මෝටර් රථයේ හප්පා පාසල් සිසුවා මරණයට පත් කළ කතට ඇප  

483

පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් එමින් සිටී දාහතර හැවිරිදි පාසල් සිසුවකු පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දී මෝටර් රථයට හප්පා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හිරණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා පසුගියදා (12) නියෝග කළේය.

පානදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිටගේ ධම්මි සාෂිණී කොස්තා නමැති 52 හැවිරිදි ක්තාවක මෙසේ ඇපමත මුදාහැරිණි.

ඇප කොන්දේසිවලට අමතරව නඩු කටයුතු අවසන් වනතෙක් රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත් හිටුවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

දමිළ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී එමින් සිටියදී පානදුර , පින්වල , සුසාන භූමිය පාරේ පදිංචිව සිටී විහඟ සදෙව් ද සිල්වා (14) නමැති සිසුවා, පසුගිය 11 දා දහවල් සැකකාරිය විසින් පදවන ලද මෝටර් රථයට මාලමුල්ල, පොකුණ හන්දිය ප්‍රදේශයේ දී ගැටී මරණයට පත්ව ඇති බව පොලිස් සැරයන් සමන්ලාල් එදිරිසිංහ අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නිතිඥ කසුන් ජයරත්න මහතා විසින් තම සේවාදායිකාව හිතාමතා සිදුකළ අනතුරක් නොවන බවත්, තවද මරණය වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ලෙසින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් එදින ගෙවීමට ඇය එකඟ බවත්, ඕනෑම කොන්දේසියක් යතේ තම සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.

විත්ති පාර්ශ්වය එකඟ වූ පරිදි මියගොස් ඇති පාසල් සිසුවා ගේ පියා වෙත රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් විවෘත අධිකරණයේ දී භාරදෙනු ලැබීය .

විත්තිය වෙනුවෙන් නීතිඥ කසුන් ජයරත්න ද, පොලිසිය වෙනුවෙන් සැරයන් සමන්ලාල් එදිරිසිංහ ද (3081) අධිකරණයට කරුණු වාර්තා කළ අතර නඩුව ලබන ඔක්තෝබර් 28 දා යළි කැඳවීමට නියමිතයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක -බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment