියෙනවා නම් මං ඔය ධුර භාරගන්නවා.”

මාක්ස් වජිරතුමා පෙරළා හිනාවුණා. එතුමා කිව්වා මෙහෙම ඊළඟට:

“නෑ. ඒක දෙන්න විතරක් නෙවෙයි කථා කරන්නෙ. ක්‍රිකට් එක සම්පූර්ණයෙන් අතට දෙන්න.”

ඒ කතාව ඇහුණා විතරයි, අර්ජුන අයියා නැඟිට්ටා.

“මල්ලි, වැඩේ ටිකක් පස්සට දාමු!”

වීඑයිට් එකට ඇතුල් වෙලා වීදුරුව ඇරපු අර්ජුන අයියා උත්තර දුන්නා.

මහපාරට බැහැලා හිටපු මං ආපහු ගෙදර ආවා. සාලෙ දිහාවෙන් මහ ගෝරනාඩුවක්. මං බැලුවා ඇතුළට ගිහින් කවුද මේ කෑගහන්නෙ කියල. බලද්දි බස් මාමා ටීවී එකේ. මේ එතුමාගේ සද්දෙ:

“අරෙයා ලාහට ගෙම්බො එකතු කරනවා. ඒවා හරියන්නෙ නෑ පුතෝ. මං මේ පුතාණෝ. ප්‍රේමදාසගේ පුතා!”

● රවීන්ද්‍ර විජේවර්ධන
ravi7761@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment