මොරටුවේදී පාපතරයෙක් අත්දෙක කපලා අරන් ගිහින්

707

සැකකරු අල්ලන්න පරීක්‍ෂණ

මොරටුව මොරවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පෙරේදා (21 වැනිදා) රාත්‍රි 7.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

විමර්ශන වලින් හෙළිවී ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තුවාලකරු අතර මීට දින කීපයකට උඩදී ආරවුලක් ඇතිවී තිබිණි.

එහිදී මෙම තුවාලකරු මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුට පොල්ලකින් පහරදී ඇත.

එම සිද්ධියට එකට එක කිරීමක් ලෙස පෙරේදා රාත්‍රි තියුණු ආයුධයක් රැගෙන පැමිණි එම පුද්ගලයා තමාට පහර දුන් 40 හැවිරිදි පුද්ගලයාගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන පලා ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු මෙම කපා දැමූ දෑත් කොටස් දෙක රැගෙන යන්නට ඇත්තේ එය රෝහලට රැගෙන ගොස් නැවත බද්ධ කිරීම වළක්වා ලීමට බවයි.

සැකකරු සහ ඔහුගේ බිරිඳ පෙරේදා රාත්‍රියේ සිට සිය නිවස අතහැර ගොස් ඇත.

මෙම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කම්කරුවකු ලෙස රැකියාව කරන අයෙකි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ මොරටුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න, පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment