මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් සෝමාලියෙවත් වෙන්නෙ නෑ!

400

කාංචන තවත් අභියෝගයක් නෙමෙයි…!
සටන පටන් ගත්තේ දැන්… විදුලි බිල අඩු කරනවා…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ එදා වේල සරිකරගත් සාමාන්‍ය ජනතාවට විදුලි බිල ඉහළ නැංවීම හමුවේ සිදුවූයේ කබලෙන් ළිපට වැටීමටය. එහෙව් තත්ත්වයක් තුළ විදුලි බිල ඉහළ නැංවීම අනීතික බවත් ඊට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන බිල අඩු කිරීමට කටයුතු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

විදුලි බිල ඉහළ දැමීමේ අර්බුදකාරී තත්ත්වයත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගත් ඇතුළු ගැටලු ගණනාවත් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මුණගැසුනෙමු. පහතින් පෙළගැසෙන්නේ එහි සංක්‍ෂිප්තයකි..

ප්‍රශ්නය – ඔබතුමා දිගින් දිගටම කිව්ව දෙයක් තමයි විදුලිබිල වැඩිකරන්න දෙන්නෙ නෑ කියල. ජනතාව ඔබව විශ්වාස කළා. ඔවුන් හිතුව ඔබ සෘජු තීරණ ගන්න නායකයෙක් කියල. හැබැයි ඔබතුමා විදුලිබිල වැඩිකරන දවසෙ හැමෝටම හොරෙන් රට පැන්න. ජනතාව දැන්නම් කියන්නෙ ඔබ හොඳ නළුවෙක් කියල…

පිළිතුර – විදුලිබිල වැඩිකරන්න තීරණය කරල තිබුණෙ 15 වැනිදා. අපි ඒ තීරණය 14 වැනිදා ගත්ත. ඒ තීරණය අරගෙන ඒකට මගේ අත්සන දාල, අනෙක් සාමාජිකයන්ගෙ අත්සන ගන්න කටයුතු යොදල තමයි මම ගියෙ. ඒක සාධාරණ තීරණයක්. මම පැනල ගියා කියන එක බොරු කතාවක්. ඒක දේශපාලන අධිකාරිය ගොතපු කතාවක්. මම ගියෙ මගේ පෞද්ගලික කාරණයකට. මහපාරේ වෙන මංකොල්ලයක් වගේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා විසින් දේශපාලන බලපෑම්වලට යටත්වෙලා නීතියට පටහැනිව මම අත්සන් කරල ගිය තීරණය වෙනස් කළා. ඒ අනුව තමයි මේ අතිවිශාල විදුලිබිල වැඩිවීම සිදුවුණෙ. කවුරු හරි හිතනව නම් මේක ඉවරයි කියල. ඒක වැරැදියි. මේ පටන්ගත්ත විතරයි.

ප්‍රශ්නය – ඔබතුමා කියන විදිහට මේ වෙනුවෙන් අවංකව පෙනී හිටිය නම් ඔබතුමාට හිතුණෙ නැද්ද මේ රටේ සිද්ධවෙන දේවල් එක්ක ඔබතුමාගේ තීරණයට අත්වෙන ඉරණම ගැන?

පිළිතුර – නැහැනෙ. නීතිය වෙනස් වෙන්න බෑනෙ. නීතිය වෙනස් කරන්න බෑනෙ. හැබැයි දැන් නීතිය උල්ලංඝනය කරල තියෙනව. නීතිය අනුව යම්කිසි දෙයක් වෙද්දි ඊට පිටින් කිසි දෙයක් වෙන්න බැහැ. අනෙක් සාමාජිකයන් මේ ගත්ත තීන්දුව නීතියට පටහැනියි. නීතියට උල්ලංඝනය කර ගත්ත ඒ අනීතික තීරණ ගැන නීතියේ පිහිට ලබාගන්න බලාපොරොත්තු වෙනව.

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමා අධිකරණය හමුවට යනවා කියන එකද?

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඒ අධිකරණ ක්‍රියාමාර්ගයට යන්නෙ කොමිසම විදිහට ද? නැත්නම් පෞද්ගලිකව ද?

පිළිතුර – කොමිසම පැත්තෙන් යන්න බැහැ. මොකද කොමිසම නමින් නීතිය ඉදිරියට යනව නම් මේ සාමාජිකයන් සියලු දෙනාගෙම එකඟතාව ඕන. මේ වෙලාවෙ අනෙක් සාමාජිකයන් මට විරුද්ධව ඉන්නෙ. ඒ නිසා මේ නඩු කටයුතු කරන්නෙ මගේ පෞද්ගලික වියදමින්.

ප්‍රශ්නය – මේක ස්වාධීන කොමිසමක්නේ….

පිළිතුර – නෑ… මේක දැන් ස්වාධීන කොමිසමක් නෙමෙයි. දේශපාලන බලපෑම් නිසා ඒ ස්වාධීන බව නැත්තටම නැතිවෙලා ගිහින්. ඒක නැවතත් ඇතිකරලීමේ ක්‍රියාදාමයට තමයි මම යන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමාට ඇයි බැරිවුණෙ අනෙක් සාමාජිකයන් ඔබේ තීරණයට එකඟ කරගන්න…?

පිළිතුර – පසුගිය මාස දෙක ඇතුළත මේකෙ සාමාජිකයන් දෙන්නෙක් අස්වුණා. ඒ අස්වුණේ දේශපාලන මැදිහත්වීම නිසා. කැබිනට් මණ්ඩලයෙ තීරණයට අපි එකඟවුණෙ නැති නිසා මේ සාමාජිකයන් දෙන්නට ආපු දේශපාලන බලපෑම්වලට මුහුණදෙන්න බැරිවුණා. ඊට පස්සෙ අලුතෙන් දාපු සාමාජිකයන් දැම්මෙ දේශපාලන වුවමනාවන්ට. එක සාමාජිකයෙන් ඇවිල්ල දවස් දෙකයි. එයා කොහොමද දන්නෙ විදුලිබිල වෙනස්වීම ගැන. විද්‍යානුකූලව කරන කටයුත්තක් ගැන දවස් දෙකට කලින් ආපු සාමාජිකයො දන්නෙ කොහොමද? සුමාන දෙකකට පෙර ආපු සාමාජිකයන් දන්නෙ මොනවද?

ප්‍රශ්නය – ඔබතුමාට විශ්වාසයක් තියෙනව මේ වැඩිකළ විදුලි බිල ආපසු හරවන්න පුළුවන් වෙයි කියල…?

පිළිතුර – ඔව්. මට විශ්වාසයක් තියෙනව. මේ ගණනය කිරීම් විදුලිබල මණ්ඩලයෙන් කරල තියෙන්නෙ යම් යම් උපකල්පනයන් මත. පසුගිය සුමාන දෙක ඇතුළත විදුලිබිල වැඩිවීමෙන් පස්සෙ විදුලි ඉල්ලුම යන්නෙ අපි ගණනය කරපු ආකාරයට.

ප්‍රශ්නය – ඔය දේවල් අතරෙ නැවතත් විදුලිබිල වැඩිකරන්න ඕන කියන කතාවකුත් ඇහෙනව…

පිළිතුර – දැන් ඇමැතිවරයා කියන්නෙ අවුරුද්දට දෙපාරක් විදුලිබිල වැඩිකරන්න ඕන කියලනෙ. ඒක මහජන උපයෝගීතා කොමිසම කිව්වෙ 2017දි. ඒක තමයි ක්‍රමවේදය. මම නම් හිතන්නෙ ජුලි වෙද්දි මේ අය කරන්න හදන්නෙ විදුලිබිල අඩුකරන්න. මිනිස්සු විදුලිය පාවිච්චි කරන්නෙ නැත්නම් අනිවාර්යයෙන්ම අඩුකරන්න වෙනව. ඊට කලින් මම නීතිය ඉදිරියට ගිහිල්ල මේ ක්‍රමවේදය වැරැදියි, නීතියට පටහැනියි කියල ඒ ගැන නීතියෙ අදහස අරගෙන කටයුතු කරනවා.

ප්‍රශ්නය – ඔබතුමා මේ පනත ගැන ලොකු අවබෝධයක් සහ ඒ ගැන දැඩි විශ්වාසයකින් කතාකරනව. එච්චර පනත ගැන විශ්වාස ඔබතුමාට ඇයි බැරිවුණේ පනතට අනුව මේ දේවල් වළක්වාගන්න….? ඔබට එහෙම බැරි නම් ඒ දේවල් ගැන මාධ්‍යය ඉදිරියට ඇවිත් රටටම කිව්වෙ…?

පිළිතුර – ජනතාව හිතාගෙන ඉන්නෙ විදුලිබල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට තමයි තීරණය කරන්න හැකියාව තියෙන්නෙ කියල. කැබිනට් මණ්ඩලයෙන් කිව්වම අපට දෙසැම්බර් මාසයෙ 75%කින් විදුලිබිල වැඩිවෙනව කියල කොමිසමේ සියලුම සාමාජිකයන් ඒකමතකිව තීන්දු කළා කැබිනට් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ඒක රජයට කරන්න බෑ කියලත් ඔප්පු කළා. මෙතැන වුණේ කැබිනට් තීරණයම විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ල දේශපාලන අතකොළු වුණු අලුත් සාමාජිකයන් දාගෙන අනීතිකව කටයුතු කිරීම. අනීතිකව තීරණය අරගෙන කොමිසමේ ලේකම්වරියයි, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ගෙන්වල ජනාධිපති කාර්යාලයට මේ දේශපාලනඥයන් ඉදිරියේ ‘ගහන්න අත්සන’ කිව්වට පස්සෙ ඒ අය මොනව කරන්නද?

ප්‍රශ්නය – ඔබ එහෙම දෙයක් වුණා කියන්නෙ වගකීමෙන්ද?

පිළිතුර – වගකීමෙන් කියන්නෙ. මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් සෝමාලියෙවත් වෙන්නෙ නෑ.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ බලහත්කාරකමක් වුණා කියල ද?

පිළිතුර – ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව, කොමිසමේ ස්වාධීනත්වයට විරුද්ධව මේ වගේ තත්ත්වයක් ඇතිවීම මට වළක්වන්න පුළුවන්ද?

ප්‍රශ්නය – ඔබතුමා ආණ්ඩුවට මේ විදිහට චෝදනා කරද්දි, ආණ්ඩුව ඔබතුමාට චෝදනා කරනවා ජනක රත්නායකත් යම් යම් තීන්දු තීරණ ගත්තෙ කොමිසමේ සාමාජිකයන්ගේ පූර්ණ එකඟතාව නැතිව කියල. සමහර දේවල් සූම් එකෙන් ගත්ත කියල චෝදනා කරනව.

පිළිතුර – මම කවදාවත් සූම් එකෙන් කරන රැස්වීම්වලට කැමැති නෑ. මම කැමැති ඔක්කොම කට්ටිය ඇවිල්ල කතා කරනවට. එහෙම සූම් මීටින් එන්නෙ අනෙක් සාමාජිකයො. මම මෙතන්ට ඇවිල්ල අවුරුදු දෙකක් වෙනව. ඒ අවුරුදු දෙක ඇතුළත ගත්ත තීරණ හැම එකක්ම ඒකමතකයි.

ප්‍රශ්නය – එහෙම නම් විෂයභාර ඇමැති කංචන විජේසේකර මොනවද මේ කියන්නේ…?

පිළිතුර – මොන විෂය භාර ඇමැතිවරයා ද?

ප්‍රශ්නය – විදුලිය භාර ඇමැති….

පිළිතුර – එයාට අයිති විදුලිබල හා බලශක්ති. මහජන උපයෝගිතා කොමිසම එයාට අයිති නෑ.

ප්‍රශ්නය – ඇයි එහෙම නම් කංචන විජේසේකර ඇමැතිතුමා ඔබව දැඩි ලෙස විවේචනය කරන්නේ…? අපිට නම් පේන්නේ මේක නයි – මුගටි වෛරයක් වගේ…

පිළිතුර – මම තීරණය ගන්නෙ මෙතන ඉන්න උපදේශකයන්ගෙන් උපදෙස් අරගෙන. ඇමැතිතුමා හැමදාම කතාකරන්නෙ ඔබ කිව්ව වගේ වෛරී ස්වභාවයෙන්. මට නම් එතුමව අභියෝගයක් නෙමෙයි.

ප්‍රශ්නය – ඔබතුමා මාධ්‍ය හමුවකදි කිව්ව හොඳම දේවල් එළියට එන්නෙ මේ සටන දිගටම තිබුණොත් කියල. ඒ සටනින් දැන් කංචන විජේසේකර ඇමැතිතුමා දිනල නේද ඉන්නේ…

පිළිතුර – නෑ එතුමා පරාදයි. මේ විදුලිබිල වැඩි කිරීමත් එක්ක විදුලියේ ඉල්ලුම එතුමා කියපු විදිහට නෙමෙයි යන්නෙ අපි කියපු විදිහට. ඒකනෙ මම නිතර කියන්නෙ මේ ඇමැතිවරයා මේ විෂය දන්නෙ නෑ කියල. ඉදිරියෙදි එතුමට තේරේවි මේ කරපු වැරැද්ද. එතකම් එතුමා දිනල වගේ සතුටු වෙනව නම් ඒ සන්තෝෂය අපි ටික කාලයක් එතුමට විඳින්න දෙමු.

ප්‍රශ්නය – කංචන ඇමැතිතුමා කිව්වෙ ඔබව මේ තනතුරෙන් ඉවත් කරන්න පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා කියල. එහෙම වුණොත් ඔබ ඔය කියන දේවල් කරන්න පුළුවන් වෙයිද?

පිළිතුර – එතුමා ඔය චෝදනා පත්‍රය ගේනවා කිව්වෙ මාස ගාණකට කලින්. මේ පුටුවෙන් මාව අයින් කරන්න පුළුවන් වෙන්නෙ හරි චෝදනාවක් ඇවිල්ල, ඒක ඔප්පු කරල, පාර්ලිමේන්තුවට ගිහිල්ල පාර්ලිමේන්තුවට ගිහිල්ල 113ක් ඕන. මම එතුමට අභියෝග කරනව, ගේන්න චෝදනාවක්. ඔප්පු කරන්න ඒක. අයින් කරන්න මාව.

ප්‍රශ්නය – මේ විදුලිබිල වැඩිවීම නිසා දැඩි අපහසුතාව පත්වෙන්නෙ පහළ මට්ටමේ ආදායම් ලබන පිරිස. ඔබට මේ අයට සුබ පණිවුඩයක් දෙන්න පුළුවන් වෙයිද විදුලිබිල අඩුවීම ගැන…

පිළිතුර -ඔව්, පුළුවන් වෙයි. 2008දිත් මේ වගේ තත්ත්වයක් ඇතිවුණා. මේ විදිහට අඩු ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට වැඩි පිරිවැයක් දැම්ම. එතනදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ගත්තා ඒ තීරණය වැරැදියි කියල. ඒ අයකර ගත්ත මුදල් පාරිභෝගිකයන්ට ආපසු දෙන්න කියල. දැන් මෙතන වෙලා ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 250% වැඩිවීමක් කරල, ඒකක වැඩියෙන් පාවිච්චි කරන අයට ඒක නොකළාම අපි හිතනව ශ්‍රේෂ්ඨාධිකරණයෙදි හරි තීරණය ගනියි කියල. ඊට අමතරව දන්නව ජල විදුලියෙන් අපි නිපදවන ඒකකයට යන්නෙ එැපියල් 3.00යි. ඒ අඩුවෙන් නිපදවන ජල විදුලිය සියලුම පාරිභෝගිකයන්ට ආසාධාරණයක් නැතිව ලැබෙන්න ඕන. ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරල දැන් ඒක විකුණන්නෙ රුපියල් 30.00 විතර. සාධාරණ විදිහට නිපදවන විදුලි බලයේ ප්‍රතිලාභය සියලුම පාරිභෝගිකයන්ට එක සේ ලබාදෙන්න ඕන කියන එක උසාවියෙන් වගේ විදුලිබල මණ්ඩලයෙන් පිළිගෙන තියෙනව. ඒ නිසා තමයි මම මහජනයාට, පාරිභෝගිකයාට යම් බලාපොරොත්තුවක් දෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ මේ විදිහට කටයුතු කරන්නෙ ඔබේ අනාගත පැවැත්මටද? නැත්නම් ඇත්තටම පාරිභෝගිකයන් වෙනුවෙන්ද?

පිළිතුර – මම ව්‍යාපාරිකයෙක්. මාව අයින් කරන්න පුළුවන් වෙන්නෙ පාර්ලිමේන්තුවට විතරයි. මට නැතිවෙන්න දෙයක් නෑ. නැතිවෙලා තියෙන්නෙ ලක්ෂ 50ක් වෙන තමන්ගෙ ජීවිකාව කරගන්න බැරි ජනතාවට තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.

සාකච්ඡා කළේ-
සිරිමන්ත රත්නසේකර
ජායාරූප ප්‍රදීප් සංජීව

advertistmentadvertistment
advertistmentadvertistment