මේ වසරේ පළමු මාස නවයේ බදු ආදායම ඩබල් වෙයි

130

මෙම වසරේ පළමු මාස 09 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.

2021 වසරේ පළමු මාස නවය තුළ වූ රුපියල් බිලියන 209.5 ක් ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලපරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ. මේ අනුව වසරේ පළමු මාස නවයේ රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව එම වාර්තාවට අනුව හෙළි වේ.

රජයේ සමස්ත ආදායම 2021 වසරේ පළමු මාස නවය තුළ වාර්තා වූ රුපියල් බිලියන 1,050.8ට සාපේක්ෂව, 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 1,448.5 ක් දක්වා සියයට 37.9 කින් සැලකිය යුතු ලෙස වැඩි වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. එකතු කළ අගය මත බද්ද, සුරා බද්ද, දුම්වැටි මත නිෂ්පාදන බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද යන බදුවලින් ලද ආදායම පිළිවෙළින් සියයට 38.6 කින්, සියයට 32.2 කින්, සියයට 32.6 කින් සහ සියයට 18.7 කින් වැඩි විය.

විකුණුම් හා ගාස්තුවලින් ලද ආදායම 2022 වසරේ පළමු මාස නවය තුළ රු. බිලියන 56.8 ක් දක්වා සියයට 214.6 කින් සැලකිය යුතු ලෙස වැඩි වුණු අතර මහ බැංකුවේ ලාභ පැවරුම්වලින් ලද ආදායම රු. බිලියන 30.0 ක් විය. කුලී ආදායම සියයට 38.6 කින් රු. බිලියන 4.7 දක්වා ද, ලාභ හා ලාභාංශ මගින් ලද ආදායම සියයට 17.0 කින් රු. බිලියන 18.9 දක්වා ද, සමාජ ආරක්ෂණ දායකත්වයන් මගින් ලද ආදායම සියයට 9.6 කින් රු. බිලියන 27.7 දක්වා ද, පොලී ආදායම සියයට 7.6 කින් රු. බිලියන 4.6 දක්වා ද, වෙනත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම සියයට 33.0 කින් රු. බිලියන 22.4 දක්වා ද වශයෙන් අනෙකුත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම ද වැඩි විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment