මෛත්‍රීගේ සමාව ඉල්ලීම පිළිගන්න බැහැ – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා

247

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවට කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

එසේ සමාව ඉල්ලනවා නම් සිද්ධිය වූ මොහොතේදී ජනාධිපති ධුරයෙන් ඉවත්වී සමාව ඉල්ලා සිටිය යුතුව තිබූ බවත් එසේ නොමැතිව සිද්ධිය වී වසර ගණනාවකට පසු මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පිළිගත නොහැකි බවත් හෙතෙම සඳහන් කරයි.

කතෝලික ජනතාව තමා සමග සිටින බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එසේ නම් ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කොච්චිකඩේ, කටුවපිටිය, මීගමුව වැනි ප්‍රදේශවලට ගොස් එය සැබෑවක් දැයි තහවුරු කරගන්නා ලෙස යැයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් පියතුමා මෙසේද සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ කරන ප්‍රකාශ අනුව නඩු තීන්දුව හරිහැටි කියවා නැති බව වැටහෙනවා. එනිසා එය නැවතවරක් කියවා බලන ලෙස ඉල්ලා සිටිනවා. එම නඩු තීන්දුවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ රටේ නායකයා වගකීම් පැහැර හැර ඇති බවයි.

බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශ මෙම ප්‍රහාරය ගැන තොරතුරු දැන සටියත් තමා දැනුවත් කර නැතැයි ඔහු පවසනවා නම් එය රටේ ජනාධිපතිවරයා ගණන් නොගැනීමකි. ඒ පිළිබඳව සොයාබැලිය යුතුව තිබුණා.

උතුරේ යුද්ධයේදී සිදුවූ ප්‍රහාර සහ පාස්කු ප්‍රහාරය සමකළ නොහැකියි. යුද්ධයකදී ත්‍රස්තවාදීන් තම සතුරු පාර්ශ්වයට පහර දෙනවා. එය පහරදීමට පෙර ප්‍රකාශ කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබුණා. නමුත් ඒ සඳහා නිසි පියවර ගෙන තිබුණේ නැහැ.

මෙම ප්‍රහාරය රටේ සියලුම ජනතාවට සිදුවූ තර්ජනයක්. එනිසා එතුමා සමාව ඉල්ලිය යුත්තේ කතෝලික ජනතාවගෙන් පමණක් නොව රටේ සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලිය යුතුයි.

තමාට වන්දි ගෙවීමට මුදල් නැතැයි පැවසීම පිළිගත නොහැකියි. හිටපු ජනාධිපතිවරයාට ඇති වත්කම් සහ දේපළ ගැන රටේ ජනතාව හොඳින් දන්නවා. ඡන්දයක් ළං වනවිටදී මෙවැනි ප්‍රකාශ කිරීමේ අරමුණ ගැන ජනතාව හොඳින් දන්නවා. එනිසා ජනතාව රැවටීමට ගන්නා උත්සාහයන් සාර්ථක නොවන බවද කිව යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment