මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

149

පුරාජේරු

මම මං ගැන කථා කරනවා වැඩියි කියල ඊයේ පාරෙදි හම්බුණු මනුස්සයෙක් මට චෝදනා කළා. මං ඒ චෝදනාව පිළිගන්නවා. මං හොඳ පුරාජේරුකාරයෙක්. මං ගැන පාරම් බාන්නෙක්. මමංකාරිකයෙක්. කවුරුහරි කියනවා නම් ඒක වරදක්, ඒක හදාගන්න කියල මං ඒක කරන්නෙ නෑ. මොකද මගේ කෙරුවාව කාටහරි ඇදබානකොට මට සනීපයක් දැනෙනවා.

මේ ලෝකෙ රජ්ජුරුවො මමය, මං තරම් දුර ගිය මිනිහෙක් නෑය, මෝඩ, පෘථග්ජන මිනිසුන් දැනුවත් කිරීම මා මත පැවරුණු දේව කාරියක්ය කියල මට නිතර හිතෙනවා. ඇත්ත වශයෙන් මට පැවරුණු මෙලෝ දේව කාරියක් නෑ. මං රජෙක් තියා රජගෙදරවත් දැකලා නෑ. නෑ, නෑ, එක පාරක් දැක්කා. ඒ, රජගෙදර ස්විමිං පූල් එකේ බල්ටි ගහපු දවසෙ. එදා ඒකෙ නාපු අනික් උන් වගේම මමත් රජ්ජුරුවන් ගේ සිංහාසනේ වාඩි වුණා. ඒ පුරාජේරුව නම් හැබැයි මං කොතැනකවත් දෙසන්නෙ නෑ. මොකද මට මේ යකා විශ්වාස නෑ.

මට මතකයි මං ඉස්කෝලෙ යන වයසෙදි මගේ අම්මා රට ගියා. ඈ ගියේ මැදපෙරදිග ගෘහ සේවයට. ඇත්තම කියනවා නම් බාබා ගේ බල්ලා නාවන්න. ඒත් මං යාළුවන්ට කිව්වෙ අම්මා එංගලන්තෙ පැලස් එකක සෙකට්‍රි කෙනෙක් විධියට වැඩ කරනවා කියල. මොකක්ද පැලස් එක කියල ඇහුවා නම් මං කියන්නෙ බකින්හැම් මාලිගාව කියල. ඒත් මගේ දුප්පත් යාළු මිත්‍රයො මාලිගාව ගැන ඇහුවෙ නෑ. මොකද ඔවුන් මල්වානෙ මාලිගාව ගැනවත් විශ්වාස කළේ නෑ. ඒ වුණත් ඔවුන් එකක් කිව්වා: “යකෝෟ උඹ මොනවාද මෙහෙ කරන්නෙරෑ පලයන්කො එංගලන්තෙ පදිංචියට.” මං ඒකට උත්තර දුන්නෙ “අම්මාට අපිව එක්ක ගිහින් මහරැජිනගේ රාජකාරි කරන්න බෑ බං” කියල.

මං පත්තරකාරයෙක් විධියට වැඩ කළ විත්තිය තමුන්නාන්සේලා දන්නවා ඇතිනෙ. දැන් පත්තරේක නැති විත්තියත් දන්නවා ඇතිනෙ. ඒත් කවුරුහරි මට “ආ… කර්තෘ මහත්තයා” කියල නිකමටවත් ඇමතුවොත් මං ඒ ඇමතූ කෙනාට පිළිතුරු දෙන්නෙ මං දැනටත් පත්තරේක ප්‍රධාන කර්තෘකමක් දරන කෙනෙක් විධියට. සමහර වෙලාවට මිනිස්සු මට “මිස්ටර්” කියල අමතනවා. එතකොට මං පෙරළා මිනිහාට “ඕයි” කියල අමතන්නෙ. ඔය දේ මං ඉගෙනගත්තෙ අපේ විශ්වවිද්‍යාලෙ ආචාර්යවරයකුගෙන්. එතුමාට විශ්වවිද්‍යාලෙ ඉන්දැද්දි මහාචාර්ය පට්ටමක් තිබුණා. ඒ හින්දා හැමෝම ඔහුට “ප්‍රොෆෙසර්” කියල කථා කළා. විශ්වවිද්‍යාලෙන් විශ්‍රාම ගියාම ඔහුට සම්මාන මහාචාර්ය පදවියක් ලැබුණෙ නෑ. ඒ හින්දා සමහරු එතුමාට නම කියල කථා කරන්න ගත්තා. අන්න එතකොට මිනිහාට මාරාවේශ වුණා: “ඕයි! හරියට කථා කරනවා, මං ප්‍රොෆෙසර්!”. එවගේම එතුමා හැම විටම තමාට පෙර රට ඉස්සරහාට දැම්මා. “මේ්ක බුදුන් වැඩිය රටක් ළමයිනේ. අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක, එච්චරම කල් තිබුණු භාෂාවක්, ශිෂ්ටාචාරයක් ග්‍රීසියටවත් තිබුණේ නෑ.” එතුමාගේ ඔය දේශනාව මං මට අහම්බෙන්වත් සුද්දෙක් හම්බුණොත් ඌට දානවා. ඒ දාන්නේ බෙහොම ආඩම්බරෙන්. ආඩම්බරෙන් දාලා අන්තිමේ ටිප්එක ඉල්ලනවා උගෙන් දෙකට නැමිලා.

මට බලපෑවේ අපේ මහාචාර්යතුමා. මට බලපාපු තව කෙනෙක් ඉන්නවා. ඒ, අපේ බාප්පා. බාප්පා කාලයක් කවුන්සිලේ වැඩ කළා. එක්තරා අරගල කාලෙකදි එයාගේ ගේයි කාර් කාරෙකයි පිච්චුවා. ඒ වෙලාවේ බාප්පා කවුන්සිලේ කතාවක් කළා. ඒක අහන්න වටින කතාවක් : “මං බෙන්ස්වලින් ආවේ අද ඊයේ නෙවෙයි. අපට තියෙන්නෙ පරම්පරාවෙන් ආපු බූදල්. මට ඔය පුච්චපු ගෙට අමතරව නුවරඑළියෙත් බංගලාවක් තියෙනවා. ස්විට්සර්ලන්තෙ ඇපල් වතු තියෙනවා. ජෝර්දානෙ නැව් තියෙනවා. මාව සීලිමෙන් බිමට වැටුණෙත් ස්විට්සර්ලන්තෙ මගෙ එක බංගලාවක ඉන්දැද්දි. ඉතිං අපේ ගෙවල් පුච්චලා, වාහන පුච්චලා අපිව එළවන්න හිතනවා නම් ඒවා බොරු මහත්තයෝ!”

ඔය කතා බාප්පා කිව්වාට බාප්පාගේ වත්කම මං දන්නවා. බාප්පා කවුන්සිලේට ඡන්ද ඉල්ලුවේ අපේ තාත්තාගෙනුත් සල්ලි ඉල්ලගෙන. කවුන්සිලේට ගියාට පස්සෙ බාප්පා තාත්තා අමතක කළා. ඒක වෙන බාප්පලා නොකරන දෙයක්. අපේ බාප්පා තාත්තා එක්ක තාත්තලා ගේ මහගෙටත් නඩු කියාගත්තා. රහසක් කිව්වොත්, ඔය පුච්චපු බාප්පාගේ ගෙයි උළුවහු, ජනෙල්, ලීබඩු, තරප්පු පේළි ඔක්කොම හදලා තියෙන්නෙ අර රක්ෂිතේ ගස්වලින්. මං ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. මොකද බාප්පා මං ගරු කරන පුද්ගලයෙක්. මට ආභාස වුණු පුද්ගලයකුට අපහාස කරන්න හොඳ නෑ. ඒ හින්දා බාප්පා හිටපුවාවේ. මම මං ගැන කථා කරන්නම්.

මගේ ජීවිතේ ගැන කියන්න කිසි සුන්දර දෙයක් නෑ. කවදාවත් මගෙ ජීවිතේ සුන්දර වෙලා නෑ. සුන්දර වෙයි කියල හිතන්නෙත් නෑ. මං කුඩා කාලේ ඉඳලා ජීවත් වුණේ ඉච්ඡාභංගත්වයකින්. හිතපු කිසි දෙයක් ලැබුණෙ නෑ. ලොකු දෙයක් හිතුවෙත් නෑ. හිතුවේ පාඩුවේ ඉන්න. සැහැල්ලු හුස්මක් අරගෙන අතපල්ලෙන් නොවැටි ඉන්න කාගෙවත්. දඬුකඳක අහු නොවී ඉන්න කෝරළේ මහත්තයාගෙ. වංචාකාරයන්ට, හොරුන්ට, ඊර්ෂ්‍යාකාරයන්ට හසු නොවී ඉන්න. ඒත් ඒවා මොන බොරුද? ලෝකය මායාවක් කියල අහලා තියෙන බව සැබැයි. ඒත් ලෝකෙ මවලා තියෙන්නෙම මිනිහාව උගුලට හසු කරන්න කියල මං කවදාවත් හිතුවේ නෑ. ඉතිං අන්න එතැන ඉඳලයි පුරාජේරුව පටන්ගත්තෙ.

මං දැන් හොඳකාරව දන්නවා මට කවදාවත් මං හසු වෙලා ඉන්න දඬුඅඬුවෙන් ගැලවෙන්න බෑ කියල. මොන රස්සාව කළත් ඒකෙන් ගෙදර උන්ට කන්න, අඳින්න දෙන්න බෑ කියල. පොතක් පතක් මිලට ගන්න බෑ කියල. මටත් තිබුණා සුද්දෝධන රජ්ජුරුවන්ගෙ පුතාට අපහාස කරන්න, ලයිට් – එන්ලයිට්න් පැහැදිලි කරන්න, ලබ්බෙ තොයිලයක් නටන්න. ඒත් මං එච්චර පජාති වුණේ නෑ. මං පජාති වෙන්න කැමතියි. ඒත් පජාති වෙලා බඩට මොනවත් ලැබෙන්නෙ නෑ. සාක්කුවට ගානක් වැටෙයි. සමහර විට රට පැනගන්නත් හැකි වෙයි ඕවා කියල. ඒත් බඩ හිස්. දැන් ඉස්සර අපේ හැම ටවුමකම හිඟන්නො හිටියා. මේ පේමෙගේ පියා ඒ පේමෙ ඒ දවස්වල හිඟන්නන්ට කොලණිත් හැදුවා. ඒත් හිඟන්නො අඩු වුණේ නෑ. දැන් තත්ත්වෙ කොහොමද? දැන් හිඟන්නෙ නැති එකෙක් සොයාගන්න බෑ. ජනාධිපතිතුමාගේ ඉඳලා පහළටම අපි හිඟනවා. ඒ වැරහැලි ඇඳගෙන නෙවෙයි, ටයි කෝට් දාගෙන. ඒ හින්දා හිඟන්නො කියල හඳුනගන්නත් බෑ. ඒත් මේ මහත්තුරු වගේ පේන මහත්තයෙක්ගෙන් “ප්ලේන්ටියක් ගහමුද?” කියල අහන්න. අන්න එතකොට දැනගන්න ලැබෙයි මේ මහත්තයෙක්ද, හිඟන්නෙක්ද කියල. ඉතිං මේ මුළාවේ ඉන්නවාට වඩා හොඳයි මගේ අතීතය ගැන පාරම්බාන එක. මට පාරම්බාන්න තරම් අතීතයක් නෑ. ඒත් මං කැමතියි ඒ නැති දේ ඔජ වඩන්න.

දැන් මං කවදාවත් ක්‍රිකට් ගහලා නෑ. වයිට් බෝල්, නෝ බෝල් හඳුනන්නෙ නෑ. ඒත් මං කවුරුහරි ක්‍රිකට් ගැන ඇහුවොත් කැරම් බෝල්, යෝකර් බෝල්, දුස්රා බෝල්වල ඉඳලා ඩී.ආර්.එස්. සිස්ටම් දක්වා හැම එකක් ගැනම හොල්මන් වෙන්න කියා දෙනවා. “ඕවා මට කජ්ජක්ද? ඉස්සර මං ටැමිල් යුනියන් ගැහුවා මුරලිලා එක්ක” කියල පත බේගලුත් ඇදබානවා. එතනින් නතර වෙන්නෙ නෑ, පාරෙ කොල්ලො ක්‍රිකට් ගහද්දි අම්පයර් වැඩේ කරන්නත් දායක වෙනවා. ඒකට නම් පොඩි ගතමනාවක් ගන්නවා සිගරට්ටුවක් අදින්න. හැබැයි ඒ මොන දේට එකතු වුණත් මං එක දේකට කොච්චර කථා කළත් එකතු වෙන්නෙ නෑ. ඒ, ක්‍රිකට් බෝඩ් එකේ ඡන්දෙකට ඉදිරිපත් වෙන්න. මොකද මං සූදු කෙළලා නෑ. සූදුවට මං කැමතියි. ඒත් මං කෙළපු හැම සූදුවක්ම කෙළවර වුණේ අතේ පිච්චියට කෙළවිලා. මට අනික බිස්නසුත් නෑ. මං කරපු එකම බිස්නස් එක පොත් ලියපු එක. ඒකත් රට වැටුණයින් වැටිලාම ගියා. දැන් මං වෙබ් පිටුවල දකිනවා මගේ පොත් හොරට ගහලා විකුණනවා පොත් වෙළෙන්දො. එකෙක් රෑට යහපාලනය ගැන කථා කරනවා ටීවී එකේ, දවල්ට කතුවරුන්ට නොදන්වා පොත්වල අලුත් මුද්‍රණ පළ කරනවා පරණ මුද්‍රණ අංකයෙන්. මං ඕවාට දැන් සැලෙන්නෙ නෑ. ජීවිතේ හැටි එහෙම තමයි. හොරු එක්ක හෙළුවෙන් නාට්‍යයක් නෙවෙයි, ජීවිතය. ඉච්ඡාභංගත්වය, පුරාජේරුව පැනනඟින්නෙ ඔහොම තත්ත්වෙක තමයි.

මට හිතෙන්නෙ අද අපි හැමෝම අනුන් ගැන නෙවෙයි, අපි ගැන හිතන්න ඕන. අපි ගැන පාරම්බාන්න ඕන. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. මොකද අපට කවදාවත් මේ යන පාරෙ හීන හැබෑ කරගන්න බෑ. කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා. ඒත් ඒක හැබෑ වෙන්නෙ නෑ. එතකොට මොකක්ද ඒ මනුස්සයා කරන්න ඕන? හොරට අනුන්ගෙ වෛද්‍ය සභා ලියාපදිංචි අංකයක් පාවිච්චි කරලා බෙහෙත් සාප්පුවක් අරින එකද? නැත්නම් රුසියානු වෛද්‍ය උපාධියක් මට තියෙන්නෙ, ඇමරිකානු බලපෑම නිසා රුසියානු උපාධියට මෙහෙ දොස්තරකම කරන්න බෑ කියල බේගලයක් ඇදබාන එකද? මං හිතන්නෙ මේ දෙවෙනි එක හොඳයි. මොකද අර මුල් එක මෙහෙ කරන එක ටිකක් අවදානම්. මොකද හැම තැනම පාවා දෙන්නො ඉන්නෙ. මතකනෙ සුදුකොඩි! සිකනලා. කලවැද්දා. උරුලෑවා….

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment