මෝදී අදානි හවුලේ බිල්ල රාහුල් ද?

434

ඉන්දියාවේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සමග ඔහුගේ පක්ෂ සාමාජිකයන් සිය ගණනක් එක්ව “ඉන්දියාව එක්සත් කිරීම” සඳහා වන පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබුවේ 2022 සැප්තැම්බර් 7 වැනිදා සවස් යාමයේ දීය. ඉන්දියානු ප්‍රාන්ත 12ක් හරහා කිලෝමීටර 3570 ක් ගමන් කළ ‘භාරත් ජෝඩෝ යාත්‍රා’ ව හරහා කොන්ග්‍රස් නායකයාගේ ප්‍රතිරූපය වඩා ශක්තිමත්විය. භාරත් ජෝඩෝ යාත්‍රා’ හී අරමුණ දේශපාලනික බව නොරහසකි. එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය ට එරෙහිව සිදු කළ පාද යාත්‍රාවකි. මේ හරහා දේශපාලනිකව ඉන්දිරා ගාන්ධිගේ මුණුපුරා බැබලෙන විට පාලක මෝදී ආණ්ඩුව කලබලයට පත් විය. විශේෂයෙන්ම මෝදී අගමැති හා කුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි අතර ඇති සම්භන්ධය හෙළි කිරීමට කොන්ග්‍රස් නායකයා කටයුතු කිරීම ආණ්ඩුවේ ඇස් රතු කිරීමට හේතුවක් වී ඇත.

කාශ්මීරයේ ලිංගික අතවරවලට ලක්වූවන් පිළිබඳව සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය රාහුල් ගාන්ධිගෙන් තොරතුරු ඉල්ලා සිටියේ මාර්තු මුල් සතියේය. පොලිස් නිලධාරීන් රාහුල් ගාන්ධිගේ නිවසට ගියේ, පෙබරවාරියේ ඔහු එක්සත් රාජධානියේ කළ සංචාරයකදී ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ වීම පිළිබඳව නිකුත් කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තවත් දේශපාලන ආන්දෝලනයක් මෝරමින් පවතින විටය. පොලිස් නිලධාරීන් රාහුල්ගේ නිවසට පැමිණීමෙන් පසුව, කොංග්‍රස් පක්ෂ ප්‍රකාශකයකු කියා සිටියේ වත්මන් ආණ්ඩුව අපේ නායකයන්ට සහ ප්‍රකාශකයන්ට හිරිහැර කිරීමට නිලධාරීන් යැවීම ඇතුළුව කළ හැකි සෑම නීච ක්‍රියාවක්ම කරමින් සිටින බවත් මේ හැමදේම අපි අදානි වංචාව ගැන හෙළි කරන එක නවත්තන්න තමයි නමුත් ඒත් අපිට උත්තර ලැබෙන තුරු අපි පසු බහින්නේ නෑ!” යනුවෙනි.

එහෙත් පසුගිය සතියේ සිදුවුයේ කුමක්ද? ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ගුජරාටයේ සූරත් හි පිහිටි අධිකරණයක් විසින් සාපාරාධී අපහාසය පිළිබඳ නඩුවකින් වරදකරු කරනු ලැබීමෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර දැරීමට නුසුදුස්සකු වී ඇත. ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කාර්යාලයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රාදේශීය අධිකරණ තීන්දුවකින් ඔහු වරදකරු වී දිනකට පසුවය. එනම් පසුගිය සිකුරාදා දිනයේය. රාහුල් ගාන්ධි දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකි. වසර දෙකක් සිර දඩුවම් නියම කිරීමෙන් පසුව කොන්ග්‍රස් නායකයාට දින 30ක් ඇප නියම වූ අතර මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබේ. විපක්ෂයේ සියලුම පක්ෂ මෙම තීන්දුව දැඩි හෙළා දැක ඇත. මෙම පියවර රාහුල් ගාන්ධිගේ දේශපාලන අනාගතය අඩපණ කරයිද? එය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කවර තත්ත්වයක් උදා කරයිද? යන ප්‍රශ්න මතු වී තිබේ.

2019 දී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාර්තු 23දා සුරත් දිස්ත්‍රික් අධිකරණය රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කළේය. මෙහිදී රාහුල් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ ලොකුම හොරුන්ගේ වාසගම වන්නේ මෝදී යන නාමය බවයි. මේ ප්‍රකාශයට එරෙහිව ගුජරාටයේ හිටපු මන්ත්‍රීවරයකු විසින් 2019 වසරේදීම සුරත් අධිකරණයේ අපහාස නඩුවක් ගොනුකර තිබිණි.මේ වසරේ ඉන්දියාවට වැදගත් මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතයි. කර්නාටක මැතිවරණය මැයි මාසය වන විට අවසන් කළ යුතුය. රාජස්ථාන් සහ තෙලන්ගානා ප්‍රාන්ත මැතිවරණ දෙසැම්බර් මාසය වන විට පැවැත්විය යුතුය.

චත්තිස්ගාර්, මිසෝරාම් සහ මධ්‍ය ප්‍රදේශ් මැතිවරණ නොවැම්බර් මාසයේදී අවසන් කළ යුතුය. එබැවින් මේ වසර තුළ ප්‍රාන්ත මැතිවරණ හයක් පැවැත්වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.එස්. පන්නීර්සෙල්වන් පවසන්නේ පහළ උසාවිය දෙන තීන්දුවට පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම ඉතාම නරකයි. රාහුල් ගාන්ධි අභියාචනයක් ඉදිරිපත් කර අධිකරණය දඬුවම නතර කළහොත් මෙම නුසුදුසුකමට කුමක් සිදුවේද? කොංග්‍රසයට උසාවියෙන් මේ ප්‍රශ්නය විසඳන්න හදනවා වෙනුවට ජනතා සංසදවලින් විසඳන්න උත්සාහ කළ යුතුයි. මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමට ඇත්තේ ඉතා අල්ප ඉඩක්” යනුවෙනි. 1978 දී කර්නාටක ප්‍රාන්තයේ චික්මගලූර් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසය සඳහා අතුරු මැතිවරණ පැවැත්විණි. එම මැතිවරණයට ඉදිරිපත් වූ ඉන්දිරා ගාන්ධි ජයග්‍රහණය කළාය. මේ අතුරු මැතිවරණයෙන් ඉන්දිරා පරාජය කිරීමට එවක පැවති ජනතා පක්ෂ ආණ්ඩුවට නොහැකි වූ අතර මෙය ඔවුනට දරුණු පසුබැස්මක් විය. එබැවින් ඉන්දිරා කොටු කිරීමට එවක ජනතා ආණ්ඩුව තීරණය කළේය. අර්බුදකාරී තත්ත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු ජේ. සී. ෂාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් කරන ලදී. සංජේ ගාන්ධිගේ මරුටි කාර් ව්‍යාපෘතිය ගැන විස්තර එකතු කළ නිලධාරීන් හතර දෙනකුට ඉන්දිරා ගාන්ධි වධ හිංසා කළ බව කොමිසම සිය වාර්තාවේ සඳහන්ව තිබිණි. එය පදනම් කරගෙන ඉන්දිරා ගාන්ධිට එරෙහිව අපරාධ නඩුවක් ද ලියාපදිංචි විය. සිය වාර්තාව ඉදිරිපත් කළ අයිතිවාසිකම් කොමිසම ඉන්දිරා ගාන්ධි වැරදිකාරිය බවට තීන්දු කළේය. අයිතිවාසිකම් කොමිසම හමුවේ පෙනී සිටීම හිටපු අගමැතිනිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඇය පාර්ලිමේන්තුවට ද අපහාස කරන බවට චෝදනා එල්ලවිය.

මේ අනුව 1978 දෙසැම්බර් 19 වැනිදා ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමටත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වනතුරු සිර දඬුවම් නියම කිරීමටත් එහි පැවති ඡන්දයෙන් තීරණය විය. මේ අනුව ඉන්දිරා සතියක කාලයක් තිහාර් බන්ධනාගාරයේ සිරගත කෙරිණි. ගාන්ධි මහත්මිය සිරගෙට යැවීමට සහ ඇයව නෙරපා හැරීමට ගත් පියවරට පක්ෂව ඡන්ද 279ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 138ක් ලැබිණි. සාමාජිකයන් 37 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද එවක ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබුණි. එදා ඉන්දිරා ගාන්ධි තිහාර් බන්ධනාගාරයට යනවිට “මම ඉතා කුඩා මිනිසෙක්. නමුත් මට ඉහළ ලකුණු කිහිපයක් තිබේ”. යනුවෙන් පවසා තිබුණාය. සතියක් සිරගතව සිටි ඇය පිටතට පැමිණි වහාම චික්මගලූර් වෙත ගියේය. එහිදී මේ නායිකාවට වඩා හොඳ පිළිගැනීමක් ලැබුණි. 1980 දී ඇය නැවතත් අගමැති විය. සිය මිත්තනියට අත්විඳින්නට සිදුවූ දඩුවමින් වසර 45කට පසුව රාහුල්ද සිර ගෙට නියමවී සිටී. තමාට එරෙහි නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් රාහුල් ගාන්ධි, මහත්මා ගාන්ධිගේ පාඨයක් ට්විටර් ඔස්සේ පළ කළේය, “මගේ ආගම සත්‍යය සහ අවිහිංසාව මත පදනම් වේ. සත්‍යය මගේ දෙවියන් ය, එය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය අවිහිංසාවය”.

2013 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් කියැවෙන්නේ අපරාධයකට වරදකරු වී වසර දෙකක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම වූ නීති සම්පාදකයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු වන බවය. දඬුවම අත්හිටුවන තුරු හෝ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තුරු රාහුල් ගාන්ධිට මැතිවරණයට තරග කිරීමට ඉඩ නොලැබෙනු ඇත. කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ජෙයිරාම් රමේෂ් බ්‍රහස්පතින්දා අධිකරණ තීන්දුව හැඳින්වූයේ “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට එල්ලවිය හැකි ඉතා බරපතළ දේශපාලන ප්‍රශ්නයක්” ලෙසය. භාරතීය ජනතා පක්ෂයේ ඇමැතිවරු අධිකරණ තීන්දුව ගැන පසසන අතර මේ තීන්දුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කොන්ග්‍රස් පක්ෂය විවේචනය කළහ. දිල්ලි මහඇමති ගේ සිට බටහිර බෙංගාල මහා ඇමතිනි මමතා දක්වා භාරතීය ජනතා පක්ෂ විරෝධී කණ්ඩායම් මේ තීන්දුව දේශපාලනික එකක් බව ප්‍රකාශ කර තිබේ. කවරක් එරට ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය භූපේන්දර් යාදව් පැවසුවේ ගාන්ධි “මෝදි” යන නම ඇති අනෙකුත් පසුගාමී පන්ති ලෙස හඳුන්වන කුල කණ්ඩායම් සාමාජිකයන්ට අපහාස කර ඇති බවය. “ඕනෑම වාසගමකට අපහාස කිරීම කතා කිරීමේ නිදහස නොවේ,” ඔහු කියයි.

රාහුල්ට දරුණු ප්‍රහාර එල්ල කරන්නේ භාරත් ජෝඩෝ යාත්‍රාවෙන් පසුව බව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන පී. සයිනාත් පවසයි. මේ නඩු තීන්දුව හරහා ඉන්දියාවේ දේශපාලන සංස්කෘතියට සිදුවූ පාඩුව රාහුල්ට ගාන්ධිට සිදුවූ පෞද්ගලික හානියට වඩා දරුණු බව ඔහු කියයි. “මෙය ඉන්දියාවේ දේශපාලන සංස්කෘතිය කෙතරම් නරක අතට හැරී ඇත්ද යන්න පෙන්නුම් කරයි. මේ වගේ නඩු සිය ගණනක් යනවා. පවන්කෙරා නඩුවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට ඇසෑම් පොලිසිය දිල්ලියට පැමිණියා අදානි ගැන ලියූ පරංජේ ගුහා තාකුර්තාට එරෙහිව නඩු 6 ක් පවරා තියනවා භාරත් ජෝඩෝ යාත්‍රාව සාර්ථක වීමෙන් පසු ඔවුන් රාහුල් ගාන්ධිට ප්‍රහාර එල්ල කරනවා. එය භාරතීය ජනතා පක්ෂයට ද බූමරංගයක් විය හැකිය. සයිනාත් පවසයි. නමුත් රාහුල් ගාන්ධි ඉන්දිරා ගාන්ධි නොවේ. ඇගේ ආච්චි එදා දුර්වල ජනතා පක්ෂ ආණ්ඩුවකට මුහුණ දුන්නාය. නමුත් දැන් රාහුල් මුහුණ දී සිටින්නේ ඉතා ශක්තිමත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවකටය. එබැවින් මෙම එක් සිදුවීමක් පමණක් ඔහුට විශාල සාර්ථකත්වයක් ගෙන එන්නේ නැත. නමුත් ඒ සියල්ල රඳා පවතින්නේ මෙයින් පසුව සිදුවන දේ සහ රාහුල් ඒවා හසුරුවන්නේ කෙසේද යන්න මතය.

සිය මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුව පෙරේදා දිනයේ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් රාහුල් කියා සිටියේ කුමක්ද? ව්‍යාජ සමාගම් හරහා අදානි සමූහයේ රුපියල් කෝටි 20,000ක් ආයෝජනය කර තියනවා අදානි සමූහ ව්‍යාපාරය යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා ඔවුන්ට මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න බැහැ. එතකොට මේ සල්ලි කොහෙන්ද? මේ කාගේ සල්ලිද? මෙම සමාගම් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරනවා චීන ජාතිකයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බව කියනවා චීන ජාතිකයා කවුද මම අගමැති මෝදි සහ අදානි අතර සම්බන්ධය ගැන ප්‍රශ්න කළා එතකොට මගේ පාර්ලිමේන්තු කතාව මකා දැමුවා. මේ සම්බන්ධයෙන් මම කථානායකවරයාට මගේ කතාවේ සාක්ෂි විස්තරාත්මකව පැහැදිලි කරමින් ලිපියක් ලිව්වා. මෝදි අගමැතිතුමා මගේ මීළඟ කතාවට බයයි. ඒ නිසා තමයි මාව මන්ත්‍රී ධුරයට නුසුදුස්සෙක් කරලා තියෙන්නේ. එදා ඔහුගේ ඇස් වල බය මම දැක්කා.

අදානි ගැන මීළඟ කතාව පාර්ලිමේන්තුවේ නොවිය යුතු බව අගමැතිගේ අදහසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment