මොරොටුවේදී කපා රැගෙන ගිය අත්දෙක මුහුදුට වීසි කරලා

191

මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ දෑත් කපා රැගෙන ගොස් කොරළවැල්ල ප්‍රදේශයෙන් මුහුදට වීසි කළ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (26දා) ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබියදී ඔහු නීතිඥයකු මාර්ගයෙන් මොරටුව අධිකරණයට භාරවී තිබුණි. අධිකරණ අවසරය මත සැකකරු පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකිරීමේදී කපාගත් අත්දෙක මුහුදට විසිකර අත්දෙක කැපීම සඳහා යොදාගත් කඩුව මුහුදු තීරයේ ගල් අතර සඟවා තැබූ බව සැකකරු පවසා ඇත.

සැකකරු එම ස්ථානයට ගෙන ගොස් පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අත්දෙක කැපීමට යොදාගත් කඩුව සඟවා තිබියදී හමුවී ඇතත් අත්දෙක සොයා ගැනීමට නොහැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්දෙක කපා දැමූ පුද්ගලයා විසින් සැකකරුට මන්නයකින් පහරදීම නිසා මැහුම් හතරක් දමා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

තමාට පහරදුන් පුද්ගලයා පොලිසිය මග හරිමින් සිටින බවත් තමන් මග රැක සිට ඔහුට කඩුවෙන් පහරදී අත්දෙක රැගෙන ගිය බවත් සැකකරු ප්‍රකාශ කර ඇත. පහරදුන් පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් නිසා මෙය සිදුවී ඇති බව ප්‍රකාශ වුවත් එවැනි සිද්ධියක් විමර්ශනවලදී හෙළිවී නැතැයිද මෙය පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන සිදු වූවක් බවට හෙළිවී ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය. මෙම සැකකරුට ආධාර අනුබලදීම යටතේ තවත් අයෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර දකුණු නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය හා ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලන්ත ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් උ.පා.ප. නීල් ප්‍රියන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (85557) වීරසිංහ, (40527) කුමාර, (93734) විජේසිංහ, (93748) ජයවර්ධන, පොලිස් කොස්තාපල් රියැදුරු (89863) රංගන යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකර සැකකරු ඊයේ මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment