මේ වෙලාවේ සුදුසුම ඡන්ද දෙකම වසර දෙකකින් කල් දැමීමයි – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

72

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට අවශ්‍ය යෝජනාවක් පක්‍ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදුසු බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (28දා) පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ රට බංකොලොත් තත්ත්වයෙන් මුදාගෙන ජයග්‍රහණ රාශියක් දිනා ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙලා ජනතාවට සහන ලබාදීලා පරිපාලන ව්‍යුහය ශක්තිමත් බවට පත්කරලා තිබෙනවා. අධ්‍යාපනය යථාවත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා මැදිහත් වෙලා හෝ අනුර කුමාර දිසානායක මහත්මයා මැදිහත් වෙලා තවත් අවුරුදු දෙකක කාලකයට මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතුයි කියලා ප්‍රකාශ කරන්නට කැමතියි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු‍ම මන්ත්‍රීවරුන් එකතුවෙලා මේ තීරණය ගත යුතු වෙනවා.

ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන් පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලන්න තියෙන්නේ මැතිවරණ සිතියම අකුලනවා වගේ කතාවක් නොකියා මේ ක්‍රියාවට ඉඩ දෙන්නට සහයෝගය දක්වන ලෙසයි. පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225දෙනා තේරී පත්වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් තුළයි. ඒ නිසා ඒ තුළ ජනතාවගේ මතය නියෝජනය වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය සහ ජනමත විචාරණය කියන්නේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිද්ධ වෙන කාරණයක් බව සඳහන් කළ යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment