මේ විරෝධතාවය ජනතාව අන්දන්නද…?

319

මැති ඇමැතිවරුන්ට තමන් නියෝජනය කරන රජය විවේචනය කිරීමේ අයිතියක් තිබේද? යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් විවේචනය කිරීමට සාමාජිකයින්ට හැකිද? ආණ්ඩුව හෝ පක්ෂයක් යම් ආන්දෝලනාත්මක කරුණක් සම්බන්ධයෙන් ගත් තීරණයක් විවේචනය කිරීමට අදාළ ආණ්ඩුවේ පාර්ශවකරුවන්ට හෝ පක්ෂයේ සාමාජිකයින්ට අවසර තිබේද? ඊට පටහැනිව කටයුතු කරන ජනතා නියෝජිතයින්ට එරෙහිව පක්ෂ නායකත්වයට ක‍්‍රියා කළ හැකිද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව කෙරවළපිටියේ පිහිටි යුගදනවි තාප බලාගාරය සහ ගෑස් ඒකාධිකාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ සමාගම සමඟ පසුගිය ජුලි මාසයේ ගිවිසුම් ගතවීමට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරු කණ්ඩායමක් එරෙහි වී ඇත. එම කණ්ඩායමේ විරෝධය මහජන විරෝධතාවයක් දක්වා වර්ධනය වී ඇත.

අවසන් වරට පැවැත්වූ ජනාධිපතිවරණයෙන් වසර දෙකකට පසුව සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පස්වැනි සංවත්සරය මහත් අභිමානයෙන් පැවැත්වීමට පෙර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම තුළ ප‍්‍රබල දේශපාලන බෝම්බයක් පුපුරා ගියේය. එවැනි තත්ත්වයක් ආණ්ඩුවේ ස්ථාවරත්වයට හිතකර නැත.

එවැනි පසුබිමක් තුළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ තීරණයට එරෙහිවීමට ආණ්ඩු පක්ෂයේ කොටසකට තිබෙන අයිතිය ප‍්‍රබල ලෙස ප‍්‍රශ්න කර ඇත. ‘පොහොට්ටු’ පක්ෂය අවධාරණය කර ඇත්තේ ඇමෙරිකානු සමාගම සමඟ ගිවිසුම් ගතවීම දූෂිතනම් එම ගනුදෙනුවට එරෙහිවූ මැති ඇමැතිවරුන්ට තවදුරටත් ආණ්ඩුව තුළ සිටිය නොහැකි බවයි. හිටපු ඇමැති චම්පික රණවක අවධාරණය කරන්නේ රජය තුළ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කළ නොහැකි බවයි. එම ප‍්‍රකාශයද බැහැර කළ නොහැක.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දෙන ගැටලූව අවධාරණය කළේය. රජය විවේචනය කරමින් ආණ්ඩු පක්ෂයේ තවදුරටත් සිටින්නේ ඇයි? අනුරාධපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයා මෙම ප‍්‍රශ්නය මතු කළේ කහටගස්දිගිලිය සිප්පුකුලම ප‍්‍රදේශයේදී යුගදනවි ගිවිසුමට ආණ්ඩුවේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකු විරුද්ධ වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදීය. සේමසිංහ මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ සමස්ත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ස්ථාවරය බව අමුතුවෙන් කිවයුතු නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන තනි විශාලම පක්ෂය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 117 හිමිය. තනි පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සරල බහුතරය එම පක්ෂයට ඇත. අනෙකුත් සියලූම පාර්ශවකරුවන් නියෝජනය කරන්නේ ආසන 28 කි. ආණ්ඩු පක්ෂයේ සමස්ත මන්ත‍්‍රීවරු ගණන 145 කි. ඒ අතර ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු 17 සිටිති. ප‍්‍රධාන පක්ෂයේ ස්ථාවරය පැහැදිලිය. එනම් සියලූම පාර්ශවකරුවන් ඕනෑම තත්ත්වයක් යටතේ ආණ්ඩු පක්ෂය ගන්නා තීන්දු තීරණ සමඟ සිටගත යුතු බවයි. එම ස්ථාවරය ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට ද අදාළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයයි.

එවැනි ස්ථාවරයක් දේශපාලන සන්ධානයක ප‍්‍රධාන පක්ෂයට ගත හැකිද? සාධාරණද? ආණ්ඩුව නියෝජනය කරන සියලූම පක්ෂ වර්තමාන දේශපාලන වාතාවරණය නිසියාකාරව වටහා ගත යුතුය. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ විරෝධතා සම්බන්ධයෙන් නැගූ චෝදනා අතිශය බරපතළය. එම ගිවිසුම සම්බන්ධයෙන් රජය සමස්ත කැබිනට් ක‍්‍රියාවලියම අවභාවිතා කළ බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ කළ චෝදනාව සමස්ත කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට කළ අභියෝගයකි. කැබිනට් ක‍්‍රියාවලිය එලෙස උඩුයටිකුරු කළ හැකිද? ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂයද කැබිනට් ක‍්‍රියාවලිය දූෂිත බවට නැගූ චෝදනාවට නිසි අවධානය යොමු කළ යුතුය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ නොවැම්බර් 2 වන දින පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයට වීරවංශ අමාත්‍යවරයා සහභාගි නොවීය. නමුත් ඔහු නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ එම උත්සවයට සහාභාගි විය. වීරවංශ අමාත්‍යවරයා පෙර යොදාගත් කටයුත්තකට සහභාගී විය. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා තමන් ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමක් ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි ’ ගිවිසුමට එරෙහිව ගත් ස්ථාවරය හම්බන්තොට වරාය වසර 99 බද්දකට යටත්ව චීනයට පැවරීම සමඟ සංසන්ධනය කළේය. අමාත්‍යවරයා අවධාරණය කළේ එදා එජාපය නායකත්වය දුන් ආණ්ඩුවේ (2015-2019) හවුල්කාර පක්ෂ හම්බන්තොට වරාය රටට අහිමි කරන අවස්ථාවේදී සිහින් කෙඳිරියක්වත් නැගුවේ නැති බවයි. එසේ කිරීමටවත් පිට කොන්දක් එම පාර්ශවකරුවන්ට නොතිබූ බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායකයා පෙන්වා දුන්නේ ආණ්ඩු පක්ෂය තුළ යම් ප‍්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට නොහැකිනම් එම කරුණු කාරණා ජනතාව ඉදිරියේ තැබීමේ අයිතිය හෝ අවශ්‍යතාවය එජාපයේ පාර්ශවකරුවන්ට නොතිබූ බවයි.

මේ විරෝධතාවය ජනතාව අන්දන්නද…?

රජයේ තීන්දු තීරණ සහ යම්කිසි කරුණක් සම්බන්ධයෙන් රජය ගන්නා ස්ථාවරයට පටහැනිව කටයුතු කිරීම නිසා අමාත්‍යධුරය අහිමි විය හැකිද? ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට විරුද්ධ වීම වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ගේ අමාත්‍යධුර අහිමි කිරීමට හේතු විය හැකිද? ඔවුන්ගේ විරෝධතා නොසලකා රජය දිගින් දිගටම කටයුතු කළහොත් එම පක්ෂ නායකයින් ගන්නා තීරණය කුමක්ද? අමාත්‍යධුර අතහැරීමට ඔවුන්ට ශක්තිය තිබේද? ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එහි හවුල්කාර පක්ෂද බරපතළ අභියෝගයකට මුහුණ දෙන බව අවධාරණය කළ යුතුමය. වාසුදේව නානායක්කාරගේ නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ එතුමන්ලා පමණය. ජාතික නිදහස් පෙරමුණ කණ්ඩායම ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර එකක් සමඟ හය දෙනෙකුගෙන් සමන්විතය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මුරණ්ඩු නම් පාර්ශවකරුවන්ගේ ප‍්‍රතිචාරය කුමක්ද? ආණ්ඩුවට මාධ්‍ය හරහා පහර දෙනවා හැර වෙන කිසිවක් කළ නොහැකිද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ තම පක්ෂයේ පස්වන සංවත්සරයේදී අවධාරණය කළේ දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පක්ෂ ලොකු වුවත් කුඩා වුවත් මේ කවුරුවත් අපට ඈත් කරන්න බැහැ. එම පක්ෂ අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒ නිසා එදා හිටපු සියලූ පක්ෂ එක ?නට එකට ඉන්න ඕනෑ. නමුත් ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගනුදෙනුව කර ඇති හානිය සුළුපටු නොවේ. මෙහිදී ශ‍්‍රීලනිපය එම කණ්ඩායමට එකතුවීම බරපතළ තත්ත්වයකි. රජයේ තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තුවේ බහුතරය අනතුරේ හෙළීමකි.

ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිනොගන්නා සහ ඊට ප‍්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගන්නා නිලධාරීන්ද දේශපාලන බලධාරීන්ගේ උදහසට ලක්වීම වැළැක්විය නොහැක. රජයේ ‘තියරිය’ අපූරුය. ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගනුදෙනුව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කැබිනට් ක‍්‍රියාවලිය අභියෝගයට ලක් කළ මැති ඇමැතිවරුන් තවදුරටත් රජයේ සිටිය යුතුදැයි ප‍්‍රශ්න කරන කිසිවෙකු වාසුදේව-විමල්-උදය නායකත්වය දෙන කණ්ඩායම රට ඉදිරියේ කළ හෙළිදරව්ව විමර්ශනය කිරීමට බල කරන්නේ නැත. රජයේ කාබනික පොහොර ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් ඉදිරිපත් කළ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්මාන්ත අමාත්‍යංශයෙන් ඉවත් කිරීම පිළිබඳව විමසා බැලිය යුත්තේ රජයේ ක‍්‍රියාමාර්ග සමඟ අනුගත නොවන ඕනෑම අයෙකුට දොර පෙන්වීම වර්තමාන ප‍්‍රතිපත්තිය බව මතක තබාගෙනය.

පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය අපහරණය කරන රටක කැබිනට් මණ්ඩලය බලයේ සිටින කණ්ඩායමට අවශ්‍ය ආකාරයට පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. මාලඹේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට් ) යළි මහපොළ භාරකාර අරමුදලට පවරා ගැනීමට දේශපාලන බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ රටේ ඉහළම උසාවියේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙළිකරන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක අහස පොළොව නුහුලන දූෂණයයි.

ඉතාමත් සූක්ෂම ආකාරයට ‘ස්ලිට්’ රජයේ අයිතියෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම පෞද්ගලික ව්‍යාපාරයක් බවට හැරවීම කැබිනට් මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක කර තිබුණේ එජාපය බලයේ සිටින කාලයේදීය. ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ යොමුකළ සම්පූර්ණ පෙත්සම අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාත‍්‍රන්තවාදය විකෘතියක් බවයි. කැබිනට් ක‍්‍රියාදාමය කිසිදු අවහිරයකින් තොරව අපහරණය කළ හැකි බව පෞද්ගලික අංශය ‘ස්ලිට්’ පැහැර ගැනීම තුළින් පෙන්වා දී ඇත. මූල්‍ය විනය සහ නව නීති හඳුන්වා දීමට වගකියන සහ වගවිය යුතු පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක දුෂණ, වංචා සහ අක‍්‍රමිකතා සීමාවක් නැත. ඇත්තවශයෙන්ම දූෂිත නොවන ප‍්‍රධාන පෙළේ ගිවිසුමක් ස්ථිර ලෙසම හඳුනා ගත නොහැක. මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර ප‍්‍රියදර්ශන යාපා නායකත්වය දෙන පාර්ලිමේන්තු ‘මුර බල්ලන්’ මෙන් ක‍්‍රියාකරන කාරක සභා 2020 අගෝස්තු මාසයෙන් පස්සේ කළ හෙළිදරව් අනුව සමස්ත පරිපාලනයම දූෂිතය. රාජ්‍ය ආදායමට අහිමි කර ඇති ආදායම අදහා ගත නොහැක.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකත්වය ව්‍යවස්ථානුකුලව දරයි. ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි ’ ගිවිසුම පිළිගත් කැබිනට් පටිපාටියට පිටින් ක‍්‍රියාත්මක කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ‘ මෙන්ම විජයදාස රාජපක්ෂ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම විමසා බැලිය යුතු වන්නේ විධායකය ද නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ජනතා අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කරන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමෙනි. ‘යුතුකම’ සිවිල් සංවිධානයේ සභාපති සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ උජාතික ලැයිස්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග ද ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි ’ ගනුදෙනුවට එරෙහිව කඳවුරු බැඳගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාවේ භුමියේ තත්ත්වය පිළිබිඹු කරන නව ව්‍යවස්ථාවක් සඳහා සටනක නිරතව සිටින කුමාරතුංග මන්ත‍්‍රීවරයා වර්තමාන රජයේ ප‍්‍රමුඛතම කාර්ය පොරොන්දු වූ පරිදි ඉටුවේවිදැයි සැකයෙන් සිටී. වර්තමාන දේශපාලන, ආර්ථික සහ ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන කුකුස ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ අර්බුදය නිසා තවදුරටත් වර්ධනය වී ඇත.

‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගනුදෙනුව දූෂිත ද? කැරළිකාර කණ්ඩායමේ චෝදනා පදනම් විරහිතද? මේ බව විමසා බැලිය යුතු වන්නේ ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර සහ චීනයෙන් කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන්ද නැගෙන චෝදනා අවධානයට ලක් කරමිනි. ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු පොහොර ගනුදෙනුවට මැදිහත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරට සහ චීන පොහොර ගැටලූව පිළිබඳව අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සේදරට කර ඇති චෝදනා අදාළ නිලධාරීන් දෙදෙනාම දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර ඇත. ඉන්දියානු ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ පැමිණිල්ලක් මත රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා (‘පොහොර සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට ඥාතිත්වයක් ඇතත් ව්‍යාපාරවලදී කිසිම සම්බන්ධයක් නෑ ‘දිවයින’ නොවැම්බර් 1 දින, හතර වන පිටුව ) තම නිර්දෝෂීභාවය අවධාරණය කර ඇත. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය බදාදා (නොවැම්බර් 30) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. සී . ෆර්ඩිනැන්ඩෝ, එම ආයතනයේම සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග සහ ලෙකෝ සභාපති අතුල ද සිල්වා ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගිවිසුම කිසිදු ප‍්‍රශ්නයකින් තොර බව අවධාරණය කළේය. ආණ්ඩුවේ කණ්ඩායමක් ඊට එරෙහිව නගන චෝදනා ප‍්‍රතික්ෂේප කළේය. නීතිපතිවරයා ද අදාළ ගිවිසුම අනුමත කළ බව ප‍්‍රකාශ විය. රාත‍්‍රී 12 ට පමණ එම ගිවිසුම අත්සන් කිරීමට සිදුවූයේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීම ප‍්‍රමාද වූ නිසා බව ද ප‍්‍රකාශ විය.

මෑතකදී ශ‍්‍රී ලංකාවෙන් පිටව ගිය ඇමෙරිකානු තානාපතිවරිය එලීනා ටිප්ලිට්ස්ගේ මැදිහත්වීම මත අත්සන් කළ ‘නිව් ෆ්‍රෝට‍්‍රස් එනර්ජි’ ගනුදෙනුව රජය තුළ ප‍්‍රබල බෙදීමක් ඇතිකර ඇත. ඊට එරෙහි කණ්ඩායම් අධිකරණයේ පිහිට පතා ඇත. අධිකරණයේ තීරණය කුමක් වුවත් සිදුවූ සිත් බිඳීම් සහ ජනතා විශ්වාසය පළුදු වීම වෙනස් නොවනු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment