මේ හදන්නේ සීමානිර්ණයෙන් පළාත් මැතිවරණය කල් දාන්න – ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

60

“නවක වධය දඩමීමා කරගෙන දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පොදුජන අරගලයත් එක්ක එකතුවෙලා තියෙන එක නැති කරන්න විශ්වවිද්‍යාල පරිපාලනය ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානම් ඒකෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් හම්බවෙන්නෙ නෑ. දැන් අපිට පේනවා නවක වධය පිටුදැකීම වෙනුවට ආණ්ඩුව අරගලය මර්දනය කිරීමට මේක තමන්ගේ තුරුම්පුවක් බවට පත්කරගැනීමට උත්සහ කරනවා.” ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස එසේ ප්‍රකාශ කළේ නවක වධය සම්බන්ධව මේ වනවිට සමාජයේ ඇතිව තිබෙන කතාබහ සම්බන්ධව අප ඔහු සමග කළ සාකච්ඡාවේදීය. නවක වධය, රජයේ නව බදු ප්‍රතිපත්ති, පළාත්පාලන මැතිවරණය, අයි.එම්.එෆ්. යෝජනා වැනි කරුණු පිළිබඳව ඔහු හා කළ සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් සමාජයේ ඇති වී තිබෙනවා. ශිෂ්‍ය සංගම් ශිෂ්‍ය ව්‍යාපාර කියූ සැනින් ජනතාවගේ ඔළුවට එන්නෙ එහි බලය ඇති ජනතා විමුක්ති පෙරමුණ. නවක වධය වැළැක්වීම සම්බන්ධව ජ.වි.පේ. ට විශාල කාර්යභාරයක් කළ හැකිව තියෙද්දී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නෙ ඇයි ?

පිළිතුර -පළමුවෙන් කියන්න ඕන ජාතික ජනබලවේගය ඉන්නෙ මේ නවක වධය පිටුදැකීම සඳහා කරන්න ඕන ඕනෑම පියවරකට සහය දෙන තැන. අනික ජ.වි.පෙ ට සම්බන්ධ කිසිදු ශිෂ්‍ය ව්‍යාපාරයක් මේ නවක වධයට සම්බන්ධ වෙලා නෑ. පේරාදෙනිය විශ්වවිද්‍යාලය ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක වාර්තා වී තිබෙන නවක වධය සම්බන්ධ සිදුවීම් ඉතාම අමානුෂික ගණයේ සිදුවීම්. ජාතික ජනබලවේගය කිසිදු ආකාරයේ හිංසනයක් අනුමත කරන්නේ නෑ. කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට හෝ ආචාර්යවරයකුට හෝ කාට හෝ අයිතියක් නෑ මානුෂික හෝ ශාරීරික පීඩාවට පත්කරන්න. මේ වෙලාවේ අපි ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් කරුණාකරල ඉල්ලන්නෙ මේ තමන්ගේ සහෝදර ශිෂ්‍යයන් පීඩාවට පත්කරන එක නවත්වන්න. මේ විශ්වවිද්‍යාලවලට එන ශිෂ්‍යයන් බෙහොමයක් ඕන තරම් පීඩාවට පත්වෙලයි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නෙ. සමහරවිට ඔවුන්ගෙ තිබෙන ආර්ථික දුෂ්කරතාවයන් මත, නැත්නම් තමන්ට හොඳ පාසල් නොලැබීම මත දැඩි වෙහෙසකර පීඩාවකට පත්වෙලයි මේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙන්නෙ. එහෙම ආව අයව වධ දීමට ලක්කළාම ඒ අය ජීවිතෙන් පළා යනවා. මේක මානසික පීඩාවක්. ඒ නිසා මේ නවක වධය කරුණාකරල නවත්වන්න. නවක වධයට කිසිදු දේශපාලනයක් සම්බන්ධ කරගන්න එපා.

ප්‍රශ්නය – නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය වහෙන් ඔරෝ කියන දෙයින් හැඟෙන්නෙ මේ නවක වධයට නායකත්වය දෙන ශිෂ්‍ය සංගම් ජ.වි.පෙ. වැනි වාම වාදී පක්ෂවලට අයත් ශිෂ්‍ය සංගම් බව ?

පිළිතුර -අපි විශ්වවිද්‍යාලය පරිපාලනයට කියන්නෙ මේක පිටිපස්සෙ යම් දේශපාලන කණ්ඩායමක් ඉන්නවනම් ඒක මේ වමේ දේශපාලන කණ්ඩායමක්ය අරවා මේවා කියන්නෙ නැතිව ඒ කරන අය කෙළින්ම නම් කරන්න. එතකොට අපිටත් පුළුවන් ඒ ශිෂ්‍යයන්ට විරුද්ධව නීතිමය පියවර අරන් සහය දෙන්න. එහෙම නැතිව නවක වධය දඩමීමා කරගෙන දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පොදුජන අරගලයත් එක්ක එකතුවෙලා තියෙන එක නැති කරන්න විශ්වවිද්‍යාල පරිපාලනය ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානම් ඒකෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් හම්බවෙන්නෙ නෑ. දැන් අපිට පේනවා නවක වධය පිටුදැකීම වෙනුවට ආණ්ඩුව තමන්ගේ තුරුම්පුවක් බවට පත්කරගැනීමට උත්සාහ කරනවා. අපි ශිෂ්‍යයන්ට කියන්නෙ ආණ්ඩුවට පොදුජන අරගලය මර්දනය කරන තුරුම්පුව ඔයාල අතින් ලබාදෙන්න එපා කියල.

ප්‍රශ්නය – රජය නව බදු පැනවීම සඳහා සූදානම් වෙනවා. ඒ ඇතැම් බදු පැනවීම් අධිරාජ්‍යවාදී පාලන කාලයේ ක්‍රියාත්මක වූ බදු අයකර ගැනීම් හා සමානයි. මේ නව බදු ප්‍රතිපත්ති ගැන ඔබේ පක්ෂය දරන මතය කුමක්ද?

පිළිතුර -රජයක් විසින් බදු අය කරගැනීමට අපේ විරෝධයක් නෑ. හැබැයි බදු අයකර ගැනීම කියන්නෙ මල් නොතලා රොන් ගන්න ඕන වගේ වැඩක්. හැබැයි මේ ක්‍රියාත්මක කරන්න හදන බදු ක්‍රමයෙන් වෙන්නෙ මලක් තලල පොඩි කරල ඒකෙ සාරය උරා බොනවා වගේ වැඩක්. දැන් රටේ පවතින උද්ධමනය අනුව රුපියල් ලක්ෂයක් පඩි ගත්ත කෙනාගේ ඒ ලක්ෂයේ වටිනාකම රුපියල් තිස්දාහයි. එතකොට මේ ආණ්ඩුව කරන්නෙ රුපියල් තිස් දාහක් ගන්න කෙනාගෙන් බදු අයකර ගන්නවා වගේ වැඩක්. අනික මේ විදියට බදු ගැහීමෙන් වෙන්නෙ රජයට එකතු කරගන්න පුළුවන් බදු ආදායමත් නැතිවෙන එක. ඊළඟට වෙන්නෙ මිනිස්සු පීඩාවට පත්වෙලා මහා දේශපාලන කැළඹීමක් ඇතිවෙන එක. ඒ නිසා අපි දකින්නෙ මේ බදු ප්‍රතිපත්තියෙන් රටේ නිෂ්පාදනයට වැඩක් වෙන්නෙත් නෑ. රටේ ජනතාවට සුගතියක් වෙන්නෙත් නෑ. රජය මේ කරන්නෙ අයි.එම්.එෆ්. එක ඉදිරියේ ලකුණු දාගන්න කරන වැඩක්. ඒ නිසා මේ බදු ගැහිල්ලට අපි විරුද්ධයි.

ප්‍රශ්නය – රටට ඩොලර් නැති අවස්ථාවේ තේ, රබර් වැනි අපනයන බෝග සහ අපනයන භාණ්ඩ මත සියයට තිහක බද්දක් පැනවීමට සැරසීම මොන වගේ බළපෑමක් එම ක්ෂේත්‍ර කෙරෙහි ඇතිකරයිද?

පිළිතුර -මේකෙන් වෙන එකම අහිතකර බළපෑම තමයි එම සියයට තිහ අපේ අපනයන භාණ්ඩවල මිලට එකතු වුණොත් ලෝක වෙළෙඳපොළේදී එම භාණ්ඩවල මිල ඉහළ යනවා. එහෙම වුණොත් එම භාණ්ඩවලට තිබෙන ඉල්ලුම අඩු වෙලා අපට එයින් ලැබෙමින් පැවති ඩොලර් ටිකත් අහිමි වෙනවා. ඒකෙන් මේ පවතින ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කිරීමට බලපානවා. එහෙම නොවී අපේ අපනයනකරුවා භාණ්ඩවල මිලට එම සියයට තිහ එකතු නොකර ඒක තමන්ගේ වියදම්වලින් කප්පාදු කරන්න ගියොත් ඒක කරන්න වෙන්නෙ සේවකයන් අඩු කරලා. නැත්නම් සේවකයන්ට ගෙවන වැටුප් අඩු කරල වගේ ක්‍රමවලින්. ඒ නිසා දෙපැත්තෙන් කොයි පැත්තට බලපෑම් ආවත් මේ අවසානයේ ආර්ථිකයට බළපෑම් ඇති කරන දෙයක්.

ප්‍රශ්නය – එසේනම් මේ අවස්ථාවේ රජයට කළ හැකි දේ කුමක් කියලද ඔබලගේ යෝජනාව ?

පිළිතුර -අපි මේ මුහුණ දෙන අර්බුදය කියල කියන්නෙ ප්‍රධාන වශයෙන් ඩොලර් නැති අර්බුදය. අපිට ඩොලර් තියෙනවනම් ඊට සාපේක්ෂව රුපියල් අච්චු ගහන්න පුළුවන්. ඩොලර් හොයන්න වෙන්නෙ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වේගවත් කරල. එහෙමනම් මේ වෙලාවෙදි රජය කළ යුතු වන්නෙ අපේ අපනයනකරුවන් දිරිමත් කිරීමයි. ඉන්න අපනයනකරුවන් වගේම නව අපනයනකරුවන් ක්ෂේත්‍රයට කැඳවීමයි කරන්න ඕන. සියයට තිහක බදු ගැහිල්ලෙන් වෙන්නෙ ඉන්න අපනයනකරුවනුත් අධෛර්යමත් වෙනවා. අපනයන ක්ෂේත්‍රයේ වැඩකරන අයටත් වැටුප් ප්‍රශ්න මත වැඩ කරගෙන යන්න අමාරු වෙනවා.

ප්‍රශ්නය – අයි. එම්. එෆ්. නිර්දේශ අනුව ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවාය කියා රජය දැඩිව ප්‍රකාශ කරනවා. මේ තීරණය ගැන පක්ෂය මොනවගේ මතයකද ඉන්නෙ ?

පිළිතුර -මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පෞද්ගලීකරණය නමින් ක්‍රියාදාමයක් දියත් වුණේ ජේ. ආර්. ජයවර්ධන යුගයේ ඉඳන්මයි. යම් කිසි රාජ්‍ය ආයතනයක් හෝ ව්‍යවසායක් පෞද්ගලිකකරණය කරන්න ඕන වුණාම ආණ්ඩුව පැත්තෙන් ආව මතය තමයි මේවා පාඩු ලබන ආයතන කියන තර්කය. හැබැයි මෙහෙම කියල පෞද්ගලීකරණය කරපු ආයතනවලින් ආර්ථිකයට වාසියක් අත්පත් කරගන්න බැරිවුණා. ඇයි ඒක කරගන්න බැරි වුණේ?, අපේ රටේ සිදුවන දේශපාලන අක්‍රමිකතාවන් සහ දූෂණයන් ඔය ආයතන වැටෙන්න බලපාල තියනවා වගේම ඒවා පෞද්ගලීකරණය කිරීමේදීත් ඒවා දියත් වෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුණා පළාත් පාලන ආයතනවල සභිකයන් අඩක් අඩු කළ යුතුයි කියා. මේ දේශපාලන තීරණය ජ.වි.පෙ. අවබෝධ කරගෙන සිටින්නෙ කොහොමද? එම තීරණයට ඔබලා එකඟද ?

පිළිතුර -මේ රටේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව අටදහස වෙනකන් වැඩි කළේ රනිල් වික්‍රමසිංහමයි. ඔහු තමයි එක එක ආකාරයේ යෝජනා ගෙනත් මේ ගණනට සභික සංඛ්‍යාව වැඩි කළේ. දැන් ඔහු මේ අටදහස හාරදාහ කරන්න ඕන කියල කියන්නේ යහපත් චේතනාවකින් නම් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිටයි, පොහොට්ටුවටයි ඡන්ද කියල කියන්නෙ ඇලජික්. ඔවුන්ට ඕනකම තියෙන්නෙ ඡන්ද කල් දාන්න. දැන් මේ කරන්න හදන්නෙ ප්‍රාදේශීය සභා නගර සභාවල සභික සංඛ්‍යාව අඩු කරන්න ඕනය, ඒ සඳහා අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණය කරන්න ඕනය කියල වැඩක් පටන්ගෙන මේක දිගට ඇදගෙන යන්නයි. ඊට පස්සෙ ඒගොල්ලන්ගෙම දෙතුන් දෙනෙක් දාලා සීමා නිර්ණය කළාට පස්සෙ එයාලගෙම දෙතුන් දෙනෙක් දාල ඒක අභියෝග කරල අධිකරණයට යවනවා. ඊට පස්සෙ අධිකරණයටයි අභියාචනාධිකරණයටයි කාලය ගතකරනවා. සීමා නිර්ණය පෙන්නලා ඡන්ද කල් දාන එකයි දැන් ආණ්ඩුවේ සැලසුම බවට පත්වෙලා තියෙන්නෙ. හරියට බැලුවොත් පළාත් සභා මැතිවරණය වුණත් දැන් තියන්න පුළුවන්. සමහර පළාත් සභා දැන් අවුරුදු පහළොවකට වඩා වැඩියි. පරණ ක්‍රමයටම හරි පළාත් සභා තියන්න ඕන කියල සංශෝධනයක් ගෙනාවොත් ආණ්ඩුවට තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. ආණ්ඩුව දැන් දේශපාලන උපක්‍රමයක් විදියට ඉන්නෙම කිසිදු ඡන්දයක් තියන් නෑ කියන පදනමේ. හැබැයි ඡන්ද අයිතියට අත තියපු හැම පාලකයෙක්ටම වැඩි කල් ඉන්න බැරි වුණා කියන එක අපි මතක් කරනවා.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment