මොන රාජපක්ෂ කෙනෙක් බලයට ගෙනාවත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂයි

271

ද්විත්ව පුරවැසියන්ට රටේ කිසිම තනතුරක් දරන්න බැරි කරන
විසිදෙක සංශෝධනය අපේ‍්‍රල් ගේනවා – උදය ගම්මන්පිල

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර, ජනාධිපති ධූරය පමණක් නොවේ රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසි දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලබන අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද අදහස් දැක්වීය.

රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙන ඡන්ද කෙමනක් අටවලා එකතු කරලා මීළඟ ජනපතිවරණයේ දී ඒ ඡුන්ද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ

ගිණුමකට ඒකතු කිරීමේ කුමන්ත‍්‍රණයක අපි යෙදී සිටින බවට විපක්ෂයේ සමහරු චෝදනා කරනවා. නාමල් ඇමැතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා. අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල්ක‍්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා. මහද්වීප තුනක් පුරා පැතිරුණු දැවැන්ත ඔටෝමාන් අධිරාජ්‍යයේ 17 වන සියවසේ සිටි අහ්මත් සුල්තාන්ගේ සුරූපි බිරිඳ තමයි කෝසම් සුල්තානා. අධිරජුගේ පිටුපස සිට රට පාලනය කලේ කෝසම්. ඔහු මිය ගියාට පස්සේ සිය පුතු මුරාද් සිහසුනේ තබාගෙන ඇය රට පාලනය කළා. මවගේ ඇඟිලි ගැසීම්වලට මුරාද් විරුද්ධ වුණාම ඔහු මරා දමා බාල පුතු ඊබ‍්‍රහිම් රජ පුටුවේ තබා රූකඩ නැටවීම ඉදිරියට ගෙන ගියා. අවසානයේ සිය මවගේ රූකඩ නැටවීමට ඊබ‍්‍රහිම් විරුද්ධ වුණාම සිය පුතු මරා දමා සිය මුණුබුරු මෙහෙමද් රජ කිරීමට කෝසම් කටයුතු කළා. එදා තුර්කියේ කවුරුන් රජ වුණත් රට පාලනය කරන්නේ කෝසම් වගේ ලංකාවේ මොන රාජපක්ෂ රජ වුණත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල්.

බැසිල් රාජපක්ෂ මහතා රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමැති ධූරය ලැබුණු එක විතරයි. මුදල් ඇමැතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද? ජේ. ආර්. ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? පේ‍්‍රමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ. එන්. චොක්සි ද? සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කලේ මංගල සමරවීර ද? නෑ. අද බැසිල් රාජපක්ෂ මහතා රට පාලනය කරන්නේ 20 වන සංශෝධනය හරහා පත් වූ මුදල් ඇමැති විධියට නොවේ. පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විධියටයි ඔහු අද රට පාලනය කරමින් සිටින්නේ. හරියටම කියනවනම් රට විනාශ කරමින් සිටින්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත් 19 වන සංශෝධනයේ හිලකින් රිංගලා. 19 වන සංශෝධනය යටපත් කරගෙන 20 වන සංශෝධනය නාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආකාරයෙන්ම රට පාලනය කරනවා. එසේ නම් 19 වන සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතුයි.

මේ අර්බූදයට විසඳුම විධියට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර, ජනාධිපති ධූරය පමණක් නොවේ රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසි දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට කිසිම මහජන නියෝජිත තනතුරක්, ආණ්ඩුවේ තනතුරක් වගේම අධිකරණයේ විනිසුරු තනතුරක් ද දරන්න බැරි වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ පරිපාලන ලේකම් තිලින පීරිස් කොළඹ දිසා සංවිධායක හා මධ්‍යම කාරක සභික ශිරන්ත ජයලත් යන මහත්වරුන්ද සහභාගී වූහ.

එරික් ගාමිණි ජිනප‍්‍රිය – සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment