මොණරාගල එස්එස්පී පරිහරණය කළේ ජාවාරම්කරුවකුගේ ප්‍රාඩෝ රථයක්

689

එස්එස්පීගේ නිල නිවසේ සිවිලිමේ ගංජා කිලෝ 06 ක්
කල්ලියේ 06 දෙනා අතර පොලිස් රියැදුරු,
ව්‍යාපාරිකයන් 02 ක් සහ නිධන් හෑරීමේ දක්‍ෂයෙක්
මහින්දගේ පාලන සමයේ ප්‍රබල ඇමැතිවරයකුගේ පෞද්ගලික ආරක්‍ෂකයකු ලෙස ඉඳලා
නිධන් සෙවීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයකුත් දැලේ

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැකකරන ගංජා ජාවාරම, නිධන් හෑරීම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මොනරාගල බලා ඊයේ (09 දා) උදෑසන ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය භාරයට ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කළහ.

මෙම ජාවාරම් සඳහා සැකකරුවන්ට ප්‍රදේශයේ එක්තරා ප්‍රබලම දේශපාලනඥයකුගේ සහාය ලැබී ඇති බවද වාර්තා වෙයි.

මොනරාගල පිහිටි සිය නිලනිවසේ සිවිලිමේ සඟවා තිබූ ගංජා කිලෝ 15 ක් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර ඇතුළු පුද්ගලයන් 06 දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ අලුයම් කාලයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අමතරව ඔහුගේ පොලිස් රියැදුරු, කොළඹින් ගිය ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ නිධන් හෑරීමට දක්‍ෂ පුද්ගලයකු සිටි බව පොලිසිය පැවසීය.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සැකකරුවන් නිධන් හෑරීමට යොදාගත් බවට සැකකරණ ස්කෑන් යන්ත්‍රයක්ද මොනරාගල ප්‍රදේශයේ සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන ඇත.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් ප්‍රදේශයේ නිධන් හෑරීමේ යෙදෙන බවට ලැබී තිබූ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මීට මාස කීපයකට උඩදී සිටය.

නිධන් හෑරීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත විශේෂකාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගමන්ගත් ජීප් රථය සිය භාරයට ගෙන පරීක්‍ෂා කර ඇත.

එහිදී ජීප් රථයේ සිටි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හිතවතුන් සිව්දෙනකු සහ රියැදුරු එස් ටී එෆ් භාරයට ගෙන තිබේ.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාරට අයත් මොනරාගල නිල නිවස පරීක්‍ෂා කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි සිවිලිමේ සඟවා තිබූ ගංජා ගස් 550 ක් සොයාගෙන තිබිණි.

කිලෝග්‍රෑම් 15 ක බරින් යුත් මෙම ගංජා තොගය වේලීම සඳහා සිවිලිමේ සැඟවූ බව පසුව හෙළිවිය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් හෙළිවූ තොරතුරු මත නිධන් හෑරීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයක්ද, බඩල්කුඹුර ප්‍රදේශයෙන් පසුව සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත්වූහ.

විමර්ශනවලින් හෙළිවූ අන්දමට සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කාලයක සිට ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිතර වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මොනරාගල බලා පිටත්ව ගියහ.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ අතර පොලිස් පරීක්‍ෂකවරයකු දක්වා උසස්වීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි තරග විභාගයට ඉදිරිපත් වී ඇත. එහිදී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබාගැනීමට ඔහුට හැකිවිය. එම උසස්වීම ලබාගැනීම දේශපාලන බලපෑම් මත සිදුවූ බවට චෝදනාවක්ද එල්ලවී තිබිණි.

උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කරද්දී සැකකාර සිසිර කුමාර මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස රාජකාරි කර ඇත.

පොලිස් නිලධාරීන් චෝදනා එල්ල කළේ එම දේශපාලනඥයාගේ බලපෑම් මත මොහු උසස්වීම් ලබාගත් බවයි. උසස්වීම් ලැබීමෙන් පසුවද මෙම නිලධාරියා වැඩිකාලයක් රාජකාරි කර තිබුණේ මොනරාගල තණමල්විල වැනි ප්‍රදේශවලය.

මෙම නිලධාරියා මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කිරීමට පොලිස් මූලස්ථානයෙන් අනුමැතියක් ලැබී නොතිබූ අතර මොනරාගල ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලනඥයකුගේ දැඩි බලපෑම මත ඔහුව එම තනතුරට පත්කළ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය. මෙම දේශපාලනඥයා නිලමේ වරයකු ලෙසද සිටි අයෙකි.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මොනරාගල කොට්ඨාසය භාරව පැමිණීමෙන් පසු මෙම දේශපාලනඥයාගේ පූර්ණ සහාය ඔහුට ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

මොහු පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් ප්‍රාඩෝ ජීප් රථයද ප්‍රදේශයේ ජාවාරම්කාරයකුට අයත් එකක් බවට චෝදනා එල්ල වී ඇත.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින එක් අයකු දේවවරමක් ලැබූ අයකු බව පැවසෙයි. මෙම පිරිස පෙරේදා රාත්‍රී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිල නිවසින් පිටවගොස් ඇත්තේ ප්‍රදේශයේ දේවාලයකට ගොස් නිධන් හෑරීම සඳහා බාරයක්වීමට බව විමර්ශන වලින් හෙළිවී ඇත.

සැකකරුවන් සතුව තිබී දුරකථන හඬපට සහ ඡායාරූප කීපයක්ද විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇති අතර ඒවායේ නිධන් හෑරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවද පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment