මොන තර්ජන ආවත්  ජූලි 1දා සිට  සුරාබදු නීති  රැසක් ගේනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්

414

සුරාබදු දෙපාර්තමේන්තුවට මොන තර්ජන ආවත් මත්පැන්වල ප්‍රමිතිය සහ ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීති

රැසක් ජූලි 01 වැනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඊයේ (13 දා) පැවසීය.

නීති විරෝධී ක්‍රියාවන් අවම කර සුරාබදු ආදායම වැඩිකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින විට සුරාබදු දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 146 ක් අහිමි කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත් එම පිරිසට එම ආදායම අයකර දීමට හැකි නම් තමාගේ පුටුව වුවද ලබාදීමට තමන් කැමැති බවත් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (13 දා) එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරී 01 දා සිට ස්ටිකරය අනිවාර්ය කිරීමත් මැයි 15 දා සිට මත්පැන්වල ප්‍රමිතිය අනිවාර්ය කිරීමත් නිසා සුරාබදු නිෂ්පාදනය සියයට 09 කින් සහ සුරාබදු ආදායම සියයට 17 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

සුරාබදු දෙපාර්තමේන්තුවට මාධ්‍ය හමු පවත්වා ප්‍රචාරයක් කරන්න බැරි නිසා නිහඬව සිටිනවා. නමුත් එක්තරා සංගමයක පිරිසක් දෙපාර්තමේන්තුව අපසුතාවට පත්වන ලෙස මාධ්‍ය හමුවක් පවත්වා අදහස් දැක්වීම නිසා එයට පිළිතුරු දීමටයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ.

සුරාබදු දෙපාරතමේන්තුව 2020 රුපියල් බිලියන 121 ක දඩ ආදායමක් ද 2021 රුපියල් බිලියන 140 ක ආදායමක් ද අපේක්‍ෂා කළත් කොවිඩ් වසංගතය නිසා බිලියන 20 ක් විතර අහිමි වුණා. 2022 බිලියන 180 ක් අපේක්‍ෂා කර තිබෙනවා. ජුනි 15 වනවිට බිලියන 80 ක් උපයාගෙන තියෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලි කැපීම වැනි දේවල් නිසා බිලියන 03 ක් 04 ක් අහිමි වෙන්න පුළුවන්.

ස්ටිකරය අනිවාර්ය කර එය බෝතල්වල ඇලවීමත් සමග එම ලේබල් පරික්‍ෂා කිරීමට හැකි යන්ත්‍ර 200 ක් සුරාබදු නිලධාරීන්ට ලබාදීමට ගෙන්වා තිබෙනවා. ජූලි 01 වැනිදා සිට පාරිභෝගිකයන්ට ද තමන් මිලදී ගත් මත්පැන්, බියර් බෝතල් හෝ කෑන්වල ප්‍රමිතිය, නිෂ්පාදිත දිනය, අඩංගු දෑ පිළිබඳව ජංගම දුරකතනයෙන් දැකබලා ගතහැකි ඇප් එකක් හඳුන්වා දෙනවා.

ඒ වගේම වෙළෙඳ පොළේ පවතින මත්පැන් වර්ගවල ප්‍රමිතිය පිළිබඳව මාස තුනෙන් තුන සාම්පල් ගෙන රස පරීක්‍ෂක කාර්යාලයට යවා පරික්‍ෂා කරනවා. සැර මත්පැන් නිපදවන සමාගම් 18 ක් තිබුණත් ඉන් සමාගම් 04 ක් මත්පැන් නිෂ්පාදනයෙන් සියට 93 ක ඒකාධිකාරයක් දරනවා. ඉතුරු සියයට 07 තමයි යම් යම් අක්‍රමිකතා සිදු කරන බවට චෝදනා තිබෙන්නේ.

අපිට බරපතළ චෝදනාවක් තමයි සුපිරි වෙළෙඳ සල් සහ සතොස ආයතනවලට මත්පැන් බලපත්‍ර දීම. ඒක රජයේ තීරණයක්, කොහොමත් එවැනි ආයතනවල මත්පැන් අලෙවියෙන් සුරාබදු ආදායම වැඩිවී ඇති බව පෙනීගොස් තිබෙනවා. එයට හේතු ලෙස ජනතා විශ්වාසය දිනාගැනීම වෙන්න පුළුවන්. රටපුරා බලපත්‍ර ස්ථාන 5200 ක් පමණ තියෙනවා. ඒ අය අතරින් කිහිපදෙනකු චෝදනා එල්ල කළත් මොන බලපෑම් කළත් දොපර්තමේන්තුවක් ලෙස ගන්න පුළුවන් නීතිමය තත්ත්වයන් බලගන්වලා දූෂණ අක්‍රමිකතා නවත්වලා බදු ආදායම වැඩිකර ගන්න කටයුතු කරනවා. ඇතැම් අවස්ථාවල මට ජීවිත තර්ජන පවා එල්ල වී තිබෙනවා. ඒවාට මම බිය නැහැ. මගේ රාජකාරිය දෙපාර්තමේන්තුවේ සිටිනතාක් කල් කරනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment