මෞරිගේ හදවතේ උපන් දයාවේ සිහිල තවත් හදවත් රැසක උණුසුමට

385

අපට අසන්නට ලැබෙන ඇතැම් කතාවක් එක්වර අදහන්නට අපි මැළි වන්නෙමු. හමුවන ඇතැම් චරිතයක් පිළිබඳ විශ්වාස කරන්නටද අදි මදි කරමු. අපට එසේ සිතෙන්නේ එක්වරම එබඳු පුවතක් හෝ චරිතයක් අප ජීවත්වන ලෝකයේ අසන්නට ලැබීම හෝ හමුවීම විශ්වාස කළ නොහැකි අතිශය දුලබ අවස්ථාවක් වන බැවිනි. එහෙත් එවන් දුලබ පුවතක කතානායිකාවක් පිළිබඳ මා දැනගන්නේ හදට හදක් නම් භාරකාර අරමුදල Heart Heart Trust Fund හා සම්බන්ධ සිදුවීමක් ඔස්සේය. ඈ මෞරි ඇන්ටොයිනට් සෙන්දප්පෙරුමය (Mauri Antoinette Senddapperuma) ඔස්ටේ‍්‍රලියාවේ නිත්‍ය පදිංචිකාරියක වූ ඈ ශ‍්‍රී ලංකාවේ උපත ලද්දියකි.

 හදට හදක් භාරකාර අරමුදල හා මෞරි අතර ඇත්තේ කිනම් සම්බන්ධයක්ද? හදට හදක් භාරකාර අරමුදල ඇරැුඹි දා සිට පසුගිය වසර හයහමාරක් පමණ කාලය තුළ ඔවුන්ගේ ආධාර මතින් නැවත ජීවිතය ලබාගත් පිරිස තුන් සියයකට අධිකය. විවිධ ආර්ථික දුෂ්කරතා හේතු කොට ගෙන ජීවිතාපේක්ෂා අත්හැර සිටින පවුලක සාමාජිකයෙකුට සාමාජිකාවකට හෝ ඔවුන්ගේ ජීවිතයේ ආදරණීයකුගේ ජීවිතයට අලූත් ජීවිතයක් ලබා දී ඔවුන් එකිනෙකා පවුලක් ලෙස යළි එකතුවන මොහොතක දැනෙන සතුට කොපමණදැයි හදට හදක් අරමුදල වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් හදවතින් ම කැප වී ඇප වී තම කාලය හා දැනුම බෙදා දෙන එහි සාමාජිකත්වය හොඳින් දනී. හදට හදක් පිළිබඳ විප‍්‍රවාසයේ ජීවත් වූ අපගේ කතානායිකාව මෞරි දැනගන්නේ කෙසේ ද? හෘද රෝගයක් හෝ ඊට සම්බන්ධිත රෝගයකින් පෙළෙන ජීවිතයක් අත් විඳින වේදනාව, එවැනි රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට අවශ්‍ය ආදේශන ශල්‍යකර්මයකට හෝ බයි පාස් වැනි සැත්කමකට අවශ්‍ය විශාල මුදලක් සොයා ගත නොහී ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හරින ශ‍්‍රී ලාංකික ජීවිත පිළිබඳ මෞරි දැන සිටියා ද?

 බම්බලපිටිය ශුද්ධ වූ එෙඬ්රාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද මෞරි සෙන්දප්පෙරුම වෘත්තියෙන්

 ගණකාධිකාරිණියකි. ඇගේ තරුණ කාලයේ දී සාන්ත ලූසියා දෙව්මැඳුරේ දේව මෙහෙයන්ට සහභාගි වෙමින් ප‍්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නී 1989 වසරේ දීය. සාර්ථක වෘත්තීය ජීවිතයකට වඩා මනුෂ්‍ය වර්ගයාගේ දුක සැප වෙනුවෙන් කැපවීම ඈ අගය කළාය. ඇගේ පවුලේ අය පවසන පරිදි ඈ ජීවිතයේ වඩාත්ම තෘප්තියෙන් ගත කොට ඇත්තී රාජකීය මෙල්බර්න් ආරෝග්‍යශාලාවේ (Royal Melbourne Hospital) ස්වෙච්ඡා සේවිකාවක් ලෙස සේවය කරමිනි. මානව දයාව පිරි කෙතරම් විසාල හදවතක් මෞරි සතුව තිබුණ ද 2019 දෙසැම්බර් 11 දා ඈ ජීවිතයෙන් සමු ගන්නී හෘද ප‍්‍රාභ්‍යුද කපාට ආදේශන ශල්‍ය කර්මයක සංකුලතා (Complications from Heart Aortic Valve Replacement) හේතුවෙනි. බාල කාලයේ සිට දෙවියන් කෙරෙහි මෞරි තුළ වූ භක්තිය ඇගේ දයාවේ උල්පත වූවා විය හැකිය. හෘද හෝ ඒ ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන්නන් වෙනුවෙන් ඈ අලූත් බලාපොරොත්තුවක් ලබා දුන්නාය. ලෞකික ජීවිතය තුළ මෞරි විසින් ප‍්‍රගුණ කරන ලද්දා වූ කරුණාවන්ත භාවයේ හා පරිත්‍යාගශීලීත්වයේ අති උත්තරීතර සටහන ඈ විසින් ඇගේ අවසාන කැමති පත‍්‍රයෙහි ලියා තබන ලද්දී එනිසා විය යුතුය. මුදල් හදල් හිඟකම නිසා හෘද රෝගියකු ගේ ජීවිතය නිමා වනු දැකීමට ඈ තුළ කමැත්තක් නොවූවාය. ඒ හේතුවෙන් කිසිවකු මෙලොව අත්හැර නොයා යුතුය යන්න ඈ විශ්වාස කළාය. ඈ ඈගේ මව්බිම වෙනුවෙන් ඇයට කළ හැකි ඉහළම පරිත්‍යාගය කරන්නීය. මෞරි ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී ඈ සතුව තිබූ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 94820 ක්, ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් හදට හදක් භාරකාර අරමුදලට පරිත්‍යාග කරන්නී හදට හදක් අරමුදල විසින් මෙතෙක් ඉටු කළ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමටය. වසර හයහමාරක් පමණ කාලයක දී ඔවුන් රැුක දුන් ජීවිත 300 ක පවුල් විඳින සොම්නස මෞරි දැන සිටියා විය යුතුය. බයි පාස් සැත්කමක් by pass, ස්ටෙන්ට්ස් stents, පේස් මේකර් pace makers අවශ්‍ය ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයක නම් ගම් ලියැවී මුදල් හිඟකම නිසා පසු තැවුණු ජීවිත රැසක් සඳහා හදට හදක් අරමුදල විසින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කරන ලද සැත්කම් මගින් යළි ජීවය ලබා දුන් පුවත් මෞරි ට දැන ගන්නට ලැබුණා විය යුතුය. මේ සා විසාල මුදල් පරිත්‍යාගයකට ඈ පොලඹවන ලද්දේ හදට හදක් අරමුදල විසින් පවත්වාගෙන රැකගෙන යනු ලබන නිර්දෝෂී, පාරදෘශ්‍ය භාවයෙන් යුතු ක‍්‍රියා පිළිවෙත් නිසාම නොවෙද? මෞරිගේ පරිත්‍යාගය පවසන පණිවුඩය කුමක් ද? සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව හුරු පුරුදු කරවන, ප‍්‍රතිකාරයට පෙර ඉන් වැළැකී සිටීමේ අගය පහදා දෙන, විශේෂයෙන් දරුවන් ඇතුළු සියලූ වයස් කාණ්ඩ තුළ හමුවන හෘද රෝගී හා හෘද රෝග ආශ‍්‍රිත සැමට සෙතක් සලසන හදට හදක් වැනි පුණ්‍යමය කටයුත්තක නිරත ව්‍යාපෘතියක් කෙරෙහි විශ්වාසය තබන්න යන්න නොවෙද? මෞරි පිළිබඳ ආදරණීය මතකය සදාකල් අප‘තර පවතින බව අපි දනිමු.

 ශ‍්‍රී ලංකාවේ වෙසෙන වෛද්‍ය වෘත්තියෙහි විශිෂ්ටයන් මෙන්ම අනෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරන්නා වූ විද්වතුන් හා සම්භාවනීයයන්ගෙන් සැදුණු මණ්ඩලය ශ‍්‍රී ලංකාවෙහි ප‍්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමාගේ අනුග‍්‍රාහකත්වය හා ආශීර්වාදය ලබමින් ඉදිරියට යන්නකි. උපදේශක හෘද රෝග විශේෂඥ රුවන් ඒකනායක ප‍්‍රමුඛ රාජිත වයි ද සිල්වා, අරුණ කපුරුගේ, මහේන්ද්‍ර මුණසිංහ, කණිෂ්ක ඉන්ද්‍රරත්න, කුමුදුනී රණතුංග, එස්. ඞී. ජයරත්න ආදී හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරියන්, මහාචාර්යවරුන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ආදීහු අරමුදල නියෝජනය කරනු ලබන වෘත්තීකයෝ වෙත්. මේ පිරිසට අමතරව දිවයිනේ කීර්තිමත්

 විද්වතුන්ගෙන් සැදුණු මණ්ඩලයට රාජ්‍යතාන්ත‍්‍රික, ව්‍යාපාර, සමාජ විද්‍යා, අධිකරණ ක‍්‍රීඩා හා සමාජ ක‍්‍රියාකාරී වැනි ක්ෂේත‍්‍ර රැසක නියෝජිතයෝ ඇතුළත්ය. ජයන්ත ධනපාල, පාලිත ප‍්‍රනාන්දු, අරුණ ශාන්ත ද සිල්වා, මහෙන්ද්‍ර අමරසූරිය, කුමාරි ජයවර්ධන, සුනිමල් ප‍්‍රනාන්දු, සුදත් තෙන්නකෝන්, ජගත් ඩයස්, අජිත් ද සොයිසා හා කුමාර් සංගක්කාර ආදීන් වෛද්‍ය ක්ෂේත‍්‍ර නියෝජනයෙන් බැහැර මණ්ඩලයට අයත් ය.

 හුදෙක්ම මිල මුදල් හිඟකම නිසා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටිනා කවරෙකුට හෝ දෙවන ජීවිතයක් ලබා දීමට හැකි වන්නේ නම් එවන් සතුටක් ලොව අන් කවර තැනක, කවර සිතක හෝ තිබිය හැකිද? මෞරි ගේ රුපියල් මිලියන දහ හතරකට ආසන්න පරිත්‍යාගයෙහි දැවටී ඇත්තේ ආදරයයි. ඉන් ඈ පෙරළා බලාපොරොත්තු වූ කිසිවක් හෝ නොමැත. ජීවිතයෙන් සමුගන්නා දවස දිගු කාලයකට කල් දමා ගැනීමට හැකි බව දැන දැනත් ඊට අවශ්‍ය ආර්ථික ශක්තිය නොමැතිවීමෙන්, අසරණ වන පවුලක මාපියන්ගේ දූ දරුවන්ගේ සෝ ගී රාවයට සැනසුම් සුසුමක් එක් කිරීමට හැකිවීම තරම් සුවයක් සතුටක් අප ජීවත්වන කෙටි කාලය තුළ දී විඳ ගන්නට ලැබේ නම් එය කෙතරම් විසාල වාසනාවක් ද? හදට හදක් හා එක්වුණු එවන් වාසනාවන්තයන් හා වාසනාවන්තියන් ගේ නාමාවලියට එක් වූ මෞරි ගේ දයාව සමග අපට බුදුන්ගේ මෙන්ම ජේසු ස්වාමිදරුවන්ගේ භාෂිතය ද මතකයට නංවන්නේ නිතැතිනි. යමක් දෙනු ලැබීමට පෙර එසේ දෙන්නාගේ සිත සතුටින් ඇත. දෙන මොහොතෙහි දෙන්නාගේ සිත සාමකාමී වේ. දීමෙන් පසු දෙන්නාගේ සිත ආධ්‍යාත්මිකව ඉහළ තලයකට යනු ඇත. බුදු වදන එසේය. ජේසු ස්වාමි දරුවන්ගේ දේශනාව ද ඊට වෙනස් නොවේ. පරිත්‍යාගයේ අගය පිළිබඳ උන්වහන්සේගේ දේශනාව කෙබඳු ද?

 ”නුමුත් නුඹලාගේ සතුරන්ට පේ‍්‍රමකරපල්ලා, යහපතකරපල්ලා, සැක නොසිතා ණයට දීපල්ලා; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.” – (ලූක් 6:35)

 හදවතක වේදනාව දැනෙන්නේ ආදරයෙන් දයාවෙන් උණුවන හදැති සිතක් තුළ පමණි. හදවත් රෝගයකින් පීඩාවට දුකට පත්වන්නේ එකී රෝගයෙන් පෙළෙන හදැත්තෑ පමණක්ම නොවේ. ඔහුගේ හෝ ඇයගේ දුවා දරුවන් ඥාතීන් මිතුරන් සියල්ල තම සමීපතමයා වෙනුවෙන් රහසින් හෝ දුක්වන බව කිව යුතු නොවේ. එහෙත් ඔවුනට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? හදට හදක් ඇත්තන්ගේ දයාව, කරුණාව අවශ්‍යවන්නේ එවන් මොහොතකය. ඔවුන් නිස්සරණාධ්‍යාශයෙන් ඉටු කරන පිංකමෙහි ආනිශංස රෝගියා ඇතුළු පවුලේ බොහෝ දෙනකුගේ සිත් සුවපත් කිරීමට සමත් වන බව ඉඳුරාම දනිමු. හදට හදක් ඇත්තන් සමග එක් වූ මෞරි මේ මොහොතේ දෙව් මව් තුරුලේ සහනය විඳිනු නොඅනුමානය. කොරෝනා වැනි විපත් අත් විඳින මෙවන් සමයක පරිත්‍යාගයේ ආනිශංස සිහිපත් කරදීමට මෞරීගේ කාරුණික දයාවන්ත පරිත්‍යාගය සිහිනෙන් ගෑ සුවඳක් ලෙසින් අප හදවත් වටා දැවැටී පැතිරී තිබෙනු දැනේ.

 * බුද්ධදාස ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment