මොනරාගල එස්එස්පී ගේ නිවසේ හැම්පර් 18ක්, විදෙස් මත්පැන් බෝතල් 38ක්

351

රිමාන්ඩ් කළ ඇතිමලේ ඕඅයිසීගෙන් උසාවියට රහස් ප්‍රකාශයක්

ගංජා ළඟ තබාගැනීම, නිධන් සෙවීමට අනුබල දීම ඇතුළු විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඉකුත් 13දා සවස මොනරාගල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. එල්. සජිනී අමරවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මොනරාගල වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. බී. එස්. එස් සිසිල කුමාර, ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්. එම්. සංජය ධර්මදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිල රියැදුරු පොලිස් කොස්තාපල් (80736) බී. බී. සසිඳු මධුශාන්, ඔක්කම්පිටිය සේරුවත්ත පහලගම පදිංචි ආර්. එම්. දුලංජන සේනක, මොරටුව එගොඩඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂා ලංකා සිල්වා, බුද්ධම වැල්ලේගලවත්ත පදිංචි ටී. එම්. නිලන්ත සංජීව පුෂ්පකුමාර යන සැකකරුවෝ මේ මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණහ.

සැකකාර මොරටුව එගොඩඋයන නදී මාවතේ පදිංචි වීරප්පුලිගේ එමෝද්‍ය කවිශංඛ නමැති සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලද අතර ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

මෙහිදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු තම සේවාදායකයා අධිකරණයට රහස්‍ය ප්‍රකාශයක් කිරීමට කැමැත්ත පළ කරන හෙයින් ඊට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ. ඒ අනුව ලබන 18 දා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගත් දැව කඳන් පහක්, විදේශවල නිෂ්පාදිත විවිධ වර්ගවල මත්පැන් බෝතල් 38 ක් සහ විවිධ පොලිස් ස්ථානවලින් ලබා දෙන ලද තෑගි පෙට්ටි (හැම්පර්) 18 ක් තම පොලිස් ස්ථානය භාරයේ ඇති බව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.

ඉකුත් 10දා මොනරාගල බිබිල පාරේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ තිබී ගංජා කිලෝ 22 යි ග්‍රෑම් 510 ක් සහ නිධන් සෙවීමට උපයෝගි කර ගන්නා ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. ඊට අනුබල දීම සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉකුත් 12 දා අත්අඩංගුවට ගනු ලැබිණි.

නීතිඥවරුන් වන වසන්ත බණ්ඩාර, සුසන්ත රත්නායක, පියරත්න බණ්ඩාර, දිනූෂා ඕපනායක, නිහාල් චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී දන්තනාරායන මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment