මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ වෙයි – ගිය වසරට වඩා 1.6%කින් අඩුවෙලා

91

මේ වසරේ (2022) පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ දී වාර්තා වූ සියයට 4.0 ක වර්ධනය හා සසඳන විට පසුබෑමට ලක්වෙමින් සියයට 1.6 කින් සංකෝචනය වී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 3,519,921 සිට 2022 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී රුපියල් මිලියන 3,463,101 ක් දක්වා අඩු වී ඇත.

2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශවල වර්ධන වේගයන් පිළිවෙළින් සියයට 6.8ක් හා සියයට 4.7ක් ලෙසින් පසුබෑමට ලක් වී ඇති නමුත් සේවා අංශය සියයට 0.7ක සුළු වර්ධන වේගයක් ළඟා කරගෙන ඇත.

2022 වර්ෂය උදාවත් සමඟ පසුගිය 2020 හා 2021 වර්ෂ පුරා පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගතකළ දුෂ්කර කාල පරිච්ජේදය හේතුවෙන් පසුබැස තිබූ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගලා යමින් පැවතුණු බවත්, එහෙත් අවාසනාවන්ත ලෙස උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවම වීම වැනි සාධකවල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම කාර්තුව තුළදී අපේක්ෂිත ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වූ බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment