මොකක්ද මේ බොනිකර තරු

441

ජීවිතය ලස්සනයි” රුවන් මාලිගා” අපි අපි වගේ” තූර්යා” සුජාතා” සඳ සඳ වගේ” සඳ පිනි බිඳක්” සඳ තරුමල්” හුස්මක් තරමට වැනි ටෙලි නිර්මාණ ඔබට තිළිණ කළ රවීන්ද්‍ර විජේරත්නගේ නවතම ටෙලි නිර්මාණය තමයි ‘බොනිකර තරු.. සතියේ දිනවල රාත්‍රි 7.00 ට ස්වර්ණවාහිනිය හරහා විකාශනය වන බොනිකර තරු ටෙලි නිර්මාණය ගැන අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර මෙලෙස පුංචි පිළිසඳරක යෙදුණා.

 බොනිකර තරු මගේ අලුත්ම ටෙලි නාට්‍යය. මේක පවුල් දෙකක් වටා ගෙතුණු කතාවක්. සාමාන්‍යයෙන් අපි නිතර පවුල් පසුබිම්වල ටෙලිනාට්‍ය ඕනෑ තරම් නරඹලා තියෙනවා. නමුත් මේකේ තේමාව සෑහෙන වෙනස්. මේ පවුල් දෙක අතර තියෙන ඔවුන්ගේ ආර්ථික පසුබිම” සාමාජයීය පසුබිම වෙනස්ම ආකාරයකින් කතා කරනවා. ඒ වෙනස නාට්‍ය නරඹලාම තමයි දැනගන්න වෙන්නේ.

 බොනිකර තරු කියන නම අනෙක් පැත්ත හැරෙව්වාහම ‘තනිකර බොරු.. එතකොට මේ අවධිය මම හිතන්නේ හැම තැනකම බොරුව රජවෙලා තියෙන කාලයක්. ඉතිං මේ නමේ තේරුම මේ නාට්‍යයෙත් තියෙනවා. මේ ටෙලිනාට්‍යයේ යම් කිසි දේශපාලනයක් ගැන කතා කරනවා. නමුත් මේක දේශපාලන පසුබිමක් තියෙන ටෙලිනාට්‍යයක් කියලා කියන්නත් බැහැ. දේශපාලනය ගැන කතාබහ කරන්නේ වක්‍රාකාරයෙන්.

 බොනිකර තරු ටෙලිනාට්‍යයේ තිබෙන විශේෂත්වය ගැන රවීන්ද්‍ර කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

 ලංකාවේ සිටින ප්‍රවීණ” අග්‍රගණ්‍ය සම්මානනීය නළු නිළියන් සමඟ නව පරපුරත් නියෝජනය කරන මේ නාට්‍යයේ හේමසිරි ලියනගේ” රම්‍යා වනිගසේකර” රොෂාන් පිලපිටිය” නදීෂා අලහප්පෙරුම” ගිහාන් ප්‍රනාන්දු” දමිතා අබේරත්න” සංජය මොරමුදලි” ධනුක දිල්ෂාන්” දේශානි නෙහාරා වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඇත්තම කිව්වොත් මේ ටෙලි නාට්‍යයේ නළු නිළියන් විසිපහකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.

 වර්තමානයේ තිබෙන විදුලි අර්බුදය ඉන්ධන අර්බුදය අතරේ මෙවැනි නිර්මාණයක් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයටත් රවීන්ද්‍ර පිළිතුරක් ලබාදුන්නා.

 විශේෂයෙන් තෙල් මිල ඉහළ යෑමත් සමඟ අපි සැලසුම් කරලා තිබෙන මිල මුදල් ඉහළ යෑමක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම තෙල් නැති නිසා අපිට සිද්ධවෙලා තියෙනවා සමහර වෙලාවට පාන්දර හතරේ ඉඳලා දහවල් දෙක තුන වෙනකම් අපේ වාහන තෙල් පෝළිම්වල තියන්න. දැන් නාට්‍ය සැලසුම් කරනවා හා සමානව ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයාගන්නත් වෙනමම සැලසුම් කරන්න වෙලා තියෙනවා.

 දවසේ ආරම්භයේදී අපේ සහාය අධ්‍යක්‍ෂවරු නිෂ්පාදක කණ්ඩායම්වල මූලික පියවරක් වෙලා තියෙනවා අවශ්‍ය කරන ඉන්ධන සොයාගැනීම.

 ඇත්තම කිව්වොත් දැන් ටෙලිනාට්‍යයක් ෂෙඩුල් කරන කොට තෙල් පෝලිමත් ෂෙඩුල් කරන්න වෙලා. අධ්‍යක්‍ෂවරයෙක් විදිහට මට වෙනදා තිබුණේ නිර්මාණය ගැන සිතීම පමණයි. දැන් ඒ ප්‍රශ්නවලටත් උත්තර හොයන්න වෙලා තියෙනවා. ප්‍රශ්න ගොන්නක් මධ්‍යයේ තමයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුකරගෙන යන්නේ.

 මගේ පෞද්ගලික මතය තමයි හොඳ පිටපතක් තෝරාගෙන හොඳ නළු නිළියන් පිරිසක් සමඟ හොඳ රූගත කිරීමක් සිදුකරලා හොඳ නිර්මාණයක් කළොත් ඒක විකුණාගැනීමේ අපහසුතාවයක් පැනනඟින්නේ නැහැ. සියලුම නාලිකා හොඳ නිර්මාණ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහර ටෙලිනාට්‍ය තියෙනවා එහි පිටපත දුර්වලයි. අධ්‍යක්‍ෂණය දුර්වලයි. අවශ්‍ය කරන නළු නිළියෝ නැතිවුණාම එම නිර්මාණ නොවිකිණී තියෙනවා. එතැනදී එවැනි අය චෝදනා කරනවා අපි කරන ටෙලිනාට්‍ය විකාශනය වෙන්නේ නැහැ වගේම අපි කරන ටෙලි නාට්‍ය ගන්නේ නැහැ කියලා. නමුත් ගුණාත්මක අතින් අඩුපාඩුවක් තියෙනවා නම් විතරයි එහෙම සිද්ධ වෙන්නේ. හොඳ නිර්මාණයක් කළොත් ඒක ප්‍රේක්‍ෂකයාට ඉතාමත්ම කෙටි කාලයකින් නැරඹීමේ අවස්ථාව සලසාදීමට නාලිකා සූදානම්. ඇත්තටම මගේ සියලුම නිර්මාණවලට නාලිකාවලින් නිසි වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මගේ නිෂ්පාදක දුරුතු ක්‍රියේෂන් වෙනුවෙන් තරංග දිසානායක. ඔහු මගේ නිර්මාණයකට අවශ්‍ය ඕනෑම රංගන ශිල්පියෙක්” ශිල්පිනියක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට මට අවශ්‍ය කරන දර්ශන තල ඔහු ලබාදෙනවා. ඒ වගේම ඔහුත් මාත් ඉතාමත් සැලසුම්ගතව නාට්‍ය රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර පූර්ව සැලසුම් හරියාකාරව සිදුකරනු ලබනවා.

 මගේ නිෂ්පාදක තරංග දිසානායකගෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ නළුවා හෝ මේ නිළිය නිර්මාණයට ඇතුළත් කරන්න කියලා. හැම තිස්සේම කියන්නේ රවී අයියේ නාට්‍යයට උචිත ඔයාට ගැළපෙන මේ චරිතයට සියයට සියයක් සාධාරණයක් කරන නළු නිළියන් යොදාගන්න කියලා.

 බොනිකර තරු දැනට අපි කොටස් සියයකට සැලසුම් කරලා තියෙනවා. නාට්‍ය යන ආකාරය බලලා ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මත මේක තව ඉදිරියට යනවාද නැද්ද කියලා නාට්‍යයේ පළමු කොටස් විස්ස විසිපහ විකාශනය අතරතුරදී තමයි අනෙක් කරුණු සියල්ල තීරණය කරන්නේ. කතාවේ හැටියට ඕනෑනම් ඉදිරියට යන්නත් පුළුවන්” නැතිනම් කොටස් සියයකින් එකසිය පනහකින් නවත්වන්නත් පුළුවන්. නමුත් ඒ පිළිබඳව තවම මට නිශ්චිත වචනයක් දෙන්න අමාරුයි.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment