මේ මගේ කතාව – සිහියෙන් ලියූ සටහන්

168

අලුත් පරපුර

හවස්වතේ ටිකක් ඇහැ පියාගන්න හිතනකොටමයි ගෙදර ටෙලිපෝන් එක නාද වුණේ. කථා කළේ ලේඛකයෙක්. අලුත් ලේඛකයෙක් කියල හඳුන්නලා දුන්නෙ. “ඔබතුමාව සම්බන්ධ කරගන්න හුඟක් මහන්සි වෙන්න වුණා. කීප දෙනෙකුට කියල අන්තිමේ නොම්මරේ හම්බුණා,” ඔහු කියා සිටියා. මොකක්ද කථා කරන්න කාරණය? “මට ඔබතුමාව මගෙ පොඩි වැඩකට සම්බන්ධ කරගන්න ඕන. ඒකයි කථා කළේ.” ඔහු තමාගේ වැඩේ විස්තර කළා: “මගෙ අලුත් නවකතාව ලබන සතියේ එළිදක්වන්න කටයුතු කරගෙන යනවා. පොත දොරට වැඩුමෙදි ඔබතුමා නවකතාව ගැන කථා කරනවා නම් මං කැමතියි.” මිනිස්සු දක්ෂ දේවල් තියෙනවා, අදක්ෂ දේවල් තියෙනවා. ඒත් දේශනවලට මං දක්ෂ නෑ. දේශනයක් කළොත් මං කථා කරන්නෙ මාතෘකාවට අදාළව නෙවෙයි. එතනදි මං කතාව නතර කරන තැන දන්නෙත් නෑ. ඉතිං ලේඛකයාගේ ඉල්ලීම මං කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒත් ඔහු පසුබෑවේ නෑ.

ඔබතුමාගේ කතාව මට ඕනමයි. මේක සහෝදර ලේඛකයකු වෙනුවෙන් කරන උදව්වක් විධියට සලකන්න.” අන්තිමේ මං ලේඛකයාගේ දේශනය පිළිගත්තා. ඔහු දුරකථනය තියන්න කලින් මං එකක් විමසුවා: “කවදාද එතකොට මට පොත එවන්නෙ?” මොහොතක් නැවතුණු ඔහු මගෙන් මෙහෙම ප්‍රශ්න කළා: “මොන පොතක්ද ඔය අහන්නෙ?” “ඇයි දේශනයට කලින් මං තමුන්නාන්සෙගෙ පොත කියවන්න ඕනනෙ,” මං ඇසුවා. “නෑ. පොත කියවලා නම් දේශනය කරන්න ලැබෙන එකක් නෑ,” ඔහු ගත් කටටම කිව්වා. “ඒ මොකද?” ටික වෙලාවක් ගත් ලේඛකයා කිව්වෙ මෙහෙම දෙයක්: “ඇත්තටම තවම මං පොත ලියනවා.” මොකක්ද ඒ කුණුහරුපෙ! පොත ලබන සතියෙ එළිදක්වනවා, ඒත් තවම ලියනවා! “මේකයි. මේ පොතේ දොරට වැඩුමට සංචාරක ඇමතිතුමා සහභාගි වෙනවා. එතුමා 15 වෙනිදා රට යනවා. ඊට පස්සෙ එතුමා අල්ලගන්න ලැබෙන්නෙ නෑ.

මොකද ලබන මාසෙ ඡන්දෙ තියනවා කියල ආරංචියි,” ලේඛකයා කතාව දිගහැරියා. ඒත් ඇමතියාගෙයි පොතෙයි අතර සම්බන්ධය මොකක්ද? “මං මේ රටකට යන්න පොඩි උත්සාහයක් දරනවා. ශිෂ්‍යත්වයක් කියල යන්නෙ. ඒත් ශිෂ්‍යත්වෙකට වඩා ඕන කරන්නෙ ඇමතිතුමාගේ අනුග්‍රහය.” අලුත් ලේඛකයාගේ කතාව ඇහුවාම මට දුක හිතුණා. ලේඛකයා ගැන නෙවෙයි, අපි ගැන. ඇයි අප්පා අපට මෙච්චර මොළයක් නැති වුණේ! ඒ විතරක් නෙවෙයි, අවුරුදු ගණන් පොතකට මහන්සි වෙන හැම ලේඛකයෙක් ගැනම මට දුක හිතුණා. අලුත් ලේඛකයා ගැන ලොකු ආඩම්බරයක් දැනුණු හින්දා මං ඔහුට පොරොන්දු වුණා නොවරදවා පොත් දොරට වැඩුමට සහභාගි වෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, දුරකථනය තියන්න කලින් මං ඔහුගෙන් ගුරුමුෂ්ටියකුත් ඇහුවා. ඒ, දොරට වැඩුම ඉස්සෙල්ලා දාගෙන පස්සෙ පොත ලියන්නෙ කොහොමද කියල. ඔහු ප්‍රවීණයි වගේම නිහතමානීයි. ඔහු හංගන්නෙ නැතිව මට ගුරුමුෂ්ටිය දුන්නා: “ලියලා ඉවර කරන ඉවර කරන කොළේ ප්‍රෙස් එකට යවන්න. පොත ලියලා ඉවර වෙද්දි පොතත් මුද්‍රණය වෙලා ඉවරයි එතකොට.”

ලේඛකයාගේ කතාව ඇහුවාට පස්සෙ මගේ නිදිබර අතුරුදන් වෙලා තිබුණා. නින්ද කැඩුණාට මොකද කරන්න වැඩක් හිතාගන්න බැරි වුණා. මං පොතක් අතට අරගෙන ඉස්සරහ අඹ ගහ යටට ගියා. එහි ලොයි බංකුව උඩ වාඩි වෙලා හුඟ වෙලාවක් පොතේ පිටු පෙරළුවා. ඒත් පොත කියවීමේ ආසාවක් ආවේ නෑ. කියවීමේ ආසාව අලුත් ලේඛකයා සුන්නද්දූලි කරලා. මං කියවනවා වෙනුවට පොතේ පිටකවරේ තියෙන බහුබූත චිත්‍රය දිහා බලාගෙන සිටියා. කවුද මේ චිත්‍ර ශිල්පියා? කොපියක් වගේ පේන්නෙ. කොපි නරක දෙයක් නෙවෙයි. අර කොපි චැට් කොපි වෙන්නෙ. යන යන තැන කොපි චැට්! එකම නළු නිළි සෙට් එක රවුමෙ යනවා. මොනවා වුණත් අලුත් පරම්පරාවේ නියම වැඩකාරයො ඉන්නවා. කොපියෙ කප්පිත්තො ඉන්නෙ! මං පොත් කවරය දිහා බලමින් ඉද්දියි මං දිහාට කොල්ලෙක් සැපත් වුණේ ජංගම දුරකථනයක් අරගෙන.

“අංකල් පොත් කියවනවා නේද?” ඔහු දුරකථනයට කොටන ගමන් ඇහුවා. කවුද මේ ළමයා? මං බැලුවා කවුද කියල. කොල්ලෙක් විතරක් නෙවෙයි, කෙල්ලෙකුත් ඉන්නවා. කෙල්ලෙක්ද කොල්ලෙක්ද මන්දා! කොණ්ඩෙ කොටට කපලා, ඩෙනිම් කලිසමක් ඇඳගෙන හිරට හිර. හැබෑට කවුද මොවුන්? මේ ගෙදරට පුතාගේ යාළුවො ඇර වෙන කවුරු එන්නද? මං වැඩි ප්‍රශ්න නාහා මෙහෙම කිව්වා: “ඉස්සර නම් පොත් කියෙව්වා. දැන් කියවන්නෙ නෑ.” “කමක් නෑ. ඉස්සර කියෙව්වානෙ,” කොලුවා දුරකථනයට අත යවන ගමන් කථා කළා. ඔහු ආපු කාරණේ ඊළඟට පැහැදිලි කළා: “අපි කියවීම ගැන යූටියුබ් එකකුයි ටික් ටොක් එකකුයි කරනවා. මට අංකල්ගේ වොයිස් කට් එකක් ගන්න පුළුවන්ද ඒකට?” මොකක්ද මේ කියන්නෙ? මට පැහැදිලි නෑ. පැහැදිලි ‘වොයිස් කට්’ කියන වචනෙ විතරයි. ඉතිං මං ඔහුට අර ලේඛකයාට දුන්නු උත්තරේම දුන්නා: “මං සාහිත්‍යය ගැන කථා කරන්න දන්නෙ නෑ පුතා.” කොල්ලා එක්ක සිටි කෙල්ල ඒ ගමන ඇගේ ජංගම දුරකථනය මා දිහාට යොමු කළා. “මේ බලන්න අංකල් අපේ යූටියුබ් චැනල් එක.” ඇය ජංගම දුරකථනය හරස් අතට හරවලා එහි යන ටෙලිනාට්‍යයක් මට පෙන්නුවා. එහි ලස්සන නිළියක් රඟපානවා. “කවුද මේ නිළිය?” මං අහද්දි කොල්ලා මා දිහා උපහාසයෙන් බැලුවා. “මේ ඉන්නෙ මෙයා අංකල්. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මෙයා තමයි යූටියුබ් ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කරන්නෙ. මං එඩිටින් ඇන්ඩ් ප්‍රඩියුසින්. මේකෙ නම මතක තියාගන්න, ‘පොත් ගුල්ලි’.” පොත් ගුල්ලොන්ට අමතරව පොත් ගුල්ලියොත් ඉන්නවාද? මං පොත් ගුල්ලි දිහා බැලුවා. ඇත්තටම ලස්සන කෙල්ලෙක්. ඇයි මෑට ගුල්ලියක් කියන්නෙ? ඒ නම මෑට ඔබිනවාද? සමහර විට මොල්ලියක් තියෙන්න පුළුවන් ඔළුවෙ. මටත් මොල්ලියක්ද වගේ මොකක්ද පේනවා ඔළුවෙ. “ඔය ගොල්ලො ඉතා හොඳ වැඩක් කරන්නෙ. ඔය විධියට දිගටම කරගෙන යන්න,” මං තරුණ ජෝඩුවට කිව්වා. ඒත් ජෝඩුව තෘප්තිමත් බවක් පෙනුණෙ නෑ. “අංකල් අපට වොයිස් කට් එක දෙනවාද?” කොල්ලා ආයෙත් ප්‍රශ්න කළා. මේ මොන මළඉලව්වක්ද! යකෝ! මගේ ගෙදර මට නිදහසේ ඉන්න බැරිද! මට කේන්ති ගියේ අපේ එකා එක්ක. අන්තිමේ මං ඇහුවා “මොකක්ද මං කරන්න ඕන?” කියල. උත්තර දුන්නෙ කෙල්ල: “අංකල්ගෙන් මං ප්‍රශ්නයක් අහනවා. අංකල් මෙයාගේ අතේ තියෙන ෆෝන් එක දිහා බලාගෙන උත්තර දෙන්න.” “හොඳයි අහන්නකො බලන්න,” මං මගේ මනාපය පළ කළා. ඒගමන කෙල්ල මට පොඩ්ඩක් ඉන්න කියල ගේ ඇතුළට ගියා. ගෙයින් එළියට ආවේ නිළියක්. ඩෙනිම වෙනුවට අලුත් ගවුමක් සහ මූණට වෙස් මුහුණක් දාගෙන. මට මුලින් හඳුනගන්නත් බැරි වුණා. ඒත් ඔළුවෙ මොල්ලිය හින්දා අඳුනගත්තා.

නිළිය ෆෝන් එකට කොණ්ඩෙ වනලා, නටලා, රඟපාලා මං කැමතිම පොත මොකක්ද කියල මං දිහාට හැරිලා ඇහුවා. මං යකා බැඳගන්නයි යන්නෙ කියල මට තේරුණා. ඒත් දැන් යකා බැඳගෙන ඉවරයි. බැඳගත්තු බෙරේ ගහනවා ඇරෙන්න කිසිවක් ඉතිරි වෙලා නෑ. මං මෙහෙම උත්තර දුන්නා ටෙලිෆෝන් එකට: “මං ළඟදි පොතක් කියෙව්වෙ නෑ. ඒත් හුඟ කාලෙකට උඩදි කියවපු පොතක් තියෙනවා.” “මොකක්ද ඒ පොත?” පොත්ගුල්ලි විමසුවා. මං විස්තර කළා: “ඒ තමයි ‘සන්නස්ගලගේ ප්‍රශ්න පත්තර හොරකම.’ ඒකට මං හුඟක් කැමති ඒකෙ ලියවෙන කෙනාටයි ඒක ලියපු කෙනාටයි මං හුඟක් කැමති හින්දා.” “කවුද ඒක ලිව්වෙ?” පොත්ගුල්ලි ඇහුවෙ පොත්ගුල්ලියක් අහන්නෙ නැති ප්‍රශ්නයක්. “දළදා වහන්සේට ගෙඩියක නමක් දීලා නිරපරාදෙ සිරගෙට ගියපු මහාචාර්යතුමා මතකද?” පොත්ගුල්ලි මගෙ උත්තරේට අහස පොළොව ගැටලන්න වුණා. ඒ ගැටලන අතරේ මං කථා කරගෙන ගියා: “ඒ පොතේ ඒ දෙන්නාම හොරකමක් ගැන කියනවා. හුඟක් මහන්සි වෙලා ඒක කියන්නෙ. ඒත් ඒගොල්ලො දන්නෙ නෑ හොරාගෙ කරේ පුහුල් අළු ගෑවිලා කියල.” මං මගෙ උත්තරේට අමතර ටිකකුත් එකතු කළා. ඒක ටිකක් විතර අහපු ප්‍රශ්නෙට පිට උත්තරයක්. ඒකට කරන්න දෙයක් නෑ. මං මුලදිම කිව්වානෙ මං කථා කරන්න දන්නෙ නෑ කියල. මෙන්න මගේ එකතු කිරීම:

“අපි ජීවත් වෙනකොට අපට සමහර වෙලාවට හොරකම් කරන්න වෙනවා මිත්‍රවරුනි. අපට බලු වැඩ කරන්න වෙනවා. තක්කඩිකම් කරන්න වෙනවා. තුප්පහිකම් කරන්න වෙනවා. ඒත් අපි බුදුහාමුදුරුවො නෙවෙයි, අපි පට්ට තක්කඩි, ගෙරිබල්ලො, පල්හොරු කියල අමතක කරන්න එපා මොහොතකටවත්. ඒක අමතක කරලා අපි සුදනො, සමාජ අරගලකාරයො, විප්ලවයේ පෙරගමන්කරුවො විධියට පොත්වල හරි, ෆේස්බුක්වල හරි, යූටියුබ්වල හරි චංපචං දාන්න ගියොත් ඒක සීතාම්බරපටක් වෙනවා සිකුරුයි. තුන් මාසයක් හිරේ තැපපු අර ලබ්බෙ තොවිලෙට හරි, සැරින් සැරේ කටුසු පාට වෙනස් කරන රැවුලෙන් ඕෂෝ වෙන්න යන ප්‍රශ්න පත්තර හොරකමේ පියාට හරි ඒක තේරෙන්නෙ නැත්නම් ඒ ගැන කනගාටුයි. අර කුණුහබ්බ කියන අංගනේ හිමියො ගැනත් කනගාටුයි බොහොම. කනගාටුයි කියන්නෙ අනුකම්පාවයි කියල නෙවෙයි, ළඟ ඉන්නවා නම් කණ පැලෙන්න ගහනවා ගොබ්බයින්ට.”

මං මගේ කතාව කෙටියෙන් ඉවර කළේ මං පොතෙන් පිට යනවා කියල දැනිච්ච නිසා. ඒත් මගේ කතාව පොත්ගුල්ලියි ගුල්ලිගෙ කොල්ලායි එච්චර සතුටෙන් ගන්නවා මට පෙනුණෙ නෑ. ඒත් එකක් ගැන මට සතුටුයි: අපේ අලුත් පරම්පරාව පොත් ගැන සෑහෙන උනන්දුයි.

රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment