මේ ලොක්ඩවුන් කිරීමෙන් වෙන සෙතක් නැහැ… මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී. එම්. එම්. බාලසූරිය

174

මෙහෙම ලොක්ඩවුන් කර කොවිඞ් ආසාදිතයන් අඩුකර ගැනීම සිදුකළ නොහැකි යැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී. එම්. එම්. බාලසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා* පැවසීය.

 පසුගිය වතාවේ මෙන් මෙවර ද රට ලොක්ඩවුන් කර ඇතත් මරණයට බියක් දැනෙන, කිසිවක් කරකියා ගත නොහැකි පිරිස් නිවෙස්වලට වී සිටින බවත් යමක් කමක් කරගත හැකි පිරිස් මාර්ගවල ගමන් කරන බවත් බාලසූරිය මහතා කීවේය.

 එම නිසා මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක ලොක්ඩවුන් කිරීම තවදුරටත් දීර්ඝ කිරීම පළක් නොමැති බවත්, එය තවත් දීර්ඝ කරනවා නම් කොරෝනා රෝගීන් අඩුකර ගැනීමට හැකිවන ලෙස දැඩි සංචරණ සීමාවන් ඇතිව දීර්ඝ කළයුතු බවත් ඔහු කීවේය.

 රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහෝමයකට අවම සේවක සංඛ්‍යාව කැඳවා ගන්නා ලෙසට උපදෙස් දී ඇතත් එය පිළිනොපදින බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සිදුකරන ලද නිරීක්‍ෂණවලදී පෙනී යන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

 විශේෂයෙන් මෙවර කොවිඞ් ව්‍යාප්තිය දෙස බැලීමේදී මීට පෙර නිවසකින් එක් අයුකු හෝ කිහිපදෙනකු ආසාදනය වීමක් දක්නට ලැබුණත් මේ වන විට එම නිවෙස්වලට ආසන්න නිවෙස්වලින් ද ආසාදිතයන් වාර්තාවීමක් දක්නට ලැබෙන නිසා වාතය මගින් රෝගය පැතිරීමේ ප‍්‍රවණතාවයේ වර්ධනයක් පවතිනවාද යන්න සැක මතුවන බව ද ඔහු කීය.

 එම නිසා මේ අවස්ථාවේ අපේක්‍ෂිත ආකාරයට රට ලොක්ඩවුන් කිරීමක් සිදු වී නොමැති නිසා මහජනතාව විසින් හෝ ස්ව කැමැත්තෙන් තමන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට කැපවන ලෙස ඉල්ලා සිටීමට සෞඛ්‍ය අංශවලට සිදුවී තිබෙන බව ද බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment