මොස්කව් විශ්වවිද්‍යාලයෙන් සිංහල උපාධියක් ගත්ත රුසියන් කෙල්ල

642

ලංකාව තරම් ලස්සන රටක් තවත් නැහැ…
මට සිංහල සින්දු කියන්නත් පුළුවන්….

ඇය සිංහල භාෂාව පිළිබඳ උපාධිධාරිනියක්ය. රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලය තුළ එම උපාධිය සාර්ථකව නිම කරන ඇය සිංහල භාෂාව පිළිබඳ තමන් තුළ පවතින කැමැත්ත උපාධියකට පමණක් සීමා කරන්නේ නැත. හොඳින් සිංහල භාෂාව ලිවීමට සහ කතා කිරීමට ද ඇය සමත්කම් දක්වන්නීය. රුසියානු භාෂාව හැරුණු කොට ඉංග්‍රීසි, ප්‍රංශ, සිංහල ආදී භාෂාවන් කීපයක් මනා ලෙස ප්‍රගුණ කර ඇති ඇය මේ වනවිට වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ සංස්කෘත භාෂාව පිළිබඳ විධිමත් හැදෑරීමක් සිදුකිරීම තුළින් ඒ පිළිබඳවත් ප්‍රවීණත්වයට පත්වීම පිණිසය.

2019 වසරේදී මෙරට සංචාරයක් සඳහා සහභාගි වූ රුසියානු සංචාරකයන් පිරිසක් සමග මෙරටට පැමිණෙන ඇය ශ්‍රී ලංකාව පුරා කරන ලද දීර්ඝ සංචාරයක් තුළ මෙරට පිළිබඳ උපන් අසීමිත ඇල්මක් හේතුවෙන් ඉහත සඳහන් දස්කම් දැක්වීමට සමත්ව සිටින ඇය නමින් වැලරි ක්ලැන්සිකෝවාය. තවමත් 23 හැවිරිදි වැලරි තම උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් මෙරට පැමිණ ඇත. මාස 06ක් මෙරට ගතකොට නැවත රුසියාව බලා පිටත්ව යෑමේ අදහසින් මෙරට පැමිණි වැලරි තමන් ඉමහත් කැමැත්තක් දක්වන දකුණු මුහුදු තීරයේ වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අතර ඇයව අපට මුණගැසෙන්නේ මෙරට ජීවත් වන ඇගේ හිතවතකුගේ මාර්ගයෙන්ය. ඉහත සඳහන් කළ පරිදි මනාව සිංහල භාෂාව හසුරවීමට සමත් වැලරි සහ අප අතර ඇතිවූ සුහද කතාබහ පිණිස සිංහල භාෂාව හැසිරවීම පිළිබඳ ඇය සතු පළපුරුද්ද මහත් පිටිවහලක් වූහ.

වැලරි සිය කටහඬ අවදි කර සිටියේ ඇය මෙරට සංචාරය කළ පළමු සංචාරයේ රසමුසු තැන් මෙනෙහි කරමින්ය.

“මම ලංකාවට පළමු වරට ආවේ 2019 අවුරුද්දෙ. ඒ වනවිට මම ලංකාව ගැන ගොඩක් දේ දැනගෙන හිටිය. නමුත් අත්දැකීම් ලබල තිබුණේ නැහැ. ඒ වනවිට මම රුසියාවෙ මොස්කව් විශ්වවිද්‍යාලයෙ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරමින් හිටියෙ. නමුත් මම ලංකාවට ආවට පස්සෙ තමයි මේ රටේ ලස්සන දකින්න ගත්තෙ. ඒ විතරක් නොවෙයි මේ රටේ හැම කෙනෙක්ම හරිම හොඳයි. මගේ රට රුසියාව මම ඒ රටට ආදරෙයි. ඒ වගේම තමයි ලංකාවට. ලංකාවෙ ජීවත්වෙන මිනිස්සුන්ට මම ගොඩක් කැමතියි.

මෙරට සිය දෙවන මව් රට ලෙස හඳුන්වන වැලරි සිය පළමු සංචාරය අතරතුර අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල, ඇල්ල, නුවරඑළිය ඇතුළු මෙරට බොහෝ ස්ථාන සියැසින් දැක ගැනීමට වාසනාව ලබන්නීය. ඒ සියලු තැන් අතරින් දකුණු මුහුදු තීරයේ සුන්දරත්වය ඇගේ සිත තදින් පැහැර ගෙන ඇත. මේ වනවිට නැවත මෙරට සිරි නැරඹීම පිණිස පැමිණ සිටින ඇය ඒ පිළිබඳව සඳහන් කර සිටින්නේ මේ ආකාරයෙන්ය.

“මම බෞද්ධයෙක් නොවෙයි. ඒත් බෞද්ධ සිද්ධස්ථාන දැක බලා ගන්න හරි කැමතියි. 2019 වසරේ මම මුලින්ම ලංකාවට ආව වෙලාවෙ නුවර දළදා මාලිගය බලන්න ගියා. ඒ පරිසරයට ගියාට පස්සෙ ඒ වගේම දළදාව වන්දනා කරන්න ඇවිත් හිටිය බැතිමතුන් දැක්කට පස්සෙ මගෙ හිතේ බුදු දහම පිළිබඳ ලොකු පැහැදීමක් ඇතිවෙන්න ගත්ත. මම මේ වතාවෙ ලංකාවට ආවෙ තනියම නොවෙයි. තවත් අමුත්තෙක් ඒ ගමනට සහභාගි වුණා.

මොස්කව් විශ්වවිද්‍යාලයෙන් සිංහල උපාධියක් ගත්ත රුසියන් කෙල්ල

එසේ පැවසූ වැලරි සැහැල්ලු සිනහවකින් මුව සරසා ගත්තාය. ඇයත් සමග මෙවර සංචාරයට සහභාගි වූ අමුත්තා කවුරුන්ද යන්න විමසීමට උත්සාහ දැරීමත් සමග ඒ බව තේරුම් ගත් වැලරි ඔහු කවුද යන පැනය අසන්නට මත්තෙන් අප තුළ වූ කුකුස නිරවුල් කළේය.

ඒ තමයි මගේ මහත්තය. ඔහුගේ නම ඩැනියෙල් එයාව මට මුලින්ම මුණගැහෙන්නෙ මොස්කව් විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ. ඩැනියෙල්ටත් දැන් සිංහල භාෂාව ටිකක් පුළුවන්. මේ දවස්වල එයා විෂයක් විදිහට හින්දි භාෂාව හදාරමින් ඉන්නෙ. ඉදිරියෙදි සිංහල භාෂාව හොඳින් හදාරන්න එයත් ලොකු කැමැත්තකින් ඉන්නව.

මෙරට සහ රුසියාව අතර පැවති ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක කිරීමත් සමග මෙරටට පැමිණි පළමු ගුවන් යානයෙන් ඉකුත් ඔක්තෝබර් මස 10 වන දින මෙරටට ළඟාවන වැලරි යුවල මෙවර මාස හයක කාලයක් මෙරට තුළ රැඳී සිටීමට සැලසුම් කර ඇත. මෙරට ගත කරන ඇගේ දෛනික ජීවිතය පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කර සිටියේ සිංහල කෑම වර්ග සකස් කිරීම සඳහා තමන් උනන්දුවක් දක්වන බවත්, ඒ හැරුණු කොට මගේ තුන්වන උපාධිය පිණිස සූදානම් වෙනව යනුවෙන්ය.

“මට දැන් ලංකාව හොඳින් හුරු පුරුදුයි. සිංහල කෑම වර්ග හදන්න පුරුදුවෙන්නත් ඕන. මේ පාර අපි සංචාරය කරන්නෙ නැහැ. වැලිගම පොල්අතුමෝදර හා ඒ අවට මගේ හිතවතුන් ඉන්නව. ඒ අයත් එක්ක මේ රට ගැන කතා කරන්න, සිරිත් විරිත් පිළිබඳව කතා කරන්න මම හුඟක් කැමතියි. ඒ වගේම මුහුදු වෙරළේ කාලය ගත කරන්නත් ලොකු කැමැත්තක් පවතිනව. ඉතින් ඔහොම තමයි කාලය ගත කරන්නෙ. මගේ මහත්තය ඩැනියෙල් මාත් එක්ක ඉන්න නිසා අපි සතුටින් ඉන්නව. වැලරි සමග සිදු කළ කෙටි පිළිසඳර නිමා කිරීමට මත්තෙන් ඇයගේ පවුලේ තොරතුරු පිළිබඳ යමක් සඳහන් කළ හැකිද? යන්නෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් ඇය එහිදී සඳහන් කර සිටියේ වයස අවුරුදු හතක් පමණ වන නැගනියක් සිටින බවත් සතියකට වරක් ඇයත් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වන බවත්ය. දීර්ඝ නිවාඩු ගත කිරීම පිණිස තමන් ශ්‍රී ලංකාව තෝරා ගැනීමේදී අම්මා සහ තාත්තා ඊට විරුද්ධ නොවන බවද සඳහන් කර සිටින වැලරි රැකියාව සම්බන්ධයෙන් සඳහන් කර සිටින්නේ තමන්ගේ රට විශාල රටක් වුවත් එරට මේ වනවිට අර්බුද රැසක ගිලී පවතින බවක්ය.

අපේ රටේ යුද්ධයක් පවතිනව. ඒකට අපි කවුරුවත් කැමති නැහැ. ලෝකයේ කුමන රටක වුවත් නිදහසේ ජීවත් වෙන්න සාමකාමී පරිසරයක් පවතින්න ඕන. ලංකාවෙත් යම් යම් ප්‍රශ්න තිබෙනව. ඒත් මම මේ රටට ආදරෙයි. මෙහේට එන්න ඉස්සර මම මාලදිවයිනේ සංචාරය කරල තිබෙනව. නමුත් ලංකාව වගේ ලස්සන තැනක් වෙන කොහේවත් නැහැ. සිංහල භාෂාව කියන්නෙ හරිම ලස්සන භාෂාවක්. ඉංග්‍රීසි, රුසියානු භාෂාව ලියන්න කියන්න දන්න කෙනෙක් ලෙස ඒ භාෂාවන් හා සිංහල භාෂාව අතරේ ලොකු වෙනසක් මම දකිනව. හරිම සංකීර්ණයි. ඒ හින්දමයි මගේ උපාධිය පිණිස සිංහල තෝර ගත්තෙ. මට ලස්සනට සිංහල සින්දු කියන්නත් පුළුවන්. ප්‍රසන්න සිනහවක් ද සහිතව එසේ සඳහන් කළ ඇය පණ්ඩිත් අමරදේවයන් ගායනා කොට තිබෙන ‘රත්න දීප ජන්ම භූමි’ ගීතය ඇතුළු තවත් ගීත කීපයක කොටස් මධුර හඬින් ගායනා කොට පෙන්වීය. ඒ සියලු කාරණාවලින් පෙනී යන්නේ ඇයත් ශ්‍රී ලංකාවත් අතර නොබිඳෙන ආත්මීය බැඳීමක් පවතින බවක්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment