මේ සියවසේ දරුණුම දුම්රිය අනතුර ඉන්දියාවේ

528

මරණ 288ක් ඉක්මවයි
තුවාලකරුවෝ දහස පනී

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා (02දා) රාත්‍රියේ දුම්රිය තුනක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 288 දෙනකු පමණ මියගොස් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

සිකුරාදා රාත්‍රියේ පීලි පැනීමකට ලක්වූ මගී දුම්රියක් යාබද මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම සියවසේදී ඉන්දියාවේ සිදුවූ දරුණුම දුම්රිය අනතුර මෙය වේ. සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

“අනතුර සිද්ධ වෙච්ච වෙලාවේ මිනිස්සු 10 ක් 15 ක් මගේ ඇඟ උඩට වැටුණා. හැම දේම පාලනය නැතිව ගියා. මම හිටියේ මිනිස්සු ගොඩේ යටටම වෙන්න” යැයි දිවි ගලවා ගත් එක් පුද්ගලයෙක් පැවසුවේය.

“මගේ අතටයි බෙල්ලේ පිටිපස්සටයි තුවාල වෙලා තිබ්බා. මම කොච්චි පෙට්ටි යටින් එළියට එනකොට දැක්කා කෙනෙකුගේ අතක් නැතිවෙලා තියෙනවා, තවත් කෙනකුගේ කකුලක් නැතිවෙලා. තව කෙනෙකුගේ මුහුණ විකෘති වෙලා ගිහින්” දිවි ගලවා ගත් පුද්ගලයා මාධ්‍ය වෙත එසේ පවසා තිබේ.

ෂලිමාර් – චෙන්නායි අතර ධාවනය වෙමින් තිබූ කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය ඉකුත් සිකුරාදා ඉන්දීය වේලාවෙන් රාත්‍රී 7.00ට පමණ පීලි පැනීමට ලක්වී ඇති බව විශ්වාස කරන අතර, එහි දුම්රිය මැදිරි කිහිපයක් යාබද මාර්ගයේ නතර වී තිබේ. යස්වන්ත්පූර් සිට හවුරා දක්වා ගමන් කරමින් තිබූ තවත් දුම්රියක් වන හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් – එලෙස පෙරළුණු මැදිරිවල ගැටෙන්නට ඇතැයි සැලකේ.

ඉන්දීය දුම්රිය ඇමැති අශ්වින් වෙයිශ්නව් මහතා උපුටා දක්වමින් අදාළ වාර්තා පෙන්වා දෙන්නේ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවය. එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඉන්දීය දුම්රිය ඇමැතිවරයා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට ‘දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුලු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක් ’ හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවය.

මෙම අනතුරෙන් මියගිය අයකුට රුපියල් දස ලක්ෂයක් ද, තුවාල ලැබූ අයකුට රුපියල් ලක්ෂය බැගින් ද පිරිනමන බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.

1981 දී බිහාර් ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවක් අතරතුර මගී දුම්රියක් පීලිවලින් ඉවතට ගොස් ගඟකට වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 800 ක් මියයෑම මෙතෙක් ඉන්දියාවේ වාර්තා වූ දරුණුතම දුම්රිය ව්‍යසනය ලෙස සැලකේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment