මෝදිට මැතිසබයේ සුබ පැතුම්

55

නව ජයග්‍රහණ උදාකර ගන්න හැකි වේවා – අගමැති දිනේෂ්

ඉන්දියාවට එජා ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් දිය යුතුයි – විපක්‍ෂ නායක සජිත්

තුන්වැනි වරටත් ඉන්දීය අගමැති ධුරයට පත්වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) දින අගමැති සහ විපක්ෂනායක සුබ පැතුම් එක් කළහ.

එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

ඉන්දියාවේ තුන්වැනි වරටත් මහජන ඡන්දයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදි අග්‍රාමාත්‍යතුමාට ජයග්‍රහණයට සුබ පතනවා.

ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජයග්‍රහණය කර තිබෙන්නේ ලෝකයට දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට හා ආණ්ඩුව පිහිටුවීමටයි. ශ්‍රී ලංකාව සමග ඇති ක්‍රියාකාරී සහයෝගය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් මෝදි අග්‍රාමාත්‍යතුමා ලැබුණු ජයග්‍රහණය තුළින් නව ජයග්‍රහණයන් උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි සුබ පතනවා.

සාමය, සංවර්ධනයේ අලුත් ඉලක්කයන් ලෝකයාටත් දායාද කරන්නට ආර්ථිකය හා අනික් ක්ෂේත්‍ර තුළින් පුළුවන් වනු ඇතැයි සුබ පතනවා. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති ශක්තිමත් දීර්ඝ කාලීන ද්වීපාර්ශ්වික හා අන්‍යොන්‍ය ක්ෂේත්‍රවල බැඳියාවන් වර්ධනය කර ගැනීමට හැකි බව. ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාට ඒ කටයුතු කරගෙන යෑමට මෙම ජයග්‍රහණය ශක්තියක් වේවායි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රාර්ථනා කරනවා.

මේ අතර පොඩි පවුලකින් සමාජයට බිහි වී පවුල් බලයත්, ධනබලයත්, පිරිවර බලයත්, ඥාති බලයත් නොමැතිව ගුජරාට් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගෙන එහි මහඇමැතිවරයා ලෙස විශිෂ්ට සංවර්ධනයක් ක්‍රියාත්මක කර ඉන්පසුව ඉන්දියාවේ තුන්වතාවක් පිටපිට අගමැතිවරයා ලෙස පත් වීම හා රජයක් නිර්මාණය කිරීම ගැන නරේන්ද්‍ර මෝදි මහතාටත් භාරතීය ජනතා පක්ෂයටත් එන්ඩීඒ සන්ධානයටත් සිය සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නේරු අගමැතිවරයාගෙන් පසුව තුන්වතාවක් අගමැති ධුරය හොබවන්නට වරම් ලැබූ මෝදි අගමැතිතුමා එකදිගට ජනතා විශ්වාසය ලබා ගනිමින් ජනතා පිළිගැනීමට ලක්වෙමින් මේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ගැන සතුටු වන බවත් රටක් ලෙස ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සමීප මිතුදමක් පැවැතිය යුතු බවත් ඒ නිසාම ලෝකයේ ජනගහනයෙන් වැඩිම රට වූ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා දීම යෝග්‍ය බවත් ගෝලීය බල කේන්ද්‍රස්ථාන දෙස බලන විට සත්‍ය වශයෙන් ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් ලබා දිය යුතු බවට යෝජනා කරනා බවත් විපක්ෂ නායක කීය.

ඉන්දියාව මීට දශක කිහිපයකට පෙර බොහෝම අමාරුවෙන් සිටි මොහොතක ආර්ථිකය කඩා වැටුණු මොහොතක ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සැමට බෙදාගත් සෞභාග්‍ය හා සැවොම ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනය තුළින් ඉදිරියට යෑම තුළ ලෝකයේ බොහෝ රටවල මන්දගාමී ආර්ථික වර්ධනයක් ඇති තත්ත්වයක් මත කොවිඩ් තත්ත්වයෙන් පසුව වුවත් දැවැන්ත ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්න ඔහුට හැකි වූ බවත් විපක්ෂ නායක පැවසීය.

ආර්ථික ප්‍රතිලාභ සැවොම බෙදා ගත් තැන ජනතා ඉල්ලුම හා විශ්වාසය වැඩි වන බවත් එය කොටසකට පමණක් සීමා වන විට පසුබෑම් සිදුවන නිසා මේ අවස්ථාවේ මෝදි අගමැතිවරයාට සුබ පතනා බවත් යහපාලන සමයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි උදාගම්මානය ඇති කරන්න කටයුතු කළ බවත් අප රට බංකොලොත් වූ අවස්ථාවේ රටක් ලෙස වැඩිම ආධාර, ණය ආධාර ලබා දුන්නේ ඉන්දියාව බවත් ඒ ගැනත් සිය ස්තූතිය පුද කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment