මෝදිට අපහාස කළ රාහුල් ගාන්ධි අවුරුදු දෙකක් හිරේ

162

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්දීය ප්‍රාදේශීය අධිකරණයක් විසින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ලබා දී තිබේ.

2019 මහා මැතිවරණ සමයේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන රැස්වීමක දී කොංග්‍රස් නායකයා වත්මන් අගමැතිගේ වාසගම යොදා ගෙන අපහාසය සිදු කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයකු විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි. පුරා වසර හතරක් තිස්සේ විභාග වුණු මේ නඩුවේ තීන්දුව ඊයේ දිනයේ ලබා දී තිබිණි.

ඉන්දියාවේ සුරත් දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අවස්ථාවේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

වසර දෙකක සිර දඬුවම් ලබා දීමෙන් පසු කොංග්‍රස් නායකයාට එවෙලේම ඇප හිමි විය. ඒ අනුව ඔහුට මේ නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය.

සුදු පැහැති ටී ෂර්ටයකින් සැරසී රාහුල් ගාන්ධි අධිකරණයට එන අයුරු ඉන්දීය රූපවාහිනී සේවාව ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

2019 අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණ රැලියකදී රාහුල් ගාන්ධි කියා සිටියේ ඉන්දියාවේ ලොකුම හොරුන්ගේ වාසගම මෝදි බවයි. මේ ප්‍රකාශය බලවත් ආන්දෝලනයට ලක් විය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසන්නේ මේ නඩු තීන්දුවට එරෙහිව ඉතා ඉක්මනින් ම ඉහළ අධිකරණයට යන බවයි. පසුගිය සති කිහිපය පුරා ම භාරතීය ජනතා පක්ෂය රාහුල් ගාන්ධි ලන්ඩනයේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ද බලවත් විරෝධය මතු කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment